ප‍්‍රතිචාර මාලාව 2 කොටස

අනුජ මංචනායකට ප‍්‍රතිචාරයක්

Space-Occupancy-16.Acrylic-on-canvas-100x100-cms-420x210යුද්ධය අවසන් වීමෙන් පසුව සිංහල ජාතිකවාදය තුළ ඉතිහාස විඥානය විසින් ඉෂ්ට කරනු ලබන කාර්ය භාරය පිළිබඳ මා ලියූ ලිපියක එක කරුණක් සමිබන්ධව අනූජ මංචනායක පහත ප‍්‍රතිචාරය දක්වා තිබුණි.

“It is interesting to see how Dr. Nirmal Dewasiri goes on to construct a super narrative about a ‘Super Space’ named Kadurugoda Vehera and the origins of its name (as something derived from the earlier Tamil form Kantarodai) by conveniently overlooking readily available facts that are not in his favour.

It is also fascinating to observe how Nirmal goes on to quote Ven. Medhananada on Kadurugoda in a challenging tone, to later hide behind some hearsay from the pilgrims as a way of proving his narrative without actually challenging what Ven. Medhananda established with facts.

Can anyone observe the same level academic dishonesty shown by Gananatha Obesekara as found in an article posted in this group recently by none other than Nirmal himself!!

Kadurugoda is one of the place names mentioned in Vihara Asna (aka Nampotha) along with Nagakovila among the Buddhist Viharas in Demalapattaanaya. Nampotha is written during Kandyan era while there are others who ascribe an earlier date to its origins. It is therefore absurd to project the name Kadurugoda as a recent construction within the project of creating a so called ‘Super Space’ in the heart of the Tamil land.

It may be in Nirmal’s interest to know that the construction of that Super Space has in fact begun some 16 centuries ago during the reigns of King Kassapa IV, unless he has knowingly overlooked that fact. In early 1900s Paul E Peris found a pillar inscription at the site written in Sinhala characters belonging to 9th CAD. It was about some grants made by King Kassapa IV to ‘Kadurugoda in the district of Valvita’ and Nirmal appeared have missed all these vital information in his narrative on Super Spaces. Then there was the pillar inscription of King Dappula IV and Nirmal has again missed it big time!!!! Even C. Rasanayagam, the author of ‘Anciant Jaffna’ had some decency to acknowledge the original Sinhala form of the name Kadurugoda in his writing during his attempt to ascribe its origins to Kadiramaiai of Nagas.

Those who wants to know what Nirmal has purposefully overlooked about Kadurugoda, please read page 67 on wards in the link below.”

කණගාටුවෙන් කිව යුත්තේ අනූජ මංචනායක මෙම ලිපිය තුළ මා මතුකරන කාරණය මුළුමනින්ම වරදවා වටහාගෙන තිබෙන බවයි. පළමුවෙනුව කිව යුත්තේ මා මේ ලිපිය තුළ කිසිසේත්ම කන්දරොඩෙයි යන ස්ථාන නාමයේ ආරම්භය පිළිබඳ අදහස් දැක්වීමක් කිරීමට බලාපොරොත්තු නොවූ බවයි. ඒ වගේම කදුරුගොඩ යන නාමය කන්දරොඩෙයි යන්නෙන් බිඳි එන්නක් ලෙස මම සඳහන් නොකළෙමි (as something derived from the earlier Tamil form Kantarodai). කෙසේ වෙතත් ‘කදුරුගොඩ’ යන්න ‘කන්දරොදෙයි’ යන්නෙහි සිංහලකරණය වූ රූපය (a Sinhalized form of the Tamil term ‘Kandarodai’) ලෙස සඳහක් කිරීම මගින් එවැන්නක් ගම්‍ය වීමට හොඳටම ඉඩ තිබේ. එහි දී මගේ අභිලාෂය වූයේ සමකාලීන භාවිත රූපයට සාපේක්ෂව සිංහල රූපය අවධාරණය කිරීමයි.

මෙහිදී අනූජ චෝදනා කරන ආකාරයට මගේ බුද්ධිමය වංකභාවය පිළිබඳ තත්වය සත්‍ය වේවා අසත්‍ය වේවා මට කිව හැක්කේ ඔහු මෙහිදී ඉදිරිපත් කරන කාරණයට එය අදාළ නොවන බවයි. මෙහි දී අනූජ මංචනායක තහවුරු කිරීමට උත්සාහ කරන තර්කය වන්නේ වර්තමානයේ ‘කන්දරොදෙයි’ යන නිල නාමය භාවිතා වන ස්ථානයට ‘කඳුරුගොඩ’ යන නාමය භාවිත වුනේ මා යෝජනා කරනවා යැයි ඔහු සිතන බව පෙනෙන යුද්ධය අවසන් වීමෙන් පසු කාලය තුළ නොව ඊට බෙහෙවින් පෙර කාලයක ද එලෙස ව්‍යවහාර වූ බවට තොරතුරු ඇති බවයි. ඔහු ඉදිරිපත් කරන සාධක වලට අභියෝග කිරීමට මෙහිදී මට අවශ්‍යතාවයක් ඇත්තේ නැත. මක්නිසාද යත් ඒ පිළිබඳව අනූජ මංචනායකගේ තර්කය මුළුමනින්ම තහවුරු වුව ද මා ඉදිරිපත් කරන තර්කය එයින් දුර්වල වන්නේ නැති බැවිනි.

ඇත්ත වශයෙන්ම පසුගිය වසර කීපය තුළ මා ක‍්‍රමාණුකූලව නැඹුරු වී ඇත්තේ මෙම ස්ථාන නාම පිළිබඳ අනූජ මංචනායක නියෝජනය කරන ගුරුකුලයේ අදහස වෙතය. එනම් මේ ස්ථාන නාම අතීතයේ දී ‘සිංහල’ ස්වරූපයෙන් තිබී පසුව දෙමළ ස්වරූප ගෙන තිබේ ය යන අදහසටයි. ඒ සම්බන්ධව වැදගත්වන මගේ අවධානයට ලක් වී නොතිබුණු ආචාර්ය සී.ඊ. ගොඩකුඹුරේගේ වැදගත් ලිපිය මගේ අවධානයට යොමුකිරීම සම්බන්ධව ද මා අනූජ මංචනායකට ස්තූතිවන්ත වෙමි.

කෙසේ වෙතත් අනූජ ගේ ගුරුකුලයෙන් මා වෙනස් වෙන්නේ මෙවැනි තත්වයන් පැහැදිළි කරන්නේ කෙසේ ද යන කරුණ සම්බන්ධයෙනි. මගේ ප‍්‍රශ්නය වන්නේ ‘උතුරු නැගෙනහිර සිංහල-බෞද්ධ උරුමය’ පිළිබඳ නවීන අදහසට ඒ මගින් සාධාරණීකරණයක් ලැබෙන්නේ ද යන්නයි.

මෙම ලිපිය තුළ මගේ තර්කය වූයේ කුමක් ද?

අදාළ ලිපියේ දක්වා ඇති ආකාරයට මගේ ලිපියේ අරමුණ මෙයයි:

‘‘මෙම රචනය යොමුවී තිබෙන්නේ පශ්චාත් යුධ සංදර්භය තුළ සිංහල-බෞද්ධ ඓතිහාසික සවිඥානකත්වය’ ක‍්‍රියාත්මක වන ආකාරය වෙත ය. එය ප‍්‍රධාන වශයෙන් පශ්චාත්-යුධ වර්ධනයන් දෙකක් මත කේන්ද්‍රගතවී ඇත. පළමු වැන්න නම් සිංහල -බෞද්ධ ජනයා ඉහත කී ඓතිහාසික කියාපෑම් මත පදනම් වෙමින් උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වලට අදාළව සිය පරිකල්පිත භූමිය අවකාශගත කිරීමට දැරෙන උත්සාහයයි. මේ රචනය තුළ මෙම අවකාශගතකරණ (spatialization) ක‍්‍රියාවලිය සිංහල-බෞද්ධයන් උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වලට වන්දනාවේ සහ සංචාරයේ යාමේ ක‍්‍රියාවලියේ සහ ජනප‍්‍රිය සිංහල බෞද්ධ පුරාවිද්‍යාව තුළ උතුරු නැගෙනහිර ප‍්‍රදේශය පුරාවිද්‍යාකරණය කිරීම ලෙස මවිසින් හදුන්වනු ලබන ක‍්‍රියාදමයේ දේශපාලන අර්ථ වලට සම්බන්ධිතව විදාරණය කෙරේ.’’
(ඉහත දක්වා ඇති කොටස අනූජ මංචනායක ගේ අවධානයට ලක් වූ අදාළ ලිපියෙන් මා ඒ අවස්ථාවේ උපුටා දැක්වූ කොටසේ ඇත්තේ නැත. ඊට හේතුව මා ඒ කොටස උපුටා දැක්වූයේ වෙනත් අරමුණක් සඳහා – එනම් දෘෂ්ටිවාදී ක‍්‍රියාව යනු කුමක්ද යන්න පැහැදිළි කිරීම සඳහා – බැවිණි.)

මා ඉදිරිපත් කරන සුපිරි අවකාශය (super space) පිළිබඳ සංකල්පය මෙහි දී ඉතාම කේන්ද්‍රීය වේ. මංචනායක ප‍්‍රකාශ කරන්නේ මගේ තර්කයට පරස්පරව මෙම සුපිරි අවකාශය ගොඩනැංවුණේ මීට ශතවර්ශ 16 කට පෙර බවයි. මා සිතන්නේ ඔහු මා භාවිත කරන සුපිරි අවකාශය යන සංකල්පය නිසි පරි දි අවබෝධ කරගත්තේනම් මීට ශතවර්ශ 16 කට ඉහත පැවැති තත්වයට ඔහු කිසිසේත්ම ‘සුපිරි අවකාශය’ යන පදය භාවිත නොකරනු ඇති බවයි. එසේ කිරීම මගින් ඔහු ඔහුගේ තර්කය දුර්වල කරගන්නා අතර මගේ තර්කය ශක්තිමත් කරයි. මා මෙහි දී සුපිරි අවකාශය නමින් හැඳින්වූයේ මූලික වශයෙන්ම උතුරු ප‍්‍රදේශයේ ජීවත්වන ජනයාගේ දෛනික ජීවන ක‍්‍රියාකාරකම් මත ගොඩනැගෙන සමාජ අවකාශයට ඉහලින් යුද්ධයෙන් පසු සිංහල-බෞද්ධ ජාතිකවාදී විඥානය මගින් අනුබලය ලැබ ජාතිකවාදී දේශපාලන බලවේග, රාජ්‍යය සහ විශේෂයෙන්ම මිලිටරි යාන්ත‍්‍රණයේ සම්පූර්ණ අනුග‍්‍රහය යටතේ ගොඩනැංවෙමින් පවත්නා මිනිස් ක‍්‍රියාකාරකම් අවකාශයයි.

මගේ ඉහත සඳහන් ලිපියේ සාකච්ඡා කර ඇති ආකාරයට සිංහල-බෞද්ධ වන්දනා ගමන් හරහා නිර්මාණය වී ඇති දඹදිව ද එවැනි සුපිරි අවකාශයකි. එසේම දෙමළ හින්දුන්ගේ වාර්ෂික වන්දනා ගමන් හරහා කතරගම ද එවැනිම සුපිරි අවකාශයක් නිර්මාණය වන බව කිව හැක. පසුව කී සුපිරි අවකාශ දෙකට වෙනස්ව යුද්ධයට පසුව උතුරේ බිහිවන සුපිරි අවකාශය දේශපාලන වශයෙන් වැදගත්ය. එනම් එය සිංහල-බෞද්ධ ජාතිකවාදය විසින් උතුර දේශපාලන වශයෙන් අත්පත් කරගැනීමට දරණ උත්හාහය හා සම්බන්ධවේ.

මගේ තර්කය පසුපස ඇති දේශපාලන ස්ථාවරය මංචනායක ඇතුළු පිරිසට මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කිරීමට ඇති හැකියාව ගැන කිසිඳු සැකයක් නැත. නමුත් එම දේශපාලන ස්ථාවරය ප‍්‍රතින්ෂේප කිරීම මගින් ‘කදුරුගොඩ විහාරය’ පිළිබඳ සංසිද්ධියෙන් පෙන්නුම් කෙරෙන ඉතිහාස විඥානය විසින් ඉටුකරනු ලබන දෘෂ්ටිවාදී හා දේශපාලන කාර්ය භාරය පිළිබඳ මගේ අදහස ප‍්‍රතික්ෂේප වන්නේ නැත.

මෙහි දී මා තව දුරටත් අවධාරණය කිරීමට කැමැත්තේ අනූජ මංචනායක දෘෂ්ටිවාදී විචාරය සහ ඓතිහාසික විග‍්‍රහය අතර වෙනස තේරුම් ගෙන නොමැති බවයි. ඔහු පහත එන ප‍්‍රකාශය කරන්නේ ඒ නිසා ය යන්න මගේ අදහසයි.

“It is also fascinating to observe how Nirmal goes on to quote Ven. Medhananada on Kadurugoda in a challenging tone, to later hide behind some hearsay from the pilgrims as a way of proving his narrative without actually challenging what Ven. Medhananda established with facts.”

මා වන්දනා කරුවන්ගේ සම්මුඛ සාකච්ඡා ඉදිරිපත් කලේ එල්ලාවල මෙධානන්ද හිමි ඉදිරිපත් කරන ඓතිහාසික තොරතුරුවල වලංගුභාවය හෝ අවලංගුභාවය තහවුරු කිරීම පිණිස ප‍්‍රති-කරුණු දැක්වීමක් ලෙසට නොවේ. එම වන්දනා කරුවන්ගේ සංජානනය පිළිබඳ යම් යම් නිරීක්ෂන ඉදිරිපත් කිරීමටයි.

මෙහි දී තවත් මෙම සාකච්ඡාවට අදාළ කරුණක් ප‍්‍රකාශ කළ යුතුය එනම් මෙම ලිපිය මා මූළික වශයෙන් සම්පාදනය කළේ මගේ අදහස් විවේචනයට ලක්කරන සිංහල-බෞද්ධ ජාතිකවාදීන් ඉලක්ක පාඨක පිරිස කරගෙන නොවේ. මූලික වශයෙන්ම සිංහල-බෞද්ධ ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියට විරුද්ධ පිරිස් වලට ඉතිහාස විඥානය පිළිබඳ ක්ෂේත‍්‍රය අරගල ක්ෂේත‍්‍රයක් ලෙස සැලකීමේ වැදගත්කම පෙන්වා දීම සඳහාය. මේ ඉලක්ක පාඨක ප‍්‍රජාව මගේ ඉතිහාසය පිළිබඳ අර්ථකථන සාධනීය ලෙස භාරගැනීමේ සූදානමක් ඇති පිරිසක් නිසා මා ඇතැම් කරුණු වැඩිදුර පැහැදිළි කිරීමට උත්සාහ දරා නොමැත.

මා ඇත්ත වශයෙන්ම ලිපියේ මේ කොටස ජාතික චින්තනය ෆේස්බුක් කණ්ඩායම් පිටුවේ පළකරනු ලැබුවේ පුද්ගල ක‍්‍රියාවක් ඊට අදාළ පුද්ගල අභිලාෂයන්හී සංදර්භය තුළ තේරුම් ගැනීමේ මෙන්ම ඒවා දෘෂ්ටිවාදී අර්ත සහිත ක‍්‍රියාවන් ලෙස තේරුම් ගැනීමේ වැදගත්කම ද අවධාරණය කරනු පිණිසයි. කෙසේ වෙතත් අනූජ මංචනායක මේ සම්බන්ධව වැඩි දුරට කරුණු ඉදිරිපත් කරන්නේ නම් මේ කරුණ සමිබන්ධව තව දුරටත් පැහැදිළි කළ හැක.

අවකාශය නම් කිරීම යන්න සංකීර්ණ වාද විෂයකි. මෙහි දී අපේ දැඩි අවධානයට ලක් විය යුතු දෙයක් වන්නේ අවකාශය නම් කිරීම හෙජමොනික කි‍්‍රයාවලියක අංගයක් බවයි. මේ ගැටලූවේ සංකීර්ණත්වය පිළිබඳ ව වැඩි දුර සිතා බැලීමට අප යොමු කරවන උදාහරණයක් වෙත යොමු වීමට කැමැත්තෙමි.

ලන්දේසි කාලයේ සිදුවූ අවකාශය නම් කිරීම් රැසක් ලංකාවේ ඇත. එවැනි ප‍්‍රසිද්ධ ස්ථාන දෙකක් වන්නේ මැලිබන් වීදිය හා බ්ලූමැන්ඩල් වීදිය යි. මේ නම් දෙකේ නිවැරදි ලන්දේසි ව්‍යවහාර වන්නේ පිළිවෙළින් ‘මාලිබාන්’ හා ‘බ්ලූමන් ඩාල්’ යන ඒවාය. මා දන්නා විදියට ලංකාවේ ලන්දේසි සමයේ ඉතිහාසය පිළිබඳව උනන්දුවක් දක්වන මගේ මිත‍්‍ර ලන්දේසි ජාතිකයින් මේ ‘නිවැරදි’ ලන්දේසි වහර අවධාරණය කිරීමට කැමැත්තක් දක්වයි. කෙසේ වෙතත් මෙම ඊනියා නිවැරදි වහර භාවිත කිරීම පැරණි ලන්දේසි ආධිපත්‍යය පිහිටුවීමේ උත්සාහයක කොටසක් වන්නේනම් ලාංකිකයා එවැනි උත්සාහයක් සම්බන්ධයෙන් ඉවසන සුළු ආකල්පයක් නොදක්වනු ඇත. උතුරේ ස්ථානවල ඊනියා පැරණි නිවැරදි නාමය මෙහි දී භාවිත වන්නේ මගේ ලන්දේසි මිතුරන් මෙන් අතීත වේදනාත්මක හැඟීමකින් නොව දේශපාලන අර්ථයකිනි.

කතරගම, ශී‍්‍ර පාදය වැනි ආගමික වන්දනා ස්ථාන සඳහා විවිධ ආගමිකයෝ විවිධ නාම භාවිතා කරති. එහිදී සාමාන්‍ය වශයෙන් සිදුවන්නේ එකිනෙක ආගමිකයා තමාට අභිමත අයුරින් හා අනෙක් ආගමිකයාට ද බාධාවක් නොවන අයුරින් තම නාමකරණය පසුපස ඇති අර්ථය අදාළ ස්ථානයට ලබා දීමයි. නමුත් මේ බොහෝ ස්ථාන මත එකිනෙක ආගමිකයින්ට ඇති බලය සාපේක්ෂ වශයෙන් වෙනස්ය. අවකාශය කළමනාකරණය කිරීම සම්බන්දයෙන් ගත්කළ මෙම සාපේක්ෂ තත්වය වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරයි. ශී‍්‍ර පාදය මේ සම්බන්ධයෙන් හොඳ උදාහරණයකි. මීට ශතවර්ශයකට පෙර මෙම අවකාශය කළමනාකරණය කෙරුණේ බහු ආගමික අවකාශයක් ලෙසටයි (එය යටත් විජිත පාලනයේ අනුග‍්‍රහය නිසා සිදු වූවක් නොව). නමුත් පශ්චාත් යටත් විජිත සමයේ දී මෙම ස්ථානය බෞද්ධ අවකාශයක් ලෙස කළමනාකරණය වීමට පටන් ගනී. (මහාචාර්ය පේ‍්‍රමකුමාර ද සිල්වා මේ ගැන සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකරනු ලැබ ඇත.)

මට අනූජ මංචනායකගෙන් හා මගේ සෙසු විවේචකයින්ගෙන් විමසීමට ඇති ප‍්‍රශ්නය වන්නේ උතුරේ රාජ්‍යය අනුග‍්‍රහය යටතේ උත්තර අවකාශයක් ගොඩවැංවීම පිළබඳ මගේ යෝජනාව අවලංගු එකක් ද යන්නයි.

නිර්මාල් රංජිත් දේවසිරි

Advertisements
Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – (11 කොටස)

දෙමළාගේ ප‍්‍රශ්නය හා සිංහලයාගේ අභිලාෂ

Gerhard-Richter-1මේ කොටස මගින් සලකා බැලෙන්නේ ‘උතුර හා නැගෙනහිර ප‍්‍රදේශවල දෙමළ ජනයා තමන් වෙනම දේශපාලන අභිලාෂ සහිත ප‍්‍රජාවක් ලෙස සලකා එකී ප‍්‍රදේශ තම දේශපාලන අභිලාෂ ඉෂ්ට කරගැනීමේ භූමි ප‍්‍රදේශය ලෙස සැලකීම මගින් උතුර හා නැගෙනහිර ද ඇතුලත්ව සමස්ත දිවයිනම තම සුජාත භූමිය ලෙස සලකන සිංහල ජනයාට අසාධාරණයක් සිදුවේ’ යන සිංහල ජාතිකවාදී අදහසයි.

දර්ශන කස්තුරිරත්න මගේ හයවෙනි ලිපියට ප‍්‍රතිචාර දක්වමින් මෙම දැක්ම මෙසේ වර නගයි:

“දෙමළ ජනතාව උතුරු සහ නැගෙනහිර පළාත් සිය සම්ප්‍රදායික නිජ භූමිය කියලා හිතලා ඒ මත තම ජාතික අනන්‍යතාවය නිර්ණය කර ගන්නවා. ඒ අනුව ඒ ප්‍රදේශවල ඒ ජාතියට පදනම් වූ රටක් නිර්මාණය කිරීම සාධාරණයි වගේ අදහසක් මට එන්නේ මේක කියෙව්වම. දැන් ප්‍රශ්නය තියෙන්නේ ඒක සිංහල ජනතාව සිය ජාතිය නිර්ණය කරගන්නා භූමියෙන් අන්‍යොන්‍ය ලෙස බහිෂ්කාර නොවීමයි. සිංහල ජනතාව සිය ජාතිය කියලා නිර්ණය කර ගන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්ද ඇතුළුව මුළු රටමයි. ඒක තහවුරු කරන හැසිරීමක් තමයි යුද්දෙන් පස්සේ සිංහල මිනිස්සු විශාල වශයෙන් නාගදීපයට සහ උතුරු පළාතට ‘චාරිකා’ ගියපු එක. ‘මේවා අපේ උරුමය’ වගේ හැඟීමක් එතන තිබුනේ. නීතිමය බාධා නැත්නම් ඒ පළාත්වල ඉඩම් ගන්ඩත් ඉඩ තිබුනා සිංහල මිනිසුන් විසින්. සිංහල මිනිසුන්ගේ ජාතිකත්වය නිර්ණය වෙන්නේ මේ පළාතුත් එක්ක මුළු රටම පදනම් කරගෙන. ඓතිහාසික සාධක නොසලකා හුදෙක් ජන විඥාණය මත සලකා රාජ්‍යයක් නිර්මාණය කරනවානම් සිංහල ජනතාවගේ රාජ්‍යය ගැන විඥාණය නොසලකා හැර දෙමළ ජනතාවගේ රාජ්‍යය ගැන ඇති විඥාණය පමණක් සැලකිය යුත්තේ ඇයි? දෙමළාගේ ජන විඥාණය මත පදනම් වූ රාජ්‍යය නිර්මාණය කරන්ඩ බෑ සිංහලයාගේ ජන විඥාණය මත පදනම් වූ රාජ්‍යය විනාශ කරන්නේ නැතුව.”

ඇත්ත වශයෙන්ම කස්තුරිරත්නගේ මෙම ප‍්‍රස්තූතගත කිරීම භූමි ප‍්‍රදේශය සම්බන්ධ ගැටලූවේ ස්වභාවය මනාව පිළිඹිබු කරන්නකි. කස්තුරිරත්න නිවැරදිව ඉදිරිපත්කරන ආකාරයට සිංහල ජාතිකවාදය මගින් සකස්කරන ලද සිංහල ජනයාගේ මනස සිය රාජ්‍යයේ භූමිප‍්‍රදේශය පරිකල්පනය කරන්නේ දෙමළ ජනයා සිය සම්ප‍්‍රදායික ඓතිහාසික නිජබිම ලෙස සලකන භූමිය ද ඇතුලත් භූමියේ ය. මෙම පරිකල්පනයේ ඇති ගැටලූව කුමක් ද? එහි ඇති ගැටලූව වන්නේ සිංහලයා මෙලෙස සිය භූමිය පරිකල්පනය කරනු ලබන්නේ දෙමළ හා සෙසු සිංහල (බෞද්ධ) නොවන ජනවර්ග ද ඇතුළුකරගන්නා (ශ‍්‍රී ලාංකේය) අනන්‍යතාවයක් තුළ නොව එකී ජන කොටස් බැහැර කෙරෙන සිංහල-බෞද්ධ අනන්‍යතාවයක් තුළ වීමයි.

මෙය වඩාත් ගැටලූ සහගත වන්නේ, ජාතික චින්තනවාදීන් ගේ අර්ථකථනයට අනුව ව්‍යාජ සිංහල ජාතිකවාදී වන ජේ.ආර්. ජයවර්ධන වැන්නන්ගේ ආණ්ඩු පමණක් නොව ඔවුන්ට අනුව ජාතිකවාදී කඳවුරේ පූර්ණ දෘෂ්ඨිවාදී සහය ලැබූ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පවා සිංහල නොවන ජනයාට මෙන්ම භාහිර ලෝකයාට ද නිල වශයෙන් පොරොන්දු වන්නේ එවැනි සිංහල කේන්ද්‍රීය පරිකල්පිත අනන්‍යතාවයක් නොවීමයි. එ මගින් පොරොන්දු වන්නේ ‘ශ‍්‍රී ලාංකේය’ අනන්‍යතාවයකි. එහි දී ඇතිවන ගැටලූ සහගත තත්වය වන්නේ රාජ්‍යයට අභිමුඛව දෙමළ ජනයාගේ දේශපාලන බලාපොරොත්තු සකස් වන්නේ එ ලෙස පොරොන්දුවන ‘ශ‍්‍රී ලාංකේය’ පරිකල්පනයක් මුල් කරගෙන වීමයි.

නමුත් දෙමළ ජනයාගේ මෙම බලාපොරොත්තුව ඉක්මනින්ම බිඳීයන්නේ මෙම පොරොන්දුව හුදෙක් නිල මට්ටමින් ඔබ්බට නොයන නිසාය. මෙම අදහස ම තවත් ආකාරයකට කියනවා නම් සිද්ධ වන්නේ රාජ්‍යය තුළ සිංහල-බෞද්ධ නොවන ජනයාගේ ස්ථානය නිර්වචනය කිරීම සඳහා ලංකාවේ රාජ්‍යය මෙහෙය වූ දේශපාලන ප‍්‍රභූතන්ත‍්‍රය (ruling elite) විසින් එකිනෙකට පරස්පර කතිකාවන් දෙකක් භාවිත කරන ලදි. එක් කතිකාවක්, එනම් ‘ශ‍්‍රී ලාංකේය’ අනන්‍යතාවයක් පදනම් කරගත් කතිකාව, මගින් අපේක්ෂා කෙරුණේ දෙමළ හා වෙනත් සිංහල-බෞද්ධ නොවන ජනකොටස් වලටත්, රාජ්‍යය තුළ එම ජන කොටස්වල තත්වය ගැන රාජ්‍යයේ පාලක ප‍්‍රභූවේ පැවැත්ම කෙරෙහි යම් බලපෑමක් කරනු ලැබිය හැකි වෙනත් පාර්ශව වලට (විශේෂයෙන් ඊනියා ජාත්‍යන්තර ප‍්‍රජාවට) ආමන්ත‍්‍රණය කිරීම සදහාය. අනෙක් කතිකාව, එනම් ‘ සිංහල-බෞද්ධ ’අනන්‍යතාවයක් පදනම් කරගත් කතිකාව, මගින් අපේක්ෂා කෙරුණේ සිංහල-බෞද්ධ ජනයා වෙත ආමන්ත‍්‍රණය කිරීමයි.

මෙම දෙබිඩි පිළිවෙත අද දක්වාම ක‍්‍රියාත්මක වේ. මේ සම්බන්ධව කදිම උදාහරණයක් මගේ සිතට එයි. යුද්ධය පැවැති කාලයේ එක් පුවත්පත් කරුවෙක් ගුණදාස අමරසේකරගෙන් විමසා සිටියේ තිස්ස විතාරණ වැනි අය ආණ්ඩුවේ තියා ගන්නවාට විරෝධය දන්වන්නේ නැත්තේ මන් ද යන්නයි. අමරසේකර ඊට ඉතාම පැහැදිළි සහ ඍජු පිළිතුරක් ලබා දුන්නේ ය. එනම් බටහිර රටවලින් විවිධ නියෝජිත පිරිස් ලංකාවට පැමිණි විට ඔවුන් හමුවට යැවීම සඳහා තිස්ස විතාරණ වැනි අය ආණ්ඩුවේ තබාගෙන සිටීම වැදගත් බවයි. රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය කාලයේ එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නියෝජිතයා කලේ දයාන් ජයතිලකවයි. මා දන්නා ලෙසට කිසිවෙකු දයාන් ජයතිලක එතැනින් ඉවත් කොට ගෝමීන් දයාශ‍්‍රී වැනිනෙක් පත්කිරීමට උද්ඝෝෂණය කලේ නැත.

අනෙක් කතිකාව හැසිරවෙන්නේ කෙසේ ද?

අපි ‘ව්‍යාජ ජාතිකවාදී ජේ.ආර්. ආණ්ඩුවේ’ ප‍්‍රධාන ප‍්‍රකාශකයකුගේ හඬට සවන් දෙමු. ඉහත කී නිල මතය සහ එහි ඉතාම තුනී පිට පොත්තට යටින් ඇති සිංහල වාර්ගික ජාතිකවාදය මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස දෙමළ සමාජය තුළමත් පිළිගැනීමක් තිබූ ගාමිණී දිසානායකගේ මෙම ප‍්‍රකාශය තුළින් මනාව නියෝජනය වේ.

‘‘යුගයෙන් යුගයට ශ‍්‍රී ලංකාවේ පැන නගින ජාතිවාදී ප‍්‍රශ්න මින් ඉදිරියට පැන නොනගින සේ නිරාකරණ කොට එකම ධජයක් යටතේ පාලනය කිරීමත් හැම ජාතියකටම පොදු ඒකීය ස්වර්ණ භූමියක් ඇති කිරීමත් පරමාර්ථ කොට ගෙන ජාති වශයෙන්, ආගම් වශයෙන් නොසලකා මේ රටේ ජනතාවට ඉඩම් බෙදා දෙන බවද දිසානායක මහතා පැවැසී ය.

සිංහල ජනතාවට උරුම වී ඇත්තේ එකම රටකි. එම ජනතාවගේ සොහොන් කොත් ඉඳිවන්නේත් එම රටේ පමණකි. එසේ නම් මේ රටේ ඉපදෙන හැම දරුවකුටම බිම් අඟලකට හෝ අයිතියක් තිබිය යුතුය’’ (ලංකාදීප 28-05-1984).

පාලක ප‍්‍රභූන් විසින් අනුගමනය කරනු ලබන මෙම දෙබිඩි ප‍්‍රවේශය මෙම ප‍්‍රශ්නයේ එක්පැත්තකි. එහි තවත් පැත්තක් ඇත. එනම් නලින් ද සිල්වා යෝජනා කරන ප‍්‍රවේශයයි. එහි දී ඔහු දෙමළ ජනයා රවටන ඉහත කී දෙබිඩි ප‍්‍රවේශය ප‍්‍රතික්ෂේප කිරීම ප‍්‍රශංසනීය වේ. ඔහු කියන්නේ මේ සම්බන්ධව දෙමළ ජනයා සමඟ විවෘතව සාකච්ඡා කළ යුතු බවයි. නමුත් එහි දී ප‍්‍රශ්නය වන්නේ ඒ මගින් සිංහල-බෞද්ධ ජනයාගේ වාර්ගික අභිලාශ තෘප්ත කරන අතර දෙමළ ජනයාගේ වාර්ගික අභිලාශ බැහැර කිරීමයි.

ලැකෝනියානු මනෝවිශ්ලේෂණ න්‍යායේ වචන වලින් කියනවානම් සිංහල-බෞද්ධයාට උතුරු නැගෙනහිර ප‍්‍රදේශ සම්බන්ධව ඇති විඥානයේ පදනම පරිකල්පනීය (imaginary) වේ. මීට වෙනස්ව දෙමළ ජනයාට මේ ප‍්‍රදේශ සම්බන්ධව ඇති විඥානය පරිකල්පනීය මෙන්ම සංකේතීය (symbolic) ද වේ. මෙහි දී ‘සංකේතීය’ යනුවෙන් අදහස් කරන්නේ අප සාමාන්‍ය ව්‍යවහාරයේ ‘යථාර්ථය’ නමින් හඳුන්වන තත්වයට අයත් ය යන අදහසයි. එනම් සිංහල-බෞද්ධයාට උතුරු නැගෙනහිර ප‍්‍රදේශ යනු ඇත්ත වශයෙන්ම තමා සතුව පවත්නා දෙයක් නොවේ, තමාට අහිමි වී ඇති, එහෙත් තමාගේ අනන්‍යතාවය පරිපූර්ණ වීම සඳහා අත්පත් කරගත යුතු දෙයකි. කස්තුරිරත්න ගේ අදහස් වලින් මෙය ඉතා කදිමට පැහැදිළි වේ. අනාගතයේ අත්පත්කරගත යුතු මනඃසෘෂ්ටිමය ආශාවක් වන මෙය වර්තමාන සිංහල-බෞද්ධ විසින් අතීතයට ප‍්‍රක්ෂේපණය කරනු ලැබ ඓතිහාසික මනඃසෘෂ්ටියක් (historical fantasy) බවට පරිවර්තනය කරනු ලැබ තිබේ. එනම් එය අනාගතයේ අත්පත් කරගත යුත්තක් පමණක් නොව අතීතයේ පැවැති දෙයක් ද වේ යන අදහසයි.

මෙම පරිකල්පනීය අශාව ඉෂ්ට කරගැනීමට නම් මෙම මනඃසෘෂ්ටිමය භූමිය සංකේතීව අත්පත් කරගත යුතුය. සිංහල-බෞද්ධයා මේ භූමිය සංකේතීයව අතපත් කරගැනීමට උත්සාහ කළේ හා කරන්නේ කෙසේ ද? යුද්ධ කිරීමෙන්, ස්ථිර යුධ කඳවුරු ඇති කිරීමෙන්, වන්දනාවේ යාමෙන්, භූමිය යලි නාමකරණය කිරීමෙන් (කන්දරොදෙයි කදුරුගොඩ කිරීම වැනි), මේ ප‍්‍රදේශය පුරාවිද්‍යාකරණය කිරීමෙන් (archaeologization), ඉඩම් ගැනීමට උත්සාහ කිරීමෙන් හා සිංහල ජනාවාස ඇති කිරීමට උත්සාහ කිරීමෙන් යනාදී ආකාර වලිනි; වෙනත් වචන වලින් කියනවා නම් මේ ප‍්‍රදේශයේ දෙමළ සංකේතීය අවකාශය මත උත්තර අවකාශයක් (super space) ගොඩනැංවීම මගිනි.

ඇත්ත වශයෙන්ම මෙම රාජ්‍යය, කස්තුරිරත්න ප‍්‍රකාශ කරන ආකාරයේ, මුළුමනින්ම ‘‘සිංහලයාගේ විඥානය මත පදනම් වූ රාජ්‍යයක්’’ ලෙස හැඳින්වීම දුෂ්කර වේ. 1948 මෙම රාජ්‍යය ආරම්භ වන විට විවිධ ජනවර්ග අතර ලිහිල් සම්මුතියක් ඇතිවිණි. ව්‍යවස්ථාවට ඇතුල්කර තිබූ 29 (2) වගන්තිය මෙම ලිහිල් සම්මුතියේ ප‍්‍රකාශමාන වීමකි. මා මීට පෙර සාකච්ඡා කරනු ලැබ ඇති ආකාරයට රාජ්‍යය පශ්චාත් යටත් විජිත රාජ්‍යය සිංහලකරණය වනනේ මෙම සම්මුතිය විනාශ කරමිණි. මේ නිසා කස්තුරිරත්නගේ ප‍්‍රවාදයට ප‍්‍රතිපක්ෂව මා ප‍්‍රකාශ කිරීමට කැමැති වන්නේ සිංහල-බෞද්ධ විඥානය අනුව යමින් පශ්චාත්-යටත් විජිත රාජ්‍යය සිංහලකරණය වන්නේ 1948 දී විවිධ ජනවර්ග අතර ලිහිල් සම්මුතියක් මගින් ඇතිවූ රාජ්‍යය විනාශ කරමින් බවයි.

දෙමළාගේ ප‍්‍රශ්නය විසඳීමට හැකි වඩාම හොඳ ආකාරය වන්නේ උතුර නැගෙනහිර සම්බන්ධ සිංහල-බෞද්ධ මනඃසෘෂ්ටිය සාක්ෂාත් කරගැනීමට අනුගමනය කෙරෙන ආකාර සෑහෙන දුරකට තනුක කිරීමයි. එනම් සිංහල-බෞද්ධයාගේ පරිකල්පිත භූමියේ කොටසක් වන ‘දඹදිව’ සංකේතීයව අත්පත්කර ගැනීමට අනුගමනය කෙරෙන ආකාර (වන්දනාවේ යාම වැනි) සීමිත ක‍්‍රියාවන් බවට පත්කිරීමයි. එවැනි කි‍්‍රයාවන් ඉන්දියානුවාගේ භූ-දෙශපාලන අභිලාෂ සමඟ ගැටෙන්නේ නැත. එවැනි තත්වයක් ඇතිකරගැනීමට ඇති බාධාව වන්නේ ප‍්‍රධාන වශයෙන්ම සිංහල-බෞද්ධ ජාතිකවාදයේ අන්තවාදී ප‍්‍රවණතාවන් වේ.

නිර්මාල් රංජිත් දේවසිරි

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

ප‍්‍රතිචාර මාලාව 1 කොටස

චරිත කාරියවසම්ට පමා වූ පිළිතුරක්

 

maleri-painting-minimalism-minimalistisk-linjer-lines-box-bokse-kirsten-rotboell-lassen-white-lines-abstractචරිත කාරියවසම් මහතාට අනුව මා ඔහු මතු කරන ප‍්‍රශ්න වලට ඍජුව පිළිතුරු දෙන්නේ නැත. පෙනෙන විධිහට ඔහු විශ්වාස කරන්නේ මා ඔහු මතුකර ඇති ප‍්‍රශ්න වලට ඍජු පිළිතුරු නොදෙන්නේ මට ඒ සඳහා පිළිතුරු නොමැති හෙයින් බවයි. ඇත්ත වශයෙන්ම ඒ ප‍්‍රශ්න සියල්ල සඳහා මා සතුව පිළිතුරු ඇතැයි මම නොකියමි. නමුත් ඇත්ත වශයෙන්ම ඔහු මතු කරන බොහෝ ප‍්‍රශ්න වලට මා ඍජු පිළිතුරු නොදුන්නේ එක් හේතුවක් නිසාය. එනම් මම මේ ලිපි පෙළ ආරම්භ කලේ නිෂ්චිත සැලැස්මක් ඇතිව නිසාය. ඒ නිසා මගේ අරමුණ වූයේ මගේ මූලික අදහස් මුලින්ම විධිමත් ලෙස ගොනුකොට අවසන් කිරීමයි. ජාතික චින්තන ෆේස්බුක් කණ්ඩායමේ සම්භාෂකයින්ගේ ප‍්‍රතිචාර වලට මුහුණ දීමට සිදුවූයේ ඒ අතරය. ඇත්ත වශයෙන්ම මෙම ලිපි පෙළ මගින් ඉලක්ක කෙරුණු මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ අදහස් ගරු කරන පිරිස් මෙම ලිපි වලට මෙතරම් උනන්දුවෙන් ප‍්‍රතිචාර දක්වාවි යැයි මම බලාපොරොත්තු නොවුනෙමි.

එසේ වුවද මගේ අපේක්ෂාව වූයේ ද එයයි. එම නිසාම මගේ මුල් සැලැස්මෙන් තරමක් දුරට ඉවත්ව මගේ සම්භාෂකයින්ට ප‍්‍රතිචාර දැක්වීමට ද සිදු විය. නමුත් එය එතරම් පහසු දෙයක් නොවූයේ චරිත කාරියවසම්, දර්ශන කස්තුරිරත්න, ශිරන්ත චාමර, නාමල් උඩලමත්ත, කැළුම් සංජීව අබේවික‍්‍රම වැනි අය බෙහෙවින් විස්තරාත්මක ප‍්‍රතිචාර නිරන්තරව ඉදිරිපත්කල බැවිනි. මෙම සෑම ප‍්‍රතිචාරයකටම වෙන් වෙන්ව ප‍්‍රතිචාර දැක්වීම මගේ පරම අපේක්ෂාව වුව ද එය කාලය සමග පහසු දෙයක් නොවේ.

කෙසේ වෙතත් මෙම ලිපි පෙළට මෙතරම් අනුරාගයකින් ප‍්‍රතිචාර දක්වන චරිත කාරියවසම් ගේ මැදිහත් වීම නොතකා හැරීම අසාධාරණ වේ. මේ නිසා මම චරිතගේ මැදිහත්වීම් වලට මේ මගින් විචාරයක් ඉදිරිමත් කරමි. කෙසේ වෙතත් එහිදී ද මට චරිත ගේ ඉල්ලීම ඍජුව ඉෂ්ට කිරීමට, එනම් ඔහුගේ ප‍්‍රශ්න වලට ඍජුව පිළිතුරු සැපයීමට, නොහැකි වීම ගැන මම චරිත ගෙන් සමාව අයදිමි. නමුත් ඔහුගේ ප‍්‍රශ්න සමහරකට මම ඍජුව අභිමුඛ වී ඔහුගේ කතිකාව විචාරය කිරීමට උත්සාහ කරමි. ඒ සඳහා කොටස් කීපයකින් යුතු ලිපිමාලාවක් ලිවීමට මම අදහස් කලෙමි. එයින් පළමු වැන්න මෙයයි. මෙහිදී මා විමසා බලන්නේ චරිත කාරියවසම් ගේ පහත දැක්වෙන ප‍්‍රතිචාරයයි. ඔහු අගෝස්තු 31 වනදා මෙම ප‍්‍රතිචාරය දක්වන්නේ මගේ ලිපි මාලාවේ පළමුවෙනි කොටසටයි.

ප‍්‍රතිචාරයට මුල්වන මගේ ලිපියේ අදාල කොටස මෙසේය:

“කෙසේ වෙතත් මෙහිදී ප‍්‍රකාශ කළ යුතු අමතර දෙයක් වන්නේ ලංකාවේ ,ලිඛිත ඉතිහාසයෙන්, කියැවෙන කාලයේ ලංකාවේ බහුතරය සිංහල බෞද්ධයන්ය යන නලින් ද සිල්වාගේ 1995 ප‍්‍රවාදයට (ප‍්‍රභාකරන්ල ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතිය) පරස්පර වන අදහස් ඔහු විසින්ම පසුව ඉදිරිපත් කරනු ලැබ ඇති බවයි. “අපේ ප‍්‍රවාද 3″ නමින් පළ කර ඇති ඔහුගේ කෘතිය තුළ ඉදිරිපත්වී ඇති අදහස් වලින් ඔහු ප‍්‍රකාශ කිරීමට උත්සාහ කරන එක් අදහසක් වන්නේ ‘යක්ෂ ගෝත්‍රිකයින්’ නමින් ඔහු විසින්ම හඳුන්වනු ලබන ජන කොටස බෞද්ධ වීම ප‍්‍රතික්ෂේප කරනු ලැබූ බවයි. සිංහල බෞද්ධයා එකල ලංකාවේ බහුතරය වීය යන ප‍්‍රවාදයට මේ අදහස නිසා කුමක් සිදුවේදැයි ඔහු පැහැදිලි නොකරයි.”

මගේ මේ ප‍්‍රකාශයට චරිත කාරියවසම් ගේ ප‍්‍රතිචාරය මෙසේය:

“මෙතුමාගේ මෙම ‘තර්කය’ කියවූ විට මට සිහි වන්නේ නලින් ද සිල්වා මහතා මෙරට විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ගැන කරන විවේචනයයි. ඔවුන් බහුතරය අනුකාරක උගතුන් බවත්, තමාගේ කියා ප්‍රවාදයක් ගොඩ නගා නොගත් පරිවර්තකයන් පිරිසක් පමණක් බවත් ඔහු පවසයි. මෙතුමාගේ මේ ‘තර්කය’ කිය වූ විට නලින් ද සිල්වා මහතා කරන ඒ විවේචනය මෙතුමාට නම් නම්බුවක් වැනි යැයි මට සිතේ. මන්ද මෙතුමාට ඉතාම සරල තර්කයක් පවා නිවැරදිව ඉදිරිපත් කර ගත නොහැකි වීමයි. අවාසනාවකට මෙවන් මහතුන් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ඉහලම තනතුරක් දරයි.

ඔහුට පිලිතුරු

1) යක්ෂ ගොත්‍රකයින් යනුවෙන් නලින් ද සිල්වා මහතා විසින්ම හඳුන්වා ගන්න පිරිසක් නැත. යක්ෂ ගෝත්‍රය පිළිබඳ පාසල් පෙල පොත් වල පවා අප කියවා ඇත.

 
2) සිංහල බෞද්ධයා යක්ෂ නාග ගෝත්‍ර පැවති කාලයේදිද ලංකාවේ බහුතරය වීය වැනි ගොන් කතා කිසි විටකත් නලින් ද සිල්වා මහතා ප්‍රකාශ කර නැත. ඒ මහතාට අනුව එකල සිංහල ජාතිය බිහි වීද නැත. එතුමාට අනුව සිංහල ජාතිය බිහි වූයේ පණ්ඩුකාභය රජු දවසය. එය සිංහල බෞද්ධ රාජ්‍යක් ලෙස අබිශේක කලෝ දුටු ගමුණු රජතුමාය.

‘සිංහල බෞද්ධයා එකල ලංකාවේ බහුතරය වීය යන ප‍්‍රවාදයට මේ අදහස නිසා කුමක් සිදුවේදැයි ඔහු පැහැදිලි නොකරයි’
ඔව්. ඔහු එසේ පැහැදිලි නොකරන්නේ ඔහු එවන් දෙයක් කියා නැති බැවිනි. ඔහු නොකියූ දෙයක් ඔහු පැහැදිලි කරන්නේ කුමටද?

3) අසාධාරණය හා අභිලාෂය පිළිබඳ දර්ෂණ සහෝදරයා පැවසු කරුනු සමග එකඟ වෙමි.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙතුමා මාගලක් වැනි ‘පිළිතුරක්’ ලිවූවද එහි අන්තර්ගතය වාක්‍ය කීපයකට උවද මදි බවය. ඔහුගේ වචන වලින්ම ගතහොත් වචන ආකර්ශනීය වුවද ‘පිළිතුර’ ෆ්ලැට් එකකි”

චරිත කාරියවසම් ගේ ප‍්‍රතිචාරයේ මුල් චේදයට ප‍්‍රතිචාර දැක්වීමට සුදුස්සා මා නොවන බැවින් ඉන් පසු කොටසින් පටන් ගනිමු.

ප‍්‍රතිචාරය 1
“යක්ෂ ගොත්‍රිකයින් යනුවේන් නලින් ද සිල්වා මහතා විසින්ම හඳුන්වා ගන්න පිරිසක් නැත. යක්ෂ ගෝත්‍රය පිළිබඳ පාසල් පෙල පොත් වල පවා අප කියවා ඇත”

කණගාටුවකට මෙන් චරිත මා කියන දේ තේරුම් ගෙන නැත. ” ‘යක්ෂ ග්‍රෝතිකයින්’ නමින් ඔහු විසින්ම හඳුන්වනු ලබන” යන ප‍්‍රකාශයෙන් මා අදහස් කළේ නලින් ද සිල්වා හැර වෙන කිසිවෙක් “යක්ෂ ග්‍රෝතිකයින්” යන යෙදුම භාවිත නොකරන බව නොව මා එය භාවිත නොකරන බවයි. සාමාන්‍යයෙන් ශාස්ත‍්‍රීය ලේඛනයක දී තම ප‍්‍රතිවාදියා උපුටා දක්වන විට තමාට උපුටා දැක්වෙන අදහසින් දුරස්ත වීමට අවශ්‍ය වූ විට මෙවැනි ආකාර භාෂාවක් භාවිත කරයි. එය ඉංග‍්‍රීසියෙන් කියන්නේ නම් මෙසේය: “People of Yaksha tribe, as Nalin de Silva himself calls”.

ප‍්‍රතිචාරය 2

“සිංහල බෞද්ධයා යක්ෂ නාග ගොත්‍ර පැවති කාලයේදිද ලංකාවේ බහුතරය වීය වැනි ගොන් කතා කිසි විටකත් නලින් ද සිල්වා මහතා ප්‍රකාශ කර නැත. ඒ මහතාට අනුව එකල සිංහල ජාතිය බිහි වීද නැත. එතුමාට අනුව සිංහල ජාතිය බිහි වූයේ පණ්ඩුකාභය රජු දවසය. එය සිංහල බෞද්ධ රාජ්‍යක් ලෙස අභිශේක කලෝ දුටු ගැමුණු රජතුමාය.”

‘සිංහල බෞද්ධයා එකල ලංකාවේ බහුතරය වීය යන ප‍්‍රවාදයට මේ අදහස නිසා කුමක් සිදුවේදැයි ඔහු පැහැදිලි නොකරයි’
ඔව්. ඔහු එසේ පැහැදිලි නොකරන්නේ ඔහු එවන් දෙයක් කියා නැති බැවිනි. ඔහු නොකියූ දෙයක් ඔහු පැහැදිලි කරන්නේ කුමටද?”

චරිත කාරියවසම් මහතාගේ මෙම ප‍්‍රතිචාරයේ අඩුපාඩු දෙකක් ඇත. එකක් නම් ඒ මහතා නලින් ද සිල්වා මහතාගේ අදහස් සවිස්තරාත්මකව අවබෝධ කරගෙන ඇති බවක් නොපෙනීමයි. විශේෂයෙන්ම ‘‘අපේ ප‍්‍රවාද 3’’ ලිපි එකතුවේ එන ලිපි චරිත ප‍්‍රවේශමෙන් කියැවූවා දැයි මට සැක සහිතය. මා මගේ ලිපි මාලාවේ ඉදිරි කොටසක ද සඳහන් කරන ආකාරයට ‘‘අපේ ප‍්‍රවාද 3’’ එකතුවේ අවසාන නිගමන වලින් එකක් වන්නේ මෙයයි:

‘‘පණ්ඩුකාභය රජු දවස සිදු වී ඇත්තේ යක්‍ෂ හා වැදි ගොත‍්‍රිකයන් හැරෙන්නට අනෙක් ගෝත‍්‍රිකයන් සමඟ අර්ධ වෛදිකයන් එකතු වී සිංහල ජාතිය ගොඩනැඟීම ආරම්භ කිරීම ය. වැදි ගෝති‍්‍රකයෝ මුළුමනින් ම සිංහල ජාතිය ගොඩ නැඟීමේ කාර්යයෙන් බැහැර ව සිටි අතර යක්‍ෂ ගෝත‍්‍රිකයන් ගෙන් කිහිප දෙනෙකු එයට සහභාගී වී ඇත’’ (අපේ ප‍්‍රවාද 3, පිටුව 241).

මේ අදහසට අනුව ‘‘ පණ්ඩුකාභය රජු දවස’’ට පසුවත් (පණ්ඩුකාභය රජු දවස යන ප‍්‍රස්තූතගතකිරීම මා පිළිගන්නේ නැති බව සලකන්න) ‘‘යක්ෂ ගෝත‍්‍රය’’ පැවැතී ඇත. නලින් ද සිල්වාට අනුව ‘‘යක්ෂ ගෝත‍්‍රය’’ මුළුමනින්ම සිංහල-බෞද්ධ වී ඇත්තේ දඹදෙණි සමයේ දීය.
(කෙසේ වෙතත් මා මේ ලිපිය ලියූවාට පසු නැවතත් නලින් ද සිල්වා මේ සම්බන්ධ සිය මතය වෙනස් කොට ඇත. ඒ මෙසේය “මා දැන් විශ්වාස කරන පරිදි මෙරට යක්‍ෂ ගෝත්‍රිකයන් මුල් කරගත් හෙළ බොදු සංස්‌කෘතියක්‌ බුදුන් වහන්සේගේ කාලයේ සිට ම පැවතී ඇත” දිවයින, දැක්ම තීරු ලිපිය 27-10-2013. මෙහි හෙළ හා සිංහල යනු අනන්‍යතා දෙකක් බව පෙනේ.)

මා මෙහිදී මතුකරන සරළ ප‍්‍රශ්නය මෙයයි: ඊනියා ‘යක්ෂ ගෝත‍්‍රය’ සිංහල-බෞද්ධ නොවූවා නම් සහ සමස්ත ජනගහනයෙන් කොයිතරම් ප‍්‍රමාණයක් ‘යක්ෂ ගෝත‍්‍රය’ට අයත් වූවා දැයි හරියටම ගණනය කර නොමැති නම් සිංහල-බෞද්ධ ජනයා බහුතරය යයි ප‍්‍රකාශ කරන්නේ කෙසේ ද?

මෙහි දී මගේ යෝජනාව වන්නේ චරිත කාරියවසම් මහතා මගේ අදහස් අගති විරහිතව තෙරුම් ගැනීමට ප‍්‍රමාණවත් පරිශ‍්‍රමයක් නොදරන බවයි.

නිර්මාල් රංජිත් දේවසිරි

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – 10 කොටස

උතුරේ දෙමළ ජනයා සහ ඉන් පිටත දෙමළ ජනයා

Gerhard-Richter-Abstraktes-Bild-804-9පසුගිය ලිපියෙන් හඳුනාගත් ආකාරයට, මේ ලිපි පෙළ තුළ දෙමළාගේ ප‍්‍රශ්නය පිළිබඳ මා ඉදිරිපත් කරන අදහස් විවේචනය කරන අය මතු කරන දෙවන ප‍්‍රතිතර්කය මෙයයි: ‘‘දෙමළ ජනයාගේ ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස රටේ සමස්ත දෙමළ ජනගහනයෙන් සුළුතරයක් පමණක් ජීවත්වන උතුර හා නැගෙනහිර ප‍්‍රදේශවල වෙනම රාජ්‍යයක් හෝ ප‍්‍රාදේශීය ස්වයං පාලනයක් ඇති කිරීමට යාම මගින් දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය විසඳේයැයි කීම විරුද්ධාභාසයකි.’’

මෙම කියාපෑම සම්බන්ධව කිහිප ආකාරයකින් ප‍්‍රතිචාර දැක්වීමට පුළුවන. මෙම ලිපි පෙළ තුළ මගේ අභිප‍්‍රාය වන්නේ දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් දෙමළ ජනයා මුහුණදෙන ප‍්‍රශ්නවලට සැබෑ පිළිතුරු සපයයි ද යන්න සාකච්ඡා කිරීම නොව, දෙමළ දේශපාලන ඉල්ලීම් පසුපස ඇති දේශපාලන ප‍්‍රශ්නය තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. විශේෂයෙන්ම මගේ පරිශ‍්‍රමය වන්නේ දෙමළ රාජ්‍ය විඥානය තෙරුම් ගැනීමට උත්සාහ කිරීමයි. මගේ ප‍්‍රතිචාරකයින්ට මට නැවත නැවතත් මතක් කර දීමට අවශ්‍ය වන්නේ අනෙකාගේ අභිලාශයට විරුද්ධ වීමට අවශ්‍ය නම් ප‍්‍රථමයෙන්ම අනෙකා ගේ ප‍්‍රශ්නය තෙරුම් ගැනීමට උත්සාහ කරන ලෙසයි. අප සිංහල සමාජය ලෙස දෙමළ ජනයාට යෝජනා කරන්නේ කුමන දේශපාලන විකල්පයක් ද යන්න අපට වෙනම සාකච්ඡා කළ හැක. නමුත් ඊට ප‍්‍රථම අපි දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය දෙස සහවේදනාවකින් යුතුව බැලිය යුතු වෙමු.

කෙසේ වෙතත් මෙම කොටසින් මා බලාපොරොත්තු වන්නේ ඉහත සඳහන් මතය පසුපස ඇති තර්කය තේරුම් ගැනීමටයි.

මීට මාස කීපයකට ඉහත විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් සමඟ කරනු ලැබූ සාකච්ඡාවකදී අමාත්‍ය චම්පික රණවක ප‍්‍රකාශ කළේ යුද්ධය පැවැති කාලයේ ආරක්ෂාව පතා යුධ ගැටුම් පැවැති ප‍්‍රදේශ වලින් පිටව ආ දෙමළ ජනයා සිංහල ජනයා අතර ජීවත්වීමට වැඩි කැමැත්තක් දැක්වූ බවය. උදාහරණයක් ලෙස ඔහු සඳහන් කළේ හම්බන්තොටට පවා මෙලෙස විශාල වශයෙන් දෙමළ ජනයා සංක‍්‍රමණය වී ඇති බවය. උතුරු ප‍්‍රදේශයේ රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහා වූ දෙමළ ජනයාගේ දෙශපාලන අභිලාෂය පිළිබඳ මගේ අදහස් දැක්වීම්වලට ප‍්‍රතිචාර දක්වන මගේ බොහොමයක් ෆේස්බුක් ප‍්‍රතිචාරකයින් ප‍්‍රකාශ කරන්නේද උතුරු-නැගෙනහිර ප‍්‍රදේශ වලින් පිට සිංහල-බෞද්ධ ජනයා ජීවත්වන ප‍්‍රදේශවල දෙමළ ජනයාට ආරක්ෂාව පිළිබඳ කිසිඳු ප‍්‍රශ්නයක් ඇත්තේ නැති බවයි.

මෙහි දී අපට ප‍්‍රශ්න දෙකකට පිළිතුරු දීමට සිදුවේ. උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ වලින් පිටත ජීවත් වන දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය තේරුම් ගන්නේ කෙසේ ද යන්නයි. දෙවැන්න දෙමළ ජනයාට සිංහල-බෞද්ධ ජනයා අතර ජීවත්වීම සඳහා කිසිඳු ගැටලූවක් ඇත්තේ නැති ද යන ප‍්‍රශ්නයයි. මෙහි දී අපගේ මූලික සාකච්ඡාවට භාජනය කළ යුතුවන්නේ ‘‘දෙමළ ජනගහනයෙන් සියයට හැටක ප‍්‍රමාණයක් සිංහල-බෞද්ධ ජනයා අතර සාමකාමී ලෙස බියකින් තොරව ජීවත් වන්නේය’’ යන මිත්‍යා ප‍්‍රබන්ධයයි. මගේ ෆේස්බුක් ප‍්‍රතිචාරක චරිත කාරියවසම්ගේ ම වචන වවින් කියනවානම් මෙසේ ය. ‘‘60% කට ආසන්න දෙමළ ජනතාවක් ඔය කියන නිජබිමෙන් පිටත ජීවත්වන විට දී මේ පලවා හැරීම කියන එක කොච්චර සාධාරණ ද? ඇයි මේ පලවා හරින පැත්තටම එන්නේ?”

මා මෙය මිත්‍යා ප‍්‍රබන්ධයක් ලෙස සලකන්නේ ඇයි? එසේ කියන්නේ මෙම අදහස පදනම් වී ඇත්තේ එය එසේ යැයි විශ්වාස කිරීමට සිංහල-බෞද්ධයින් තුළ ඇති කැමැත්ත නිසා පමණක් වීම හේතු කරගෙනයි. විශේෂයෙන්ම කියනවානම් මේ සියයට 60 ඉලක්කම පවා අමූලික බොරුවකි. පහත දැක්වෙන දත්ත ගණනය කර බැලීමට පෙර මා පවා සිතා සිටියේ ගණිත මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ අදහස් ගරුකරන මගේ ප‍්‍රතිචාරකයින්ට මෙවැනි දේ වැරදීමට ඉඩක් නොමැති බවයි.

මෙහි දී මගේ මූලික ප‍්‍රශ්නය වන්නේ මෙයයි: දෙමළ ජනයාට පොදුවේ ගත්කල සිංහල-බෞද්ධ ජනයා අතර ජීවත්වීමේ දී ආරක්ෂාව පිළිබඳ ගැටලූවක් නොමැතිද?

ප‍්‍රජාවකගේ සාමූහික හැඟීමක් පිළිබඳව නිගමන වලට පැමිණිම පහසු නොවේ. නමුත් මම මේ පිළිබඳව කිසියම් අදහසක් ලබා ගැනීම සඳහා ලංකාවේ භූමිය තුළ ජනවර්ග විසිරී සිටින ආකාරය (ethnic geography) සම්බන්ධ දත්ත සමහරක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. මේ මගින් මා ඉහත සඳහන් කළ චම්පික රණවක ඉදිරිපත් කළ අදහස ද පරීක්ෂාවට භාජනය කිරීමට හැකියාව ලැබේ.

2012 ප‍්‍රසිද්ධියට පත්කර ඇති ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු දත්ත වලට අනුව ශ‍්‍රී ලංකා දෙමළ යනුවෙන් වර්ගීකරණය කරනු ලැබ ඇති ජනගහනය 2,270,924 කි; එනම් සමස්ත ජනගහනයෙන් සියයට 11.2 කි. මෙයින් සියයට 70.33 ක් එනම් 1,597,276 ක් ජීවත් වන්නේ උතුර හා නැගෙනහිර යන පලාත් දෙකට අයත් දිස්ත‍්‍රික්ක 8 කය (එනම් ඊනියා දෙමළ නිජබිමේ ය). ඉතිරි සියයට 29.66 න් 11.77 ක් එනම් 192,894 ක් ජීවත් වන්නේ කොළඹ, තිඹිරිගස්යාය, දෙහිවල, කොලොන්නාව වැනි සිංහල නොවන ජනයා සමූහ වශයෙන් ජීවත් වල ප‍්‍රදේශ වලයි. තවත් සියයට 10.91 ක් එනම් 247918 ක් වතුකර දෙමළ ජනයා වැඩිපුර ජීවත්වන නුවර එළිය, මහනුවර, බදුල්ල, මාතලේ කෑගල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත‍්‍රික්ක වල ජීවත් වේ. තවත් 2.3 ක් (53,244) ගම්පහ දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩ කතෝලික තීරයේ ද, සියයට 2 ක් (47,523) කතෝලික හා මුස්ලිම් ජනයා වැඩිපුර ජීවත්වන පුත්තලම දිස්ත‍්‍රික්කයේ ද ජීවත්වේ. මේ සංඛ්‍යා දත්ත අනුව නිගමනය කළ හැක්කේ කුමක් ද? රටේ සමස්ත දෙමළ ජනගහනයෙන් සියයට 96.94 ක් ජීවත් වන්නේ පැහැදිළි ලෙසම ජන සංකේන්ද්‍රණය අනුව සිංහල-බෞද්ධ නොවන ප‍්‍රදේශ වල බවයි. එයින් කියැවෙන්නේ ‘‘බහුතරයක් දෙමළ ජනයා සිංහල ජනයා අතර ජීවත් වන්නේය’’ සහ ‘‘දෙමළ ජනයාට සිංහල ජනයා අතර ආරක්ෂිතභාවය පිළිබඳ සහතිකයක් තිබේ ය’’ යන සිංහල ජාතිකවාදී පිළිගැනීමට පදනමක් නැති බවයි.

ඉතිරි සියයට 3 මුළුමනින්ම සිංහල-බෞද්ධ ජනයා අතර ජීවත්වනවාය යන නිගමනයට ඒමට පදනමක් නැත. අපි චම්පික රණවක මහතා දෙමළ ජනයා ආරක්ෂාව පතා පැමිණියා යැයි විශ්වාස කරන හම්බන්තොට තත්වය සලකා බලමු.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මුළු ‘ශ‍්‍රී ලංකා දෙමළ’ ජනගහනය 2111 කි. එය සමස්ත ශ‍්‍රී ලංකා දෙමළ ජනගහනයෙන් සියයට 0.09 කි. එය දිස්ත‍්‍රික්කයේ මුළු ජනගහනයෙන් සියයට 0.353 කි. 2001 දී මෙම ප‍්‍රමාණය 1863 ක් වූ අතර ප‍්‍රතිශතාත්මකව සියයට 0.355 කි. ඒ අනුව දක්නට ලැබෙන්නේ හම්බන්තොට ශ‍්‍රී ලංකා දෙමළ ජනගහන අනුපාතයේ සුළු පහත වැටීමකි. එසේම මෙම දෙමළ වැසියන් 2111 න් 1847 ක් ජීවත් වන්නේ සිංහල නොවන ජනයා, විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා යෝනක හා මැලේ යන ජනයා, සංකේන්ද්‍රගතවී සිටීමේ ප‍්‍රවණතාවයක් සහිත තංගල්ල, අම්බලන්තොට, හම්බන්තොට, තිස්සමහාරාම වැනි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලයි. ඉතිරි ප‍්‍රදේශවල ජීවත් වන්නේ ශ‍්‍රී ලංකා දෙමළ වැසියන් 264 දෙනෙකි. ඊට අමතරව හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඊනියා ඉන්දියානු දෙමළ වැසියන් 136 ක් ද ජීවත් වේ. ඔවුන්ගේ විසිරීමේ රටාව ද ශ‍්‍රී ලංකා දෙමළ වැසියන්ගේ විසිරීමේ රටාවට මුළුමනින්ම සමානය.

මෙම සංඛ්‍යා දත්ත පදනම් කරගෙන අපිට තර්ක කළ හැක්කේ සිංහල-බෞද්ධ ජනයා අතර මිශ‍්‍ර වී ජීවත් වීමට දෙමළ ජනයා තුළ නැඹුරුවක් ඇත්තේ නැති බවයි.

චරිත කාරියවසම් මතුකරන ‘‘ඇයි මේ පලවා හරින පැත්තටම එන්නේ?’’ යන ප‍්‍රශ්නය වෙත තව දුරටත් යොමු වෙමු. 1983 දක්වා ජනවාර්ගික අර්බුධයේ එක් ප‍්‍රධාන ස්වරූපයක් ගත්තේ වරින් වර ඇති වූ සිංහල දෙමළ ගැටුම් ය. මෙම ගැටුම් ජනයා වැඩිපුර ජීවත්වන ප‍්‍රදේශ වල දී සිංහල ජනයාට විරුද්ධව ද, සිංහල ජනයා ජීවත් වන ප‍්‍රදේශවල දී දෙමළ ජනයාට විරුද්ධව ද එල්ල විය. 1983 ජූලි වල අප අත් දුටුවේ මෙම ප‍්‍රවණතාවයේ උච්චතම අවස්ථාවයි. ඒ අවස්ථාවේ දන්කට ලැබුණු ඉතාම වැදගත් සංසිද්ධියක් වූයේ දෙමළ ජනයා මහා පරිමාණයෙන් රාජ්‍ය අනුග‍්‍රහය ද ඇතුව උතුර ට පිටමං කිරීමයි. මෙම පිටමං කරනු ලැබීම චරිත කාරියවසම් වැනි අය දකින තරම් සරළ දෙයක් නොවේ. එය 1983 ට පසු දෙමළ දේශපාලන මනස සකස් කීරීම කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑ සංසිද්ධියකි. ‘වෙනම රාජ්‍යයක්’ යන අදහස මෙන්ම ‘නිජබිම’ යන අදහස ද තහවුරු වීමට මෙම සංසිද්ධිය බෙහෙවින් බලපෑවේය.

1983 න් පසු සිදුවූයේ කුමක් ද? ශ‍්‍රී ලංකා රාජ්‍යයේ මිලිටරි ප‍්‍රහාර නිසා ද එල්ටීටීඊ සංවිධානයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාකාරකම් නිසා ද උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ සිංහල ජනයාට පමණක් නොව දෙමළ හා මුස්ලිම් ජනයාට ද අනාරක්ෂිත ප‍්‍රදේශ බවට පත්විය. මේ නිසා විශාල වශයෙන් දෙමළ ජනයා මේ ප‍්‍රදේශ හැරයාමේ ප‍්‍රවනතාවයක් ඇති විය. එම ප‍්‍රදේශ හැරයාමේ ප‍්‍රවණතාවයේ ප‍්‍රධාන ගමනාන්ත තුනක් අපට හඳුනාගත හැකිය: එනම් බටහිර රටවල්, ඉන්දියාව හා ලංකාවේ දකුණු ප‍්‍රදේශය යි. කෙසේ වෙතත් දකුණු ප‍්‍රදේශයට පැමිණි ජනයා පදිංචි වූයේ සිංහල-බෞද්ධ ජනයා අතර නොව දෙමළ ජනයා තවමත් බහුල ලෙස ජීවත් වල ප‍්‍රදේශ වලයි. ඉහත සංඛ්‍යා දත්ත වලින් පෙන්නුම් කරන්නේ එම යථාර්ථයයි.

මෙහි දී තවත් වැදගත් කරුණක් වෙත අපගේ අවධානය යොමුවිය යුතුය. එනම් කොළඹ නගරය හා දකුණු හා බටහිර මුහුදුබඩ තීරය පිළිබඳවයි. ඓතිහාසික වශයෙන් බැලූ කල මෙම කලාපය අධිපති අර්ථයෙන් සිංහල ප‍්‍රදේශයක් නොවේ. මෙම ප‍්‍රදේශවල සිටින පසුව සිංහල අනන්‍යතාවය තුළට ගොනු වූ කරාව, සලාගම හා දුරාව යන කුල කණ්ඩායම්වල ජනයා 13 වන ශතවර්ශයෙන් පමණ පසුව දකුණු ඉන්දියාවේ සිට පැමිණ වෙරළබඩ ප‍්‍රදේශවල පදිංචිව ගැමි කෘෂිකාර්මික නොවන ආර්ථික ක‍්‍රියාකාරකම්වල නිරත වූවෝ වූහ. මෙම ජනයා ‘සිංහලකරණය’ වීම පිළිබඳව මම පසුව කතා කරමි. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ සිංහලකරණයක් නොව පැවැති දේශපාලන ආධිපත්‍යය ක‍්‍රමය තුළ ඔවුන් අධිපති කුල ධූරාවලිය තුළට විශේෂිත කුල කණ්ඩායම් ලෙසින් අවශෝෂණය කර ගනු ලැබීමයි.

කොළඹ නගරය, මීගමුව නගරය වැනි ස්ථාන කෙසේවත් සිංහල ප‍්‍රදේශ වූවේ නැත. විශේෂයෙන්ම ලන්දේසි සමයේ මෙම ස්ථාන වල ජන සංයුතිය සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු තිබේ. ඒ අනුව මෙම ස්ථාන වල ජීවත්වූයේ සිංහල නොවන ජනයා ය. මෙහි දී මගේ මූලික තර්කය වන්නේ දෙමළ ජනයා යුධ සමය තුළ ආරක්ෂාව සඳහා සිංහල ප‍්‍රදේශ වලට පැමිණිබව කීම මූලික වශයෙන් අසත්‍ය බවයි.
මෙහි දී අපගේ අවධානයට යොමුවිය යුත්තේ දෙමළ ජනගහනයෙන් සියයට 60 කට වඩා උතුරු නැගෙනහිරින් පිටත ජීවත් වන්නේය යන අදහස සිංහල සමාජය තුළ තහවුරු වූයේ කෙසේද යන්නයි. මේ සම්බන්ධයෙන් වැදගත් සාක්ෂියක් මට හමුවිය. ඒ 1983 ජූලි 20 වනදා දිවයින පුවත් පතේ පළ වූ එවකට වෙළඳ හා නාවුක ඇමති ලලිත් ඇතුලත්මුදලි ගේ ප‍්‍රකාශයක් පිළිබඳ වාර්තාවකි. ඒ මෙසේය:

‘‘දෙමළ භාෂාව කතාකරන අයගෙන් යාපනය අර්ධද්වීපයේ ඉන්නේ සියයට 20 ක් පමණයි. ඉතිරි සියයට 80 ම ඉන්නේ ඉන් පටතයි. පලාත් වශයෙන් ගෙන බැලූවත් උතුරු හා නැගෙනහිර පලාත්වල ඉන්නේ දෙමළ භාෂාව කතාකරන ජනතාවගෙන් සියයට 48 ක් පමණයි. ඉතිරි 52 ම ඉන්නේ සෙසු පලාත් වලයි. ඒ අනුව ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය දෙමළ භාෂාව කතාකරන අය පිළිබඳ ප‍්‍රශ්නයක් හැටියට හැඳින්විය නොහැකි යයිද ඇතුලත්මුදලි මහතා පැවසීය.’’

මෙහි දී ඇතුලත්මුදලි පාවිච්චි කරන්නේ ‘දෙමළ භාෂාව කතාකරන ජනයා’ යන යෙදුම වීම වැදගත්ය. එහි දී දෙමළ මෙන්ම මුස්ලිම් ජනයා ද එක් අනන්‍යතාවයක් තුළට බහාලයි. මෙය එක් අතකින් දෙමළ ජාතිකවාදීන් සතුටට පත්කරනු ලැබීමට ඉඩ තිබෙන අර්ථකථනයක් වුව ද මුස්ලිම් සමාජය තුළ තදින් ප‍්‍රතික්ෂේපිත අදහසකි. කෙසේ වෙතත් මා මෙහි දී යෝජනා කරන්නේ ඉහත සාකච්ඡාවට භාජනය කරනු ලැබූ දෙමළ ජනයාගේ භූගෝලීය ව්‍යාප්තිය පිළිබඳ මිත්‍යා ප‍්‍රබන්ධය ගොඩනැංවීම මෙවැනි සැලකිල්ලෙන් කරන ලද සංඛ්‍යාදත්තමය හැසිරවීම් හේතු වී තිබෙන්නට ඇති බවයි.

නිර්මාල් රංජිත් දේවසිරි

Posted in Uncategorized | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රශ්න දෙකේ දයලෙක්තිකය – දෙමළාගේ ප්‍රශ්නය වටහා ගැනීමේ මගේම පුංචි පුද්ගලික ඉතිහාසය

jagath1‘දෙමළාගේ ප්‍රශ්නය’ සම්බන්ධයෙන් ජාතික චින්තන ෆේස්බුක් කණ්ඩායම සහ අප අතර ඇති වී තිබෙන සංවාදය එක්තරා ආකාරයක පූර්ණ අවහිරයකට (deadlock) පැමිණ ඇති බව මට සිතේ. අභියෝගය වන්නේ මෙම අවහිරය ඉවත් කරන්නේ කෙසේද යන්නයි. වෙනත් විදියකට කියන්නේනම්, දෙමළාගේ ප්‍රශ්නයේ පැවැත්ම සහ යුක්තිසහගත බව අපගේ ෆේස්බුක් සම්භාෂකයන්ට ඒත්තු ගන්වන්නේ කෙසේද යන්නයි. මේ සඳහා පිළිතුරක් ගොණු කිරීමට ප්‍රවේශ මාර්ගය රැඳී තිබෙන්නේ ‘දෘෂ්ඨිවාදය’ නම් සංකල්පය තුලයයි මම විශ්වාස කරමි. ඕනෑම ප්‍රපංචයක අඩු වැඩි වශයෙන් දෘෂ්ඨිවාදී අඩංගුවක් තිබෙන නමුත්, දෙමළාගේ ප්‍රශ්නය තුළදී මෙම දෘෂ්ඨිවාදී අඩංගුව ඉතාම ඉහල අගයක් ගනී. එම නිසා මේ පිළිබඳව කෙරෙනා ඕනෑම සංවාදයකදී මෙම ඉහල දෘෂ්ඨිවාදී අඩංගුව පිලිබඳව සැලකිල්ලක් නොදක්වන කෙනෙකු හට ඉක්මනින් මග වැරදීමට නියමිත වේ. මේ කරුණු මත මම යෝජනා කරන්නේ අප දෙමළාගේ ප්‍රශ්නය වෙත වක්‍ර මාර්ගයකින් ප්‍රවේශ විය යුතු බවයි. මේ රචනය තුලදී මා උත්සාහ කරන්නේ මෙයට කිසියම් ආකාරයක පෙරවදනක් ලබා දීමටයි. ඒ සඳහා මට උපකාර වන්නේ මාගේ පුද්ගලික ජීවන ඉතිහාසයයි. මට අවබෝධ වෙන ආකාරයට, දෘෂ්ඨිවාදී ප්‍රවර්තනයක් (ideological conversion) සිදු වන්නේ කෙලෙසද කියන එක සම්බන්ධයෙන් කෙනෙකුට මෙයින් යම් පාඩමක් ඉගෙන ගත හැකි වේ.   

 

මගේ ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් නම් කරන්න කියා මට කවුරුන් හෝ පවසුවොහොත් මට දිය හැකි ක්ෂණික පිළිතුර වන්නේ මගේ ගැටවර අවධියේ එක්දිනක නලින් ද සිල්වා නම් පුද්ගලයෙකු විසින් ලියා තිබුණු “ප්‍රභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා සහ මස්සිනාලා” කෘතිය මාගේ පියාගේ පුස්තකාලයේ තිබී අහම්බෙන් පෙරළීමයි. මට කිසිසේත් පුරෝකථනය කල නොහැකි වූ අනාගතයකට මා ස්ථිර ලෙස ගැට ගසන ලද්දේ මෙම අහඹු මුණගැසීමයි. 

 

පොතේ ආකෘතිය අමුතු විය. එහි තිබුනේ ප්‍රශ්න සහ පිළිතුරුය. නම සඳහන් නොකළ කෙනෙකු විසින් අසන ලද ප්‍රශ්න වලට නම සඳහන් නොකළ කෙනෙකු විසින් පිළිතුරු දෙයි. මට ඇති වුනේ ඉතාමත් ප්‍රවේගකාරී සංවාදයක් මැද්දට අහසින් වැටුණු මිනිසෙක් වගේ හැඟීමක්:

 

– ඇතැමුන් කියන්නේ උතුරු හා නැගෙනහිර ඇති වී තිබෙන ප්‍රශ්නයට හේතුව දේමළ ජනයාට සිදු වී තිබෙන අසාධාරණය බවයි. එය සැබෑවක් නොවේද?

 

– මේ අසාධාරණකම් මොනවාදැයි ඔබට කිව හැකිද?

 

– සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, ප්‍රමිතිකරණය, ජනපදකරණය ආදිය.

 

– මේ සියල්ල සිදු වූයේ 1950 ට පසුවයි. එහෙත් වවුනියාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ සී. සුන්දරලිංගම් මහතා ඊළමක් ගැන කතා කලේ හතලිස් ගණන් වල මුලයි…. “

 

මෙලෙස ආරම්භ වුනු මාගේ චාරිකාව ඉතාමත් කෙටි කලකින් මාව උග්‍ර ජාතිකවාදියෙකු බවටත්, නලින් ද සිල්වා මහතාගේ උග්‍ර අනුගාමිකයකු බවටත් පත් කරන ලදී. ඉන්පසු ගත වූ වසර පහක පමණ කාලය තුල මට නියත ලෙස හැඟී ගියේ දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම සිදු වූ අසාධාරණය යන්න කෙදිනකවත් සාධනය කල නොහැකි අමූලික බොරුවක් බවයි. එය නිකන්ම නිකන් බොරුවක් නොව, මෙරට බෙදා වෙන්කර ගැනීමටත්, යටත්විජිතවාදීන් විසින් ප්‍රදානය කරන ලද අයුක්තිසහගත වරප්‍රසාද වර්තමානය තුලත් රැක ගැනීම සඳහාත් දෙමළ ජාතිවාදී දේශපාලන නායකයන් විසින් ගොතන ලද බොරුවක් විය.

 

මතක නැති තරම් මාක්ස්වාදීන් සහ ෆෙඩරල්වාදීන් ප්‍රමාණයකගෙන් මම මෙම ප්‍රශ්නය ඇසුවෙමි:

 

‘දෙමළ ජනයාට දෙමළ වීම නිසාම සිදු වී ඇති අසාධාරණය කුමක්ද?’

 

නමුත් එයට මතක ඇති විදියේ පිළිතුරක් කෙදිනකවත් නොලැබිණි. මාගේ ආස්ථානයේ නිවැරදි බව මට යලි යලිත් තහවුරු විය.

 

“ප්‍රභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා, සහ මස්සිනාලා” යනු නලින් ද සිල්වාගේ ප්‍රධානම ‘දේශපාලනික ලියවිල්ල’ ලෙස හඳුනා ගන්නවානම් ඔහුගේ ප්‍රධානම ‘දාර්ශනික ලියවිල්ල’ වන්නේ “මගේ ලෝකය” කෘතියයි. නියමිත පරිදි මාගේ මීළඟ හැරවුම් ලක්ෂ්‍යය වූයේ “මගේ ලෝකය” කියවීමයි. පළමු කෘතිය විසින් මාව නොනිමි කුණාටුවකට අසු කලේනම් දෙවැන්න මගින් මා දෙපයින් ඔසවා වට කීපයක් කරකවා සිතිජයෙන් ඔබ්බට වීසි කරන ලදී.

 

‘මනසින් තොරව යථාර්ථයක් තිබේද කියා මනසින් තොරව ඔප්පු කරන්නේ කෙසේද?’   

 

පළමු ප්‍රශ්නයට කෙදිනකවත් පිළිතුරු නොමැති වේ කියා සිතු මට මෙම දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට සිතීමත් විහිළුවක් කියා සිතුනි. යථාර්ථය ලෙස අප හඳුනා ගන්නා දෙය එලෙස හඳුන ගන්නේ එය අපගේ මනස තුල නියෝජනය වන නිසාය. එවිට එම මානසික නියෝජනය නොමැති යථාර්ථය කුමක්ද කියා අපිට පැවසිය නොහැකි වේ. එම නිසා පරම ලෙස නිවැරදි වන්නේ කුමක්ද කියා පැවසිය නොහැකි වූ අතර සෑම දැනුමක්ම සාපේක්ෂ විය. 

 

පිළිතුරු නොමැති ප්‍රශ්න දෙකක්. ජයගත නොහැකි අභියෝග දෙකක්.

 

‘දෙමළාගේ ප්‍රශ්නය’ සහ ‘යථාර්ථයේ ප්‍රශ්නය’.  

 

මෙම ප්‍රශ්න දෙකින් මට වඩාත් කරදර කල ප්‍රශ්නය වූයේ දෙවැන්නයි. 

 

එක අතකින් දෙමළාගේ ප්‍රශ්නය පිළිබඳව තව කියන්නට දෙයක් නොවීය. හේතුව පැහැදිලි විය. එනම්, දෙමළ ජාතිවාදයයි. පිළිතුරද පැහැදිලි විය. එනම්, දෙමළ ජාතිවාදය මිලිටරිමය ලෙසද, දේශපාලනමය ලෙසද, මතවාදී ලෙසද පරාජය කල යුතුව තිබේ. එයිනුත්, එම අවසාන ජයග්‍රහණය, එනම් දෙමළ ජාතිවාදය මතවාදීව පරාජය කිරීම, අප ඒ වනවිටත් ඉටු කරගෙන තිබුනෙමු. ඉතිරි ජයග්‍රහණයන් දෙක වෙනුවෙන් මට කල හැකි වැඩ කොටස ඉතා සීමිත විය. 

 

අනෙක් අතට, යථාර්ථය පිලිබඳ ප්‍රශ්නය එලෙස නොවීය. ‘දර්ශනය’ පිලිබඳ මාගේ උනන්දුව එමගින් යාන්තම් ඇති කළා පමණි. අනෙක් අතට ඇත්තටම යථාර්ථයක් නැතිද? මේක බැලූ බැල්මට පරස්පර විරෝධී නොවේද? නමුත් නලින් ද සිල්වා ගේ ශක්තිමත් තර්කය බිඳ හෙලන්නේ කොහොමද? මතක විදියට 1998 දී පමණ වෙනත් නමකින් පුවත්පත් ලිපියක් ලියමින් මම නලින් ද සිල්වා මහතාගෙන් මෙවැනි ඉල්ලීමක් කළෙමි. එකල ඔහු BBC සංදේශයේ ප්‍රියත් ලියනගේ සමග විශාල රණ්ඩුවක පැටලී සිටියේය. මගේ ඉල්ලීම වූයේ මෙවැන්නකි. 

 

“ප්‍රියත් ලියනගේ වැනි අඳ බාලයන් හා වාද කරන්න මාදුළුවාවේ සෝභිත හිමිගේ සිට චම්පික රණවක දක්වා විශාල පිරිසක් සිටිති. අනෙක් අතට ‘මගේ ලෝකය’ පොත පිට වී දැනට සෑහෙන කලක් ගත වී ඇති අතර ඔබගෙන් එවැනි බුද්ධිමය මැදිහත්වීමක් නැවත වී නැත. ඔය අනවශ්‍ය රණ්ඩු වල පැටලෙන්නේ නැතිව, එවැනි බුද්ධිමය මැදිහත්වීමක් කරන්න”

 

අද සිට ආපසු හැරී බලන විට ඔහුට මෙය කල නොහැකි වූයේ මන්ද යන්නත්, මම ඉල්ලා සිටියේ කුමක්ද යන්නත් පැහැදිලි වෙයි. මවිසින් ඉල්ලා සිටියේ මහා දාර්ශනික පද්ධතියක් නිර්මාණය කරන ලෙසයි. හරියට කාන්ට් ගේ නැතිනම් හේගල් ගේ වගේ. නමුත් එවැන්නක් කිරීම සඳහා නලින් ද සිල්වා මහතාට පුහුණුවක් නොමැති විය. එම නිසා මාගේ පිපාසාව සංසිඳවා ගැනීමට මට වෙනත් ප්‍රවේශයන් සලකා බැලීමට සිදු විය. 

 

X කණ්ඩායම මට මුණ ගැසෙන්නේ මෙම සන්දර්භය තුළදීය. X කණ්ඩායම පිළිබඳව මට, උග්‍ර සිංහල ජාතිකවාදියෙක් ලෙස, ස්වභාවයෙන්ම, තිබුනේ නිශේධනාත්මක  ආකල්පයකි. නමුත් බොහෝ සිංහල ජාතිකවාදීන්ට වෙනස්ව මට ප්‍රශ්න එකක් නොව දෙකක් තිබුණු අතර එම නිසා දෙවෙනි ප්‍රශ්නය ඇසුරින් X කණ්ඩායම සමග ගණුදෙනු කිරීම සඳහා මානසික ඉඩ වෙන්කරගැනීම මට ගැටළුවක් නොවීය. 

 

කිසියම් කාලයක් මම සිටියේ එකපැත්තක නලින් සහ අනෙක් පැත්තේ X කණ්ඩායම අතර දෝලනය වෙමිනි. නමුත් මෙය ක්‍රමයෙන් X පැත්තට බර වූ අතර ඉතාම ඉක්මනින් මම පූර්ණ X සාමාජිකයෙක් විය. මම ක්‍රමයෙන් ව්‍යූහවාදයේ සහ මනෝවිශ්ලේෂණයේ එන මූලික සංකල්ප නම් කිරීමටත්, ඒවා හඳුන්වා දුන් චින්තකයන්ගේ නම් කීමටත් ඉගෙන ගත්තෙමි. යථාර්ථය පිලිබඳ ප්‍රශ්නයට මට මේවායින් පිළිතුරු ලැබුණු බවක් මින් නොකියවේ. X කණ්ඩායම මෙම ප්‍රශ්නයේදී හිටියේ යථාර්ථයට පක්ෂපාතී සහ නලින් ට ප්‍රතිවිරුද්ධ තැනයි. X කණ්ඩායම භෞතිකවාදී විය. නමුත් මෙය කිසිසේත්ම නලින් ට පිළිතුරක් නොවීය. එයට එකල තිබුණු පැහැදිලි කිරීම වූයේ ‘බල්ලා යන සංකල්පය සපා කන්නේ නැති උනත් භෞතික බල්ලා සපා කන බවයි’. මෙය මෙයසූ ගේ වචන වලින් කියන්නේනම් ‘බොළඳ යථාර්ථවාදයකි’ (naive realism). කෙසේ උවත්, ‘මගේ ලෝකය’ ඉක්මවා ගිය බොහෝ දේ තිබෙනා බවත්, මේවා බරපතල ලෙස ඉගෙන ගත යුතු බවත් මට ඉක්මනින් වැටහී ගියේය.

 

මේ කාලය තුල දී වැදගත් පෙරළියක් සිදුවිය. එනම්, යථාර්ථයේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ගිය නිෂ්ඵල මහන්සිය තුල මට අමතර වාසියක් ලෙස දෙමළාගේ ප්‍රශ්නයට පිළිතුරක් හමු වීමයි. මෙතනදී වැදගත්ම දෙය වන්නේ, යථාර්ථයේ ප්‍රශ්නයේදී මෙන් මම දෙමළාගේ ප්‍රශ්නයට X කණ්ඩායම තුල පිළිතුරක් බලාපොරොත්තු නොවීමය. මගේ ආරම්භක උපක්‍රමය, තරමක් ඒක මානීය විදියට කියන්නේනම්, මෙලෙස සාරාංශගත කල හැකිය. දෙමළා ගේ ප්‍රශ්නයට X කණ්ඩායමේ නොව ලොව කොතැනකවත් පිළිතුරු නොමැති වන්නේ එය ව්‍යාජ ප්‍රශ්නයක් වන නිසාය කියා එකල මම විශ්වාස කලෙමි. එම නිසා එම ප්‍රශ්නය සමග පැටලීමෙන් සිදුවන එකම දේ වන්නේ X කණ්ඩායම හරහා මට ඉගෙන ගැනීමට ඉඩ විවර වූ විකල්ප දැනුම් පද්ධතීන් සමග සම්බන්ධ වීමේ අවස්ථාව අහිමි වීම පමණක් වේ කියා මම සිතුවෙමි. එම නිසා මේ අනවශ්‍ය ප්‍රශ්නය අත හැර X කණ්ඩායමේ සැබෑ දැනුම සමග සම්බන්ධ වෙන එක වඩාත් ප්‍රයෝජනවත් වේ කියා මට සිතුණි. 

 

මෙම උපක්‍රමයේ ප්‍රතිපලයක් විදියට මම X කණ්ඩායමේ කිසිවෙකුගෙන් දෙමළා ගේ ප්‍රශ්නය ඔවුන් සාධනීය විදියට බාර ගන්නේ ඇයි කියන ප්‍රශ්නය අසන්නට උත්සාහ නොකලෙමි. මොකද ඒක ට පිළිතුරක් ඔවුන් ළඟ නොමැති බව මට විශ්වාස උන නිසාය. නමුත් දල වශයෙන් 2000 වර්ෂය අවසන් වන විට දෙමළාගේ ප්‍රශ්නය මට සෙමින් අවබෝධ වීමට පටන් ගැනිණි. නැවතත් අවධාරණය කල යුත්තේ මෙය සිදුවූයේ කවුරුන් විසින් හෝ මට එය ‘පැහැදිළි කර දුන්’ නිසා නොවන බවයි. X කණ්ඩායමේ එවැනි සාකච්ඡා නිල වශයෙන් සිදු නොවීය. නමුත් කවුරුවත් අමුතුවෙන් නොකිව්වාට, දෙමළා යනු මෙරට දෙවැනි පන්තියේ පුරවැසියෙක් බවත්, මෙම රාජ්‍යය තුල සිංහල වාර්ගික පක්ෂපාතිත්වයක් ඇති බවත්, එවන්නක දී දෙමළා විසින් ස්වයං පාලන බලයක්, ඔවුන් වැඩිදෙනා ජීවත්වන ප්‍රදේශ සඳහා ඉල්ලා සිටීම ට මට එරෙහි විය හැක්කේ මෙය සිංහලයාගේ රට යන තර්කයේ සිට පමණි යන්නත් මට හොඳින්ම පැහැදිලි විය. එවිට අප සිංහල ජාතිකවාදියෙකු වීම ප්‍රතික්ෂේප කරන්නේනම්, දෙමළා ගේ ස්වයං-නිර්ණ අයිතිය ප්‍රතික්ෂේප කිරීම කල හැක්කක් නොවේ.  

 

කවදාවත් පිළිතුරු දිය නොහැකිය කියා මා සිතූ ප්‍රශ්නයකට මට පිළිතුරු හමුවුනා පමණක් නොව එම පිළිතුරු කොතරම් සරල සහ සුපැහැදිලි ද වේද යත් අප සමාජයේ සාතිශය බහුතරයට ඒවා නොතේරීම සැබවින්ම මා මවිතයට පත් කරන්නක් බවටත් පත් වුනා! 

 

මම හිතන්නේ මාගේ මේ පුද්ගලික ජීවන අත්දැකීම, දෙමළාගේ ප්‍රශ්නය අවබෝධ කරගැනීම පොදු අවශ්‍යතා මොනවාද යන්න සඳහා මූලික උපන්‍යාස කීපයක් අප වෙත යෝජනා කරනා බවයි. 

 

මෙයින් ප්‍රධාන වන්නේ දෙමළා ගේ ප්‍රශ්නය අවබෝධ කර ගැනීම කිසිසේත්ම හුදු ‘කරුණු’ සහ ‘සාක්ෂි’ මත සිදු වන්නක් නොව මෙම ‘කරුණු’ සහ ‘සාක්ෂි’ යන්නවලුත් දෘෂ්ඨිවාදී ක්ෂේස්ත්‍රයක නිර්මාණයක් බව අවබෝධ කර ගැනීමයි. ‘ජාතික චින්තනය’ ෆේස්බුක් කණ්ඩායමේ සාමාජිකයන් සමග අප ඇති කරගෙන තිබෙන සංවාදය මගින් යලි තහවුරු කරන්නේ මෙයයි. අපි තරමක් මෙය විදාරණය කරමු.

 

දැන් මම සිංහල ජාතිකවාදියෙකු වී සිට කොමියුනිස්ට්වාදියෙක් බවට පරිවර්තනය වීම බරපතල පෙරලියක්. මම කැමති එවැනි පෙරළියකට දෘෂ්ඨිවාදී පෙරලියක් කියල නම් කරන්න. මෙතනදී දෘෂ්ඨිවාදය කියන එක සඳහා මම යොදා ගන්නේ ‘අපි දන්නා බව නොදන්නා දැනුමක්’ කියන ජිජැක් ගේ නිර්වචනය. මෙහි ප්‍රතිපක්ෂය ඇසුරින් අපිට මෙය වටහා ගැනීම ඉක්මන් කරන්න පුළුවන්. ඒ තමයි ‘අපි නොදන්නා බව දන්නා දැනුමක්’. නිදර්ශනයක් විදියට මගේ හිසේ හිසකෙස් කොපමණ සංඛ්‍යාවක් තියෙනවද කියල මම දන්නේ නැහැ. නමුත් මම එය නොදන්නා බව, මට එම දැනුම නොමැති බව මම දන්නවා. ඒ අනුව ‘මගේ හිසේ කොපමණ හිසකෙස් සංඛ්‍යාවක් තිබෙනවද කියා මම නොදනිමි යන්න මම දනිමි’ කියන එක ‘අපි නොදන්නා බව දන්නා දැනුමක්’. දෘෂ්ඨිවාදය කියන්නේ මෙහි ප්‍රතිපක්ෂය. ඒ කියන්නේ මට දැනුමක් තියෙනවා. ඒ දැනුමෙන් මම දේවල් තේරුම් ගන්නවා, අර්ථකථනය කරනවා, තීරණ ගන්නවා. නමුත් එවැනි දැනුමක් මට තියෙනවා කියලා මම දන්නේ නැහැ. 

 

මම මෑතකදී ලැබූ එක්තරා අත්දැකීමකින් අපිට මෙය පැහැදිලි කර ගන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ කරන එක්තරා නිලධාරියෙක්, ඔහු හා මා අතර තියෙන පුද්ගලික මිත්‍රත්වය උඩ, මගෙන් උපකාරයක් ඉල්ලුවා. ඒ තමයි ඔවුන්ගේ අලුත් ව්‍යාපෘතියක් පිළිබඳව කර තිබෙන වාර්තා චිත්‍රපටියක් නරඹලා එහි ගුණාත්මක බව වැඩි කර ගැනීම සඳහා මගේ යෝජනා ඉදිරිපත් කරන්න කියන එක. එකේ දර්ශන අතර තිබුනා දෙමළ පාසලක ළමයින් ටිකක් සින්දු කියන දර්ශනයක් සහ සිංහල පාසලක ළමයින් සින්දු කියන දර්ශනයක්. මේ දෙක පෙන්නද්දී මගේ මිත්‍රය මට කිව්වා මෙහෙම: “බලන්න අපේ අය වගේ නෙමෙයි උන් කොච්චර පණ ඇතුව සින්දු කියනවද කියල”. 

 

දැන්, මගේ මිත්‍රයා කියන්නේ සිංහල ජාතිකවාදය වෙනුවෙන් මහ ලොකුවට පෙනී ඉන්න කෙනෙක් නෙමෙයි සාමාන්‍ය රජයේ නිලධාරියෙක්. නමුත් එයා ගේ කටින් නොදැනුවත්වමම සිංහල සහ දෙමළ ළමුන් වර්ගීකරණය වෙනවා, පිලිවෙලින්, ‘අපි’ සහ ‘උන්’ කියලා. මම කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේක දෙමළා ගේ ප්‍රශ්නය වටහා ගන්න හොඳ නිදර්ශනයක් කියන එක නෙමෙයි. ඇත්තටම මගේ යෝජනාව මෙහි ප්‍රතිපක්ෂයයි. මම කියන්නේ දෙමළා ගේ ප්‍රශ්නය වටහා ගැනීමට සිංහල-බෞද්ධයාට අපහසු වන්නේ ඇයි කියන එක තේරුම් කරන්න මේක හොඳ නිදර්ශනයක් යන්නයි. මගේ මිතුරා දේශපාලනිකව සක්‍රීය ජාතිකවාදියෙකු නොවුනද ඔහු නොදන්නා තැනකින් ඔහුව බරපතල වැරද්දක් කිරීමට පොළඹවයි. ඒ තමයි ඔහු අවංකවම මහන්සි වෙලා වර්ධනය කරන්න උත්සාහ කරන ලංකාවේ පාසල් පද්ධතිය ඔහු නොදැනුවත්වම කොටස් දෙකකට කැඩීමයි. නමුත් අපි දන්නවා නිල වශයෙන් අධ්‍යාපනය පිලිබඳ ව රටේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම නියෝජනය කරන රාජ්‍ය නිලධාරියෙකුට සිංහල ද දෙමළ ද කියල වෙනසක් තියෙන්න බැහැ එයාට තියෙන්න පුළුවන් ශිෂ්‍යයා හා ශිෂ්‍යාව කියන ගණික (generic) ප්‍රවර්ග විතරයි කියන කාරණය. නමුත් ඔහු එය නොදැනුවත්වම කරනවා (ඒ කියන්නේ ඔහු දන්නා බව – සිංහල සිසුන් තමයි ‘අපේ’, දෙමළ සිසුන් කියන්නේ ‘අපේ’ පාසල් පද්ධතියේ කොටසක් නෙමෙයි). දෘෂ්ඨිවාදය කියන්නේ මෙයයි. ඉහත නිදර්ශනයෙන් පැහැදිලි වෙනවා අපේ රටේ රාජ්‍ය නිලධාරීන් මේ රටේ ජනයා ගැන හිතන්නේ ශ්‍රී ලාංකිකයන් ලෙස නෙමෙයි වාර්ගිකව බෙදා වෙන් කරගෙන කියලා. ඔහොම කිරීමෙන් අපිට පැහැදිලිව ඔප්පු වෙනවා රාජ්‍ය කියන එක ජනවාර්ගිකව පක්ෂපාතී (ethnically biased) කියන එක. දෙමළාගේ ප්‍රශ්නය වන්නේ මෙය මිස වෙන කිසිවක් නොවේ.

 

නමුත් මට අවධාරණය කිරීමට අවශ්‍ය වන්නේ මෙය නොවේ. ඉහත විශ්ලේෂණය කියවූ සිංහල ජාතිකවාදියෙකු එමගින් දෙමළාගේ ප්‍රශ්නය අවබෝධ කර නොගන්නා බව මම හොඳින් දනිමි. නිදර්ශනයක් විදියට ඔවුනට මෙවැන්නක් කිව හැකිය: “ජනවාර්ගිකව පක්ෂපාතී නොවුණු රාජ්‍යයන් කොහෙද තියෙන්නේ? එංගලන්තය කියන්නේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ට පක්ෂපාතී වෙච්ච රාජ්‍යයක්. ඉන්දියාව කියන්නේ හින්දු සංස්කෘතිය ප්‍රමුඛ වෙච්ච රාජ්‍යයක්. ඒක තමයි ශා රුක් ඛාන් ලඟදි කිව්වේ ඉන්දියාවේ මුස්ලිම් මිනිහෙක් ලෙස ඉපදීම කරුමයක් කියලා. දැන් කොහෙවත් නැති එකක් අපේ රටේ විතරක් කරන්නේ කොහොමද? ඕනෑම රාජ්‍යයක ප්‍රධාන සංස්කෘතියක් තියෙනවා. එහෙම නැතුව රාජ්‍ය පවතින්න බැහැ”. 

 

මේ විග්‍රහය පදනම් වන්නේ ජාතික රාජ්‍යය ස්වභාවික කිරීමක් තුලයි. වෙනත් වචන වලින් කියනවානම් වඩා සාධාරණ සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම කල නොහැකි වේ කියනා අදහස මතයි. එම තර්ක කිරීම ට අනුව උපරිම වශයෙන් අපට කල හැකි වන්නේ ප්‍රධාන ජාතියේ තිබෙනා ආචාර්ය ධර්මයන් ට අනුව සකස් වූ (උදා: සිංහල බෞද්ධ රාජ්‍යය) පාලන ක්‍රමයක් නිර්මාණය කර ගැනීමයි (මේ අර්ථයෙන් ගත්විට එම පාරිශුද්ධ ජාතික රාජ්‍යය යනු එකම යුතෝපියාව වේ. මන්ද, ජාතික රාජ්‍යය යන්න පැහැදිලි යථාර්ථයක් වූ අද දවස තුල පවා එවැන්නක් ප්‍රායෝගිකව පෙන්විය නොහැකි වීමයි. අද ලොව කොතැනකවත් එවැනි පරමාදර්ශී ජාතික රාජ්‍යයන් නොමැති වේ. පවත්නේ ධනවාදයට හොඳින්ම මුහු වූ ජාතිකවාදයන්ය). නමුත් ජාතික රාජ්‍යය කියන එක ඉක්මවූ සහ රාජ්‍යය යන මර්ධනකාරී උපකරණය නොමැති සමාජයක් පිළිබඳව ඇති උපන්‍යාසයක් මත ක්‍රියාකාරී වන මා වැනි කෙනෙකු මෙතනදී මුහුණ දෙන අපහසුතාවයක් තිබේ. එනම් ජාතික රාජ්‍යයට ප්‍රායෝගික විකල්පයක් පෙන්වීමේ නොහැකියාවයි. වෙනත් ලෙසකින් කියන්නේනම් අප ජීවත් වන්නේ විසි වෙනි සියවසේ කොමියුනිස්ට් ව්‍යාපාරය සහමුලින් පරාජය වූ සන්දර්භයක වීමයි. අපිට ධනේශ්වර ජාතික රාජ්‍යයන්ට ගෝලීය විකල්ප නොමැති වේ – එනම් අපගේ දෘෂ්ඨිවාදී කඳවුර තිබෙන්නේ ඉතාමත් දුර්වල අඩියක වේ. සියල්ලට ප්‍රථමයෙන් කල යුත්තේ කොමියුනිස්ට් උපන්‍යාසය සඳහා යලි කතිකාමය පැවැත්මක් ලබා දීම කියා බදියු පවසා සිටින්නේ මෙම නිසාය. මෙය අපහසු උවත් තෘප්තිමත් වැඩකි.  

 

අපගේ ෆේස්බුක් සම්භාෂකයන් සමග ඇති සන්දර්භය තුල මේ සඳහා මා යෝජනා කරන්නේ අප නලින් ද සිල්වා ගේ දාර්ශනික අඩංගුව ප්‍රශ්න කල යුතු බවයි. ‘දෙමළා ගේ ප්‍රශ්නය’ ට වඩා ‘යථාර්ථයේ ප්‍රශ්නය’ සමග අභිමුඛ වීමේ එක් ප්‍රධාන පහසුවක් තිබේ. එනම් එම ප්‍රශ්නයේ දෘෂ්ඨිවාදී අඩංගුව, දෙමළා ගේ ප්‍රශ්නයට සාපේක්ෂව ගත්විට බොහෝ සේ අඩු වීමයි. මෙයම වෙනත් විදියකට කිව හැකිය. දෙමළා ගේ ප්‍රශ්නය වෙනුවෙන් අප කතා කිරීමට උත්සාහ කරන මොහෙතේම අප සමග උරණ වන සිංහලයන් විශාල පිරිසක් – ඇත්තටම අතිවිශාල පිරිසක් – සිටියත්, ‘යථාර්ථය’ වෙනුවෙන් අප කතා කිරීම පිළිබඳව එවැනි විරෝධයක් මතු නොවේ. තවත් එක් විදියකට මෙය කියනවානම් මින් අදහස් වන්නේ මෙම ගැටළුව දෙමළාගේ ප්‍රශ්නය මෙන් නොව තාර්කික ලෝකයක් තුල විසඳා ගැනීමට වැඩි හැකියාවක් තිබෙන බවයි.

 

අනෙක් අතට ජාතික සංස්කෘතිය අනිවාර්යකරණය කිරීමේ පදනම වන්නේ මෙම සාපේක්ෂතාවාදයයි. විසි වෙනි සියවසේ බොල්ෂෙවික් කාඩර්වරයා ක්‍රියාත්මක වූයේ තමන් ඉතිහාසයේ පෙරගමන්කරුවන්ය යන අචල විශ්වාසය උඩයි. ඔහුට අනුව ඉතිහාසයේ ගමන් මග පිළිබඳව ඔහුගේ (හේගලියානු) දැක්ම සාපේක්ෂ දැනුමක් නොව නිරපේක්ෂ දැනුමක් විය. ඔහු සිටියේ සත්‍යය පැත්තේය. මාක්ස්වාදයේ පරාජය සමගම අපට අහිමි වී ගියේ මෙම ‘සත්‍යයයි’. මෙම ‘විශ්වීයත්වයයි’. මේ අනුව අද දවස තුල මෙම යල් පැන ගොස් ඇතැයි කියා සිතෙන දාර්ශනික සංකල්ප යළි ගොඩ ගැනීමේ දේශපාලනික අවශ්‍යතාවයක් තිබේ. වාර්ගික සහ ආගමික අන්තවාදය විසින් යෝජනා කරන සාපේක්ෂතාවාදී  ලෝකයට එරෙහිව අප නැවතත් භෞතික යථාර්ථය පිළිබඳව සාකච්ඡාව සංවාද මේසයට ගත යුතුය.   

 

මින් අදහස් වන්නේ අප දෙමළාගේ ප්‍රශ්නය පිළිබඳව ඍජුව සාකච්ඡා නොකළ යුතුය යන්න නොවේ. විශේෂයෙන්ම මෙරට ඉතිහාසය පිළිබඳව අප පාසල් පෙළ පොත්වල ඉගෙන ගත් අතිශය ගැටළුකාරී අර්ථකතනයන් ප්‍රශ්න කිරීම, මා සිතන ලෙස අද දවසේ මූලික අවශ්‍යතාවයකි. නමුත් ඒ හා සමගාමීව, අතිශයින් දියුණු දාර්ශනික ආස්ථානයන් වල තමන් සිටිනවා කියා සිතමින් සිටිනා නලින් ද සිල්වා ගේ දුර්වල දාර්ශනික පොළොව ඇතුලතින් පුපුරවා හැරිය යුතු වේ. මාගේ ඉදිරි ක්‍රියාකාරකම් දිශානත වන්නේ මෙම දෘෂ්ඨිවාදී මෙහෙයුම වෙතටයි.

වංගීස සුමනසේකර 

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – 9 කොටස

දෙමළ ජනයාට සිදුවී ඇති ‘අසාධාරණයන්’ ගැන තව දුරටත් …

richter-3_0001මේ ලිපි පෙළතුළ දෙමළාගේ ප‍්‍රශ්නය පිළිබඳ මා ඉදිරිපත් කරන අදහස් විවේචනය කරන අය, පෙනෙන විධිහට, ප‍්‍රධාන ප‍්‍රති තර්ක හතරක් ඉදිරිපත් කරයි:

♦ දෙමළ ජනයාට දෙමළ වීම නිසාම සිදුවී ඇති අසාධාරණයක් ඇත්තේ නැත. එම නිසා ‘දෙමළ’ යන වාර්ගික පදනමින් විශේෂිත දේශපාලන ඉල්ලීම් ඉදිරිපත් කිරීමට සාධාරණ පදනමක් ඇත්තේ නැත.

♦ දෙමළ ජනයාගේ ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස රටේ සමස්ත දෙමළ ජනගහනයෙන් සුළුතරයක් පමණක් ජීවත්වන උතුර හා නැගෙනහිර ප‍්‍රදේශවල වෙනම රාජ්‍යයක් හෝ ප‍්‍රාදේශීය ස්වයං පාලනයක් ඇති කිරීමට යාම මගින් දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය විසඳේයැයි කීම විරුද්ධාභාසයකි.

♦ උතුර හා නැගෙනහිර ප‍්‍රදේශවල දෙමළ ජනයා තමන් වෙනම දේශපාලන අභිලාෂ සහිත ප‍්‍රජාවක් ලෙස සලකා එකී ප‍්‍රදේශ තම දේශපාලන අභිලාෂ ඉෂ්ට කරගැනීමේ භූමි ප‍්‍රදේශය ලෙස සැලකීම මගින් උතුර හා නැගෙනහිර ද ඇතුලත්ව සමස්ත දිවයිනම තම සුජාත භූමිය ලෙස සලකන සිංහල ජනයාට අසාධාරණයක් සිදුවේ.

♦ මේ දිවයින සඳහා සිංහල-බෞද්ධයාට ඇති අයිතියේ පදනම ‘ඓතිහාසික සාධක’ වලින් නොවරදින සුළු ලෙස ස්ථාපිත කරනු ලැබිය හැකි බැවින් දෙමළ ජනයා ගේ දේශපාලන ඉල්ලීම්වලට පදනම් වන සම්ප‍්‍රදායික දෙමළ නිජබිම් පිළිබඳ අදහසට පදනමක් නැත.

‘අසාධාරණකම් කතිකාව’ ගැන මා මීට පෙර සාකච්ඡා කර ඇතත් මගේ ප‍්‍රතිචාරකයින් මේ පිළිබඳව පුනපුනා ප‍්‍රශ්න කරන බැවින් මගේ තර්කය යලිත් ගොනු කිරීමට උත්හාස කරමි.

විශේෂයෙන්ම 1956න් පසුව පශ්චාත්-යටත් විජිත රාජ්‍යයේ ඇති වූ වෙනස් කම් නිසා, විශේෂයෙන්ම එය සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදයේ ග‍්‍රහණයට දැඩිලෙස හසුවීමත් සමගම එම රාජ්‍යය විසින් ගනු ලැබූ, දෙමළ ජනයාට අහිතකර ලෙස බලපෑම් ඇතිකළ, ඇතැම් පියවර, දෙමළ ජනයාගේ දුක්ගැනවිලි බවට පත්විය. මෙහි දී මගේ තර්කය මගේ ප‍්‍රතිචාරකයින්ට සන්නිවේදනය කිරීමට මම තවමත් අසමත් වී සිටිමි. මම නැවතත් ඒ උත්සාහය ගනිමි.

මතභේදයට බෙහෙවින් ලක් වී ඇති විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ප‍්‍රමිතිකරණය සලකා බලමු. පොදුවශයෙන් ගත් කළ ප‍්‍රමිතිකරණය යහපත් පියවරක් වේවා අයහපත් පියවරක් වේවා දෙමළ සිසුන් ට එය අවාසි සහගත විය (පුද්ගලිකව මා ප‍්‍රමිතිකරණයට කැමතිය). එසේ වූයේ දෙමළ සිසුන්ට විශ්වවිද්‍යාලවලට පිවිසීමට තිබූ සාපේක්ෂ හැකියාව අඩු වූ හෙයිනි. නලින් ද සිල්වා ගේ බුද්ධිමය මගපෙන්වීම මත ලියන ලද කපිල පීරිස්ගේ රචනය (කාලය 1995 සැප්තැම්බර්) මෙය දෙමළ ජනයාට සිදුවූ අසාධාරණයක් නොවන බව පෙන්වා දෙන්නේ සිංහල දෙමළ ජන අනුපාතය සමග සන්සන්දනය කරමිනි. නමුත් ඕනෑම ප‍්‍රජාවක් තමන් ප‍්‍රාර්ථනාකරන අවස්ථා අතපත්කර ගැනීමට ඇති අවකාශ සීමා වූ කල් හී, එම ප‍්‍රජාව අතර අසහනයක් වර්ධනය වීම නොවැලැක්විය හැකිය. කණගාටුවට කරුණ වන්නේ කපිල පීරිස් මහතා මෙන්ම නලින් ද සිල්වා මහතා ද ගැටලූවේ මේ පාර්ශවය ගැන සැලකිලිමත් නොවීමයි. විශේෂයෙන්ම අධ්‍යාපනය සමාජයේ ඉහලට නැගීම සඳහා ඇති ප‍්‍රධානම මාර්ගය බවට පත්වී තිබෙන තත්වයක් තුළ මෙය ඉතාම තීරණාත්මකය. මෙවැනි ප‍්‍රශ්න ජන අනුපාතය හෝ සංඛ්‍යා දත්ත ආශ‍්‍රයෙන් පමණක් තේරුම් ගැනීමට යාම ප‍්‍රශ්නයේ එක් පැත්තක් සම්පූර්ණයෙන්ම අමතක කිරීමකි.

ජනපද ඇතිකිරීම පිළිබඳ ප‍්‍රශ්නයේත් මෙවැනිම පැත්තක් ඇත. වියලි කලාපයේ ගොවි ජනපද ඇති කිරීමට ද මම ප‍්‍රතිපත්තියක් ලෙස පක්ෂ වෙමි. එහිදී මගේ ප‍්‍රවේශය පදනම් වන්නේ ‘‘වගාකරන්නන්ට ඉඩම්’’ යන අදහස මතය. නමුත් ඒ අතරම දෙමළ ජනයා වෙතින් ඊට විරෝධයක් පැමිණියේ (එසේත් නැත්නම් මෙම ක‍්‍රියාමාර්ගය දෙමළ ජනයාට එරෙහි කි‍්‍රයාමාර්ගයක්ය යන දෙමළ ජාතිකවාදී කියාපෑමට දෙමළ ජනයා තුළ පුළුල් ආකර්ශනයක් ඇති වුනේ) මන්ද යන්න පිළිබඳව ද ඒ අතරම බැරෑරුම්ව සොයාබැලිය යුතුය. නලින් ද සිල්වා මෙහි දී සැලකිල්ලට නොගන්නා තවත් වැදගත් දෙයක් තිබේ. එනම් සිංහල-බෞද්ධ දේශපාලන කතිකාව තුළ ජනපද පිහිටුවීම පමණක් නොව ප‍්‍රමිතිකරණය ද දැඩි ලෙස වාර්ගික කරණයට ලක් කරණ ලද බවයි. උදාහරණයක් ලෙස ජනපදකරණය එකළ දේශපාලන කතිකාව තුළ විස්තර කෙරුණේ පෞරාණික සිංහල ශිෂ්ටාචාරයේ පුනර්ජීවනයක් ලෙසිනි. දැනටමත් පසුගිය ලිපිය සම්බන්ධව ඇතිවී තිබෙන ෆේස්බුක් සාකච්ඡාව තුළ අවධානයට ලක්වී ඇති ආකාරයට කියනවා නම් මෙම ක‍්‍රියාමාර්ග වලට බරපතල දෘෂ්ඨිවාදී පැහැයක් ලැබී තිබුණි.

ගොවි ජනපද ව්‍යාපාරය ගැන තවත් කිවයුත්තක් ඇත. තෙත් කලාපයේ ගැමි ගොවීන්ගේ ඉඩම් හිඟයට ප‍්‍රධාන වග උත්තරකරුවා වූයේ යටත් විජිත පාලකයින් සමඟ සන්ධානගතවී අසාධාරණ ලෙස, වගා නොකර තිබූ මෙන්ම ඒ වනවිට ගැමිගොවීන් විසින් වගා කරමින් තිබූ ඉඩම් පවා තමන් සන්තක කරගත් ප‍්‍රභූන් පිරිසයි. බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලකයින් ලංකාවෙන් පිටව යන විට පාලනය භාර දී ගියේ මේ ප‍්‍රභූ පංතියටයි. පශ්චාත් යටත් විජිත සමය තුළමෙම ඉඩම් හිමි ප‍්‍රභූ පංතියට පැවැති ප‍්‍රධානම දේශපාලන අභියෝගය වූයේ ජන්ද බලයෙන් පමණක් නොව කි‍්‍රයාකාරී දේශපාලන විඥානයකින් ද සන්නද්ධව සිටි, සීඝ‍්‍ර ජනගහන වර්ධනය නිසා ප‍්‍රමාණාත්මක වශයෙන් ද වර්ධනය වන ගැමි ගොවි ජනයාය. වාමාංශික පක්ෂ මෙම ගැමි ගොවීන් අතර ජනප‍්‍රිය වෙමින් පැවැතීම ද මෙම ඉඩම් හිමි ප‍්‍රභූ පංතියේ විශේෂ අවධානයට යොමු වෙමින් පැවැති කාරණයකි.

වියලි කලාපයේ ගොවිජනපද ව්‍යාපාරය හරහා සිද්ධ කෙරුණේ මූලික වශයෙන්ම මෙම තෙත් කලාපීය ඉඩම් හිමි ප‍්‍රභූ පංතියේ දේශපාලන අනාගතයට ප‍්‍රභල විභවාත්මක තර්ජනයක් වූ ගැමි ගොවි ජනගහනයෙන් කොටසක් වියලි කලාපයට පලවා හැරීමයි. මෙම කටයුත්ත සාධාරණීකරණය කිරීම සඳහා ඔවුන්ට පළඳවන ලද දෘෂ්ඨිවාදී කටු ඔටුන්න වූයේ ඔවුන් පෞරාණික සිංහල ශිෂ්ටාචාරයේ පුනර්ජීවනයේ නියමුවන්ය යන ව්‍යාජෝක්තියයි. චිත‍්‍රයේ අනෙක් පැත්ත වූයේ මෙය වර්ගවාදී ව්‍යාපෘතියක්ය යන අදහස දෙමළ ජනයා තුළ ඇති කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වීමයි.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ගැමි ගොවි ජනයා වියලි කලාපයට පලවා හැරීම මගින් ද ගැමිගොවි විරෝධය සමනය කිරීමට නොහැකි වූ බව ගැමිගොවි තරුණයින් පදනම් කරගෙන කැරළි දෙකක් ඇතිවීමෙන් අපට පෙනේ.

නලින් ද සිල්වා කියන ආකාරයටම, මෙම ඊනියා ‘අසාධාරණකම් සිදුවූවායයි කියන කාලයට පෙරදී ම දෙමළ ජාතිකවාදී ඉල්ලීම්, ඊළාම් පිළිබඳ අදහසද ඇතුළුව,ඉදිරිපත් වී තිබීම පුදුමයට කරුණක් නොවේ. ඉන්දියාවේ ද ජාතික ව්‍යාපාරය දෙකඩ වී මුස්ලිම් ලීගය යටතේ පකිස්ථානය පිළිබඳ අදහස ඇතිවෙන්නේ මීට සමාන්තර කාලයකයි. එවැනි තත්වයක් තුළ ඉන්දියාවේ මෙන්ම රාජ්‍යය දෙකක් මුල්කරගත් යටත් විජිතහරණ තත්වයක් සුළු ජනවාර්ගික ප‍්‍රභූන් විසින් පරිකල්පනය කරනු ලැබීම කිසිසේත්ම පුදුමයට කරුණක් නොවේ. පුදුමයට පත්විය යුත්තේ ඉන්දියාවේ මෙන් එය තීව්‍රව ඉදිරිපත් නොවීම පිළිබඳවයි.

දෙමළ ජාතිකවාදය ඇතිවූයේ අපගේ සාකච්ඡාවට භාජනය වන ඊනියා ‘‘අසාධාරණකම්’’ නිසා යැයි කිසිවෙක් තර්ක කරනු මා දැක නැත.

අප ඇසිය යුත්තේ පශ්චාත් යටත් විජිත සමයේ මෙම වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහසට ශක්තියක් ලැබුනේ මන්ද යන්නයි. ඊට හේතුව අන් කවරක්වත් නොව පශ්චාත් යටත්විජිත රාජ්‍යය දෘෂ්ඨිවාදීමය වශයෙන් සීඝ‍්‍රයෙන් සිංහල වාර්ගීකරණයට ලක්වීමයි. ඒ නිසා දෙමළ දේශපාලනය තුළ ප‍්‍රතිඵල දෙකක් ඇති විය. එකක් නම් සිංහල හා දෙමළදේශපාලන ප‍්‍රභූන් අතර 1948 දී ඇති වූ සහ 1958 දී හා 1967 දී පිලිවෙළින් බණ්ඩාරණායක හා ඩඞ්ලි සේනානායක විසින් යලි තහවුරුකරගැනීමට උත්සාහ කරනු ලැබූ සංධානය බිඳවැටීමයි. දෙවැන්න නිර්ප‍්‍රභූ දෙමළ ජනයා මුහුණ දුන් සමාජ ආර්ථික ප‍්‍රශ්න දෙමළ ජාතිකවාදය විසින් වාර්ගීකකරණයට ලක් කරනු ලැබීමයි. මෙම දෙවනුව කී තත්වය නලින් ද සිල්වා විසින් හඳුනාගනු ලබන ආකාරයට සමාන වුවද ඔහුගේ හඳුනා ගැනීමේ ඇති ගැටලූව වන්නේ ඒ තුළ දකුණේ දේශපාලනය වාර්ගීකකරණය වීම සැලකිල්ලට නොගැනීමයි.

අයෙක් දෙමළ ජාතිකවාදයට සැබෑ ලෙස විරුද්ධ නම් කළ යුතුව තිබුනේ දකුණේ දේශපාලනය වාර්ගීකකරණයට විරුද්ධව කටයුතු කොට උතුරේ ජනයා වාර්ගීක නොවන දෙශපාලන ව්‍යාපෘතියක් වෙත ගොනු කිරීමට කටයුතු කිරීමයි. ඒ කටයුත්ත කිරීමේ නියැලී සිටියේ වාමාංශික දේශපාලන පක්ෂ ය. නමුත් දකුණේ දෙශපාලනය සීඝ්‍රයෙන් වාර්ගීකකරණයට ලක්වන විට එම රළ වේගයෙන් ගැලවී සිටීමට වාමාංශික පක්ෂ වලට හැකිවන්නේ නැත. එහි ප‍්‍රතිඵලයක් වන්නේ වාමාංශික ව්‍යාපාරයට උතුරේ තිබූ පදනම දියවී යාමයි. එපමණක් නොව එවකට රැඩිකල්කරණය වෙමින් තිබූ තරුණ දේශපාලනයද දෙමළ ජාතිකවාදය වෙත සීඝ‍්‍රයෙන් ගසාගෙන යාමයි.

මෙම තත්වය වෙනස් කිරීමට තරමක උත්සාහයක් දරණු ලැබුවේ එක්ව කටයුතු කළ උතුරේ හා දකුණේ කුඩා වාමාංශික කණ්ඩායම්ය. එවකට නලින් ද සිල්වාට ද එවැනි කණ්ඩායම් සමඟ සම්බන්ධතා තිබුණි. මට මතක විදිහට 1986 දී පමණ පවා ඔහු උතුරේ රැඩිකල් කණ්ඩායම් සමඟ එක්ව කරණ පොදු අරගලයක් ගැන කතා කලේය. ‘දෙමළ ප‍්‍රශ්නය’ පිළිබඳව මා සවන් දුන් ඔහුගේ මුල්ම කතාවේ දී ඔහු එම දැක්ම ඉදිරිපත් කළේය. නමුත් ඊලඟ වසර කීපය තුළ මෙම දැක්ම ඔහු වෙතින් සීඝ‍්‍රයෙන් ඉවත් විය.

නිර්මාල් රංජිත් දේවසිරි

Posted in Uncategorized | ප්‍රතිචාර 2

දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – 8 කොටස

83 ජූලි: කව්ද මේවට වගකියන්නෙ?

RichterFuneralBeerdigungL‘ජාතික චින්තනය’ෆේස්බුක් කණ්ඩායමේ මගේ ලිපිවලට ශාස්ත‍්‍රීය ශික්ෂණයක් සහිතව ප‍්‍රතිචාර දක්වන තිදෙනා අතරින් ඉදිරියෙන්ම සිටින්නේ දර්ශන කස්තුරිරත්නය (අනෙක් දෙදනා ශිරන්ත චාමර හා චරිත කාරියවසම්ය). ඔවුන්ට අනුව මගේ ලිපි ශාස්ත‍්‍රීය අගයෙන් හීන වුවද, ඇත්ත වශයෙන්ම ඒවායේ පිළිතුරු දීමට තරම් දෙයක් නැති වුවද, ඔවුහු ඒවාට ශාස්ත‍්‍රීය ශික්ෂණයකින් දීර්ඝ ප‍්‍රතිචාර දැක්විීමට තීරණය කර තිබේ. ඒ ගැන මම ඔවුන්ට ස්තූතිවන්ත වෙමි. 1983 ජූලි මාසයේ ඇති වූ දෙමළ විරෝධී ගැටුම්වලට මා සම්බන්ධ වූ ආකාරය විස්තර කරමින් යූ ටියුබ් හී ඇති වීඩියෝවක මා කර ඇති විස්තරය ගැන සඳහන් කරමින් දර්ශන කස්තුරිරත්න මෙසේ කියයි:

“මේ සාක්ෂියේ වැදගත්කමක් තියෙනවාග මොකද මෙයින් පේනවා එකල පැවති ආණ්ඩුවෙන් සහ එජාපයෙන් (ජාතික සේවක සංගමය ආණ්ඩුවේ ආයතනයක් නොව රාජ්‍ය බලය හිමිව තිබූ එජාපයේ නිල වෘත්තීය සමිතියයි) සෘජුවම මේ කෝලාහලය සංවිධානය කරපු බව සහ අඩුම වශයෙන් සහයෝගය දුන් බවග ඒ නායකත්වය/සහභාගීත්වය නොවෙන්ඩ ඔය කෝලාහලය ඔය මට්ටමට යන්නේ නෑ. ඒ වගේම හොරු සහ මංකොල්ලකාරයොත් මේ ක්‍රියාදාමයට සම්බන්ධ වී සිටපු බව. ඒ වගේම තරුණයන්ගේ තරුණකම, ආවේගශීලීත්වය සහ අවදානම් ගැනීමේ ආශාවත් මේකට හේතු වූ බව. මේ සේරම අතහැරලා සිංහල ජාතිවාදී පදනමකින් මේකට සම්බන්ධ උන පිරිස කොතරම්ද ඒ අයට තනිව ක්‍රියා කිරීමේ හැකියාවක් තිබුනාද කියන එක ගැටළුවක්. ඒ වගේම මේ ක්‍රියාදාමයට නායකත්වය දුන්නේ ස්වාධීනව ක්‍රියා කරපු ජාතිවාදී පිරිසද නැත්තං එකල හිටපු ආණ්ඩුවද කියන එකත් කල්පනා කරන්ඩ වටින ප්‍රශ්නයක්. නායකත්වයක් නැතුව කිසිවක් වෙන්නේ නෑ. වැඩි දෙනා කරන්නේ රැල්ලට යන එකයි. කෙසේ හෝ වේවා ඔහු පසුව ඉදිරිපත් කරන අර්ථකථනය (එනම් සිංහල ජාතිකවාදය මේකට හේතුවූ බව) සමග ඒ සාක්ෂි ගැලපෙන්නේ නෑ. මොකද එකල පැවති ජේ ආර් ආණ්ඩුව ජාතිකවාදී ආණ්ඩුවක් (හමුදාවත් ආණ්ඩුවේ නියෝග අනුව ක්‍රියා කරන එක් ආයතනයක් පමණයි) නොවේ කිසිම අර්ථයකින්. ඔවුන් මේ කෝලාහලය දේශපාලන වාසි ලබා ගන්ඩ, ජවිපෙ තහනම් කරන්ඩ වැනි දේවලට යොදා ගත්තා. ජේ ආර් ආණ්ඩුව මොන මතවාදය මත පිහිටලා මෙය කරත් එය සිංහල ජාතිකවාදය නම් නොවේ. මොකද ඒ ආණ්ඩුව තරම් සිංහල ජාතිකත්වයට සහ සිංහල බෞද්ධ සංස්කෘතියට පටහැනිව ක්‍රියා කරපු ආණ්ඩුවක් තවත් නෑ. ජේ ආර් ආණ්ඩුව විජාතිකත්වය සහ ජ්‍යාත්‍යන්තරවාදය අතින් දෙවැනි වන්නේ 2002-2004 රනිල්ගේ ආණ්ඩුවට පමණයි. බොහෝ විට වෙන්ඩ ඇත්තේ මෙතනදී විජාතිකවාදී ජ්‍යාත්‍යන්තරවාදී ජේආර් ආණ්ඩුව ජාතිකවාදී රංගනයක ඇති තම දේශපාලන අරමුණ ඉටු කර ගන්ඩ. දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිකවාදී රංගනයක යෙදීම සහ ජාතිකවාදය/ජාතිකත්වය කියන්නේ දෙකක්. මතකනේ ඒ කාලේ චන්ද්‍රිකා නෝනා ජනාධිපතිවරණ කිට්ටු වෙද්දී විහාරමහාදේවියට ඇදපු හැටි.”

මෙම ප‍්‍රකාශය මගින් දර්ශන කස්තුරිරත්න ප‍්‍රකාශ කිරීමට උත්සාහ කරන වැදගත්ම දෙය ලෙස පෙනෙන්නේ 1983 ජූලි මාසයේ දෙමළ ජනයා සහ ඔවුන්ගේ දේපළ ඉලක්ක කරගෙන ඇතිවූ ප‍්‍රහාරවලට සිංහල ජාතිකවාදී අදහස් පද්ධතිය වගකිව යුතු නැති බවයි. ඒ සඳහා ඔහු ඉදිරිපත් කරන ප‍්‍රධානම සාධකය වන්නේ මෙම ප‍්‍රහාර සංවිධානාත්මක ලෙස දියත් කිරීමට දායක වූ බවට කිසිඳු සැකයක් නොමැති ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව සිංහල ජාතිකවාදි ‘මතවාදයක’ පිහිටි එකක් නොවීමයි. කෙසේ වෙතත් කස්තුරිරත්න මෙහිදී පිළිගන්නවා ‘‘විජාතිකවාදී ජාත්‍යන්තරවාදී ජේආර් ආණ්ඩුව ජාතිකවාදී රංගනයක’’ යෙදුනා වීමට ඉඩ තිබුණු බව.

මෙතන දී දර්ශන කස්තුරිරත්න ඉදිරිපත් කරන වැදගත් අදහසක් තිබෙනවා. ඒ තමයි ව්‍යාජ සිංහල ජාතිකවාදීන් සහ අව්‍යාජ සිංහල ජාතිකවාදීන් වෙන්කර ගැනීම වැදගත් බව. ඒ වගේම එහි දී ඔහු තවත් කාරණයක් කියනවා: ඒ තමයි ‘කිසියම් කි‍්‍රයාවක් සඳහා ‘සිංහල ජාතිකවාදය’ වගකිව යුතුයැ යි කිව හැක්කේ එම කි‍්‍රයාව පසුපස සැබෑ අව්‍යාජ සිංහල ජාතිකවාදීන් සිටියහොත් පමණි’ කියන අදහස.

83 ජූලි සිදුවීම්වලට සිංහල ජාතිකවාදයේ වගකීම පිළිබඳ ගැටලූවට ඍජුවම එළඹීමට පෙර මා දර්ශනට වෙනත් ප‍්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කැමතියි. දැන් කිසියම් දෙමළ ‘ජාතිකවාදී’ පාර්ශවයක් ඉදිරිපත් වී මෙසේ ප‍්‍රකාශ කලොත් ඔබ මෙය පිළිගන්නවා ද? ඒ මෙයයි: ‘‘මෙතෙක් කල් එල්.ටී.ටී.ඊ. සංවිධානය යටතේ සිදු වූ කිසිවකට දෙමළ ජාතිකවදය වගකිව යුතු නැත. ඔවුහු ව්‍යාජ ජාතිවාදීහු වෙති.’’ වී. ආනන්ද සංගරී වැන්නෙකුට මෙන්ම නලින් ද සිල්වා ප‍්‍රභාකරන්ගේ මස්සිනා කෙනෙක් ලෙස හඳුන්වා ඇති ඩග්ලස් දේවාන්නදටද මෙම ප‍්‍රකාශය කිරීමට අවශ්‍ය දේශපාලන සුදුසුකම පවතී.

නැවත අපගේ ප‍්‍රධාන ප‍්‍රශ්නයට එමු. 83 ජූලි වලට අදාළව මම ප‍්‍රශ්න තුනක් මතු කරමි. පළමු වැන්න: ජේ.ආර්. ට ‘ව්‍යාජ ජාතිකවාදී රංගනයක’ යෙදීමට සිදුවූයේ ඇයි? දෙවැන්න: එසේ ‘ව්‍යාජ ජාතිකවාදී රංගනයක’ යෙදී සිය ප‍්‍රහාරයේ ඉලක්කය බවට දෙමළ ජනයා පත්කළේ ඇයි? තෙවැන්න: ව්‍යාජ ජාතිකවාදීන් හා අව්‍යාජ ජාතිකවාදීන් අතර සංධාන ඇතිවන කල්හී ව්‍යාජ ජාතිකවාදීන්ගේ කටයුතු සම්බන්ධව අව්‍යාජ ජාතිකවාදීන්ගේ වගකීම කුමක් ද? මා දන්නා ආකාරයට නලින් ද සිල්වා ගේ අර්ථකථනයට අනුව චම්පික රණවක මෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර ද ව්‍යාජ ජාතිවාදීන්ය. එපමණක් නොව ව්‍යාජ ජාතිකවාදියෙක් ලෙස දර්ශනම නම් කරන චන්ද්‍රිකා කුමාරතුංග සමඟ ද නලින් ද සිල්වා සංධානයකට ගිය බව මතක තබා ගන්න. එවකට නලින් ද සිල්වා චන්ද්‍රිකා නම් කළේ විහාරමහා දේවී ලෙස නම් නොව ‘දෝන කතරිනා හෙවත් කුසුමාසන දේවි’ ලෙසිනි.

අපිට මේ ප‍්‍රශ්නයේ තව පැත්තක් සලකා බැලීමට පුළුවන. එනම් මේ ක‍්‍රියාවට සම්බන්ධ වූ සාමාන්‍ය ජනයාගේ පැත්තයි. මගේ පුද්ගලික අත්දැකීමෙන්ම මෙය විමසා බලමු. දර්ශනගේ විග‍්‍රහයට අනුව මා මේ ක‍්‍රියාවට පෙළඹී ඇති බව පෙනෙන්නේ ‘තරුණයන්ගේ තරුණකම ආවේගශීලීත්වය සහ අවදානම් ගැනීමේ ආශාව’ නිසා බවයි. එසේ වුවත් දර්ශන නොදන්නා තවත් දෙයක් මම දනිමි. එනම් අපට ඒ ක‍්‍රියාව සඳහා මගේ තක්සේරුවට අනුව ඉතාම ‘අව්‍යාජ සිංහල ජාතිකවාදියෙකුගේ’ පෙළඹවීම ලැබුණු බවයි. ඔහුගේ ජාතිකවාදී නොවන පාර්ශවයට මා තවමත් ගෞරව කරන බැවින් මම ඔහුගේ නම සඳහන් නොකරමි.

ඒ වගේම මෙම සිදුවීම හට ගැනීමේ ආසන්න පෙළඹවීම ද සලකා බැලීම මෙහිදී වැදගත්ය. එනම් යාපනයේ දී එල්.ටී.ටී.ඊ ය විසින් සොල්දාදුවන් 13 දෙනෙක් මාරා දැමීමයි. එහි දී සිද්ධ වූයේ කුමක්ද? සන්නද්ධ කණ්ඩායමක් සිය සන්නද්ධ ප‍්‍රතිවාදියා ඔවුන්ගේ වාර්ගිකත්වය පරීක්ෂාවට ලක් නොකරම ඝාතනයට ලක් කිරීමයි. (ඊට පෙර එල්.ටී.ටී.ඊ ය දෙමළ වාර්ගික පොලිස් නිලධාරීන් ගණනාවක් ද ඝාතනයට ලක් කළ බව ද මතක තබා ගැනීම මනාය.) කෙසේ වෙතත් ඊට ප‍්‍රතිචාර ලෙස සිංහල ජනයා කළේ දෙමළ ජනයාගේ වාර්ගිකත්වය පරීක්ෂා කොට ඔවුන් පමණක් එල්ල කොට පහර දීමයි. මා පුද්ගලිකව අත්විඳි ආකරයටම දර්ශන කියන ‘හොරු සහ මංකොල්ල කරුවන්ටත් මේ වාර්ගික විභේදනය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණි. ඔවුන් කිසිම අවස්ථාවක තම ඉලක්ක පටලවා නො ගත්හ.

කෙසේ වෙතත් මගේ තර්කය වන්නේ මෙයයි. 83 ජූලි සහ අන් අවස්ථා වල වාර්ගික කෝලහල වලට සිංහල ජාතිකවාදයේ ඇති වගකීම මේ ආකාරයෙන් ඉවත් කරගන්නවා නම් ලෝකයේ කොහේ හෝ එවැනි ජනවාර්ගික කෝලහාල සිද්ධ වී තිබේ ද යන්නම සැකයක් බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව වගකීමෙන් මිදීම සඳහා නලින් ද සිල්වා නම් දර්ශනට වඩා ශක්තිමත් තර්කයක් සොයාගෙන ඇත. ඒ මෙසේය: ‘‘1958 කොලහාල වල වරද සිංහලයන් පිට පටවනු ලැබුවා. පසුව 1977, 1983 ආදියද එලෙසම විග‍්‍රහ කෙරුණා (සීයලා බාප්පලා … පිටුව 56).’’ මෙහිදී නලින් ද සිල්වා ගලවා ගැනිමට තැත් කරන්නේ ‘සිංහල ජාතිකවාදය’ නොව ‘සිංහල ජනයා’ ය.

එම ප‍්‍රවේශයේ යම් පදනමක් ඇති බව මම ද පිළිගනිමි. එනම් සිංහල ජාතිකවාදය හා ‘සිංහල ජනයා’ අතර ඇත්තේ එකට එකේ සම්බන්ධයක් නොවීමයි. අර්ථ දෙකකින් එය එසේ වේ. එක් අතකින් සිංහල ජාතිකවාදී නොවන සිංහලයින් ද සිටී. අනෙක් අතට සිංහල ජාතිකවාදී සිංහලයින් ගේ පවා සෑම කි‍්‍රයාවක්ම සිංහල ජාතිකවාදී නොවේ.

කෙසේ වෙතත් මගේ අදහස වන්නේ කිසියම් සමාජ-දේශපාලන අදහස් පද්ධතියක් (මා කැමති ආකාරයට කියනවා නම් දෘෂ්ටිවාදයක්) සහ තනි මිනිස් ක‍්‍රියාවක් අතර සම්බන්ධය අරබයා නලින් ද සිල්වා ගේ මෙන්ම දර්ශන කස්තුරිරත්නගේ ද ප‍්‍රස්තූතගත කිරීම බෙහෙවින් දුර්වල බවයි. මගේ අදහස වන්නේ ඕනෑම මිනිස් ක‍්‍රියාවක් දෘෂ්ටිවාදී ක‍්‍රියාවක් බවයි (‘මේ අදහස කා අතින් නිර්මාණය වුවද ඒ අදහස දැනට මගේ ද වී ඇත.’ – නලින් ද සිල්වා ගේ මගේ ලෝකය ප‍්‍රථම මුද්‍රණයේ පෙරවදන ඇසුරෙනි!).

කිසියම් ක‍්‍රියාවක දෘෂ්ටිවාදී අඩංගුව නිෂ්චය වන්නේ අදාළ දෘෂ්ටිවාදයේ ඍජු, සහ කතිකාව තුළ ආධිපත්‍යය දරන, කිසියම් නිෂ්චිත කාරකයෙක් (agent) අදාළ කි‍්‍රයාවට සවිඥානකව හා ඍජුව හෝ වක‍්‍රව සම්බන්ධ වනවා ද යන්න මත නොව (එය එසේ වන්නේ නම් සිංහල ජාතිකවාදී වන්නේ නලින් ද සිල්වා හෝ ඔහුගෙන් ලයිසන්ස් ගත් අයගේ මැදිහත්වීම යටතේ සිදුවන ක‍්‍රියා පමණක්ම යැයි වැනි විකාර සහගත නිගමන වලට ඒමට අපට සිදුවේ) අදාළ කි‍්‍රයාවට සම්බන්ධවන තනි තනි පුද්ගලයින්, තනි තනි වශයෙන් හෝ සාමූහිකව එම නිෂ්චිත ක‍්‍රියාව තුළ නිරත වෙද්දී අදාළ දෘෂ්ටිවාදයේ සංඝඨක මගින් කොයිතරම් දුරට මෙහෙයවෙන්නේද යන්න මතය.

83 ජූලි කි‍්‍රයාවන්ට සම්බන්ධ වූවන් (මමත් ඇතුළුව) සිංහල ජාතිකවාදී අදහස් වලින් උත්තේජනය ලබා නොගත්තා යැයි දර්ශන කස්තුරිරත්න හා / හෝ නලින් ද සිල්වා කියන්නේ ද? එසේ නොවේ යැයි කියන්නේනම් ඉතින් දෙමළාට අහන්නට තියෙන්නේ ‘83 ජූලිවල අපිව මැරුවේත් දෙමළ වීම නිසා නොවේ ද?’ යන්නයි.

නිර්මාල් රංජිත් දේවසිරි

Posted in Uncategorized | ප්‍රතිචාර 2