අප දෙමළ ජාතිකවාදීන් ද?

flat,550x550,075,fපහත පල වෙන ලිපිය 1996 ජනවාරි 28 දින “යුක්තිය” සතිපතා පුවත්පතේ පළ විය. අක්ෂර වින්‍යාසමය වෙනස් කම් කීපයක් හැර වෙනත් කිසිඳු වෙනසක් සිදු නොකර එහි පළවූ අයුරින්ම මෙහි පළ කරනු ලැබ ඇත. වාර්ගික දුරස්ථකරණයට බලපෑ හේතු පිළිබඳ කොටස පුවත්පත මගින් ඉඩකඩ සීමාව මත ඉවත් කරනු ලැබ ඇත. අදාළ අත්පිටපත මා සතුව නැති නිසා ඉවත්කරන ලද කොටස යලි ඇතුල් කිරීමට හැකියාවක් නොමැත. මේ ලිපිය නැවත පළකරන්නට මා තීරණය කළේ විශේෂ හේතුවක් නිසාය. මගේ ෆේස්බුක් ප‍්‍රතිචාරකයින් මගෙන් නිතරම අසන ප‍්‍රශ්නයක් වන්නේ මා සිංහල-බෞද්ධ ජාතිකවාදය විවේචනයට ලක්කරන ආකාරයට දෙමළ ජාතිකවාදය විවේචනයට ලක්කරනු නොලබන්නේ මන් ද යන්නයි. මෙම ලිපිය තුළ ජනවාර්ගික ප‍්‍රශ්නයට අදාළව මගේ ප‍්‍රවේශය ඉදිරිපත් වන්නේ සිංහල-බෞද්ධ ජාතිකවාදය මෙන්ම දෙමළ ජාතිකවාදය ද විවේචනයට භාජනය කරමින්ය.

ජනවර්ග ප‍්‍රශ්නයක් තිබේද?

විසඳුම සඳහා ප‍්‍රවේශයන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුමකට ඇති බාධා….

ලංකාවේ පශ්චාත් යටත්විජිත රාජ්‍යය බරපතල අර්බුදයකට ලක් නොකොට දිගටම පවත්වාගෙන යාමට නම් සිංහල හා දෙමළ වාර්ගික අනන්‍යතා දේශපාලනයන් දෙක අතර සම්මුතියක් අවශ්‍ය වන බව ‘56 දේශපාලන පෙරළිය’ ට නායකත්වය දුන්නා වූ එස්. ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක දුටු අතර මේ සඳහා ඔහු දෙමළ ප්‍රභූ දේශපාලන නායකත්වය සමග සම්මුතියකට ඒමට උත්සාහ කළේය. ඔහුට මෙම සම්මුතිය ඇති කර ගැනීම සඳහා පුද්ගලයෙක් ලෙස හැම අතින්ම හැකියාවක් තිබුණි.

මෙම හැකියාව ඔහුට ප‍්‍රධාන වශයෙන්ම ලැබී තිබුණේ ඔහු තමන් විසින් නායකත්වය දෙනු ලැබූ ඊනියා ‘පංච මහා බලවේගය’ සමඟ මතවාදිමය හෝ සමාජමය වශයෙන් ඓන්ද්‍රීය සම්බන්ධතාවක් නොතිබූ බැවිනි. ඇත්ත වශයෙන්ම ඔහු 1948 දේශපාලන බලය ලැබූ ඉහළ ප‍්‍රභූ ස්ථරයේ ඓන්ද්‍රීය පුරුකක් විය. එසේම දෘෂ්ටිමය වශයෙන් ගත් කල ඔහුට ආභාෂය ලැබී තිබුණ මූලාශ්‍ර අනුව ‘පංච මහා බලවේගයේ’ නියෝජිතයින්ට දෙමළ අනන්‍යතා දේශපාලනයේ ඉල්ලීම් තේරුම් ගැනීමට හෝ ඒවාට සංවේදී වීමට තිබුණු දුෂ්කරභාවය බණ්ඩාරනායකට තිබුණේ නැත. විශේෂයෙන්ම දෙමළ ප‍්‍රභූ දේශපාලනයේ අවශ්‍යතා තේරුම් ගැනීමට තරම් හැකියාවක් හා මානසික සූදානමක් බණ්ඩාරනායකට තිබුණි.

බණ්ඩාරනායක: අභිලාෂයන්ගේ පරස්පරය
බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම එම මානසික සූදානමේ ප‍්‍රතිඵලයයි. එය අසාර්ථකවීමට හේතුව වන්නේ බණ්ඩාරනායකගේ අවශ්‍යතාව හා ඔහු විසින් නායකත්වය දෙනු ලැබූ දේශපාලන බලවේගයේ අභිලාෂයන් අතර පැවතිය පරස්පරයයි. ලංකාවේ පශ්චාත් යටත් විජිත රාජ්‍යය ගොඩ නැංවීම සම්බන්ධයෙන් ඉතාම අත්‍යවශ්‍ය වූ සම්මුතියක් වූ එම ගිවිසුම් ක‍්‍රියාවට දැමීමට පරිශ‍්‍රම දරනු වෙනුවට බණ්ඩාරනායක කළේ තමන් බලයට ගෙන ආ බලවේගවල ක්ෂණික අභිලාෂයන් තෘප්තිමත් කොට එම සම්මුතිය බිඳ දැමීමයි.

මෙම අසාර්ථකවීම වාර්ගික අනන්‍යතා දේශපාලනයන් දෙක තව තවත් දුරස්ථ කිරීමට හේතු වූවා පමණක් නොව දෙමළ වාර්ගික අනන්‍යතා දේශපාලනයේ ඉල්ලීම් තව තවත් ශක්තිමත් වීමට ද එම තත්වය බලපෑවේය. නැවත වතාවක් 1966 සම්මුතියක් ඇති කර ගැනීමට දැරූ උත්සාහය ද අසාර්ථක වෙයි. එසේම 1972 සිංහල දේශපාලන නායකත්වය විසින් සිද්ධ කළා වූ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාදාමය තුළට තම දේශපාලන ඉල්ලීම් ද ඇතුලත් කර ගැනීමට දෙමළ දේශපාලන නායකත්වය දැරූ පරිශ‍්‍රමය සාර්ථක වන්නේ නැත. නැවත වතාවක් මෙම දුරස්ථ වෙමින් පැවති වාර්ගික අනන්‍යතා දේශපාලනයන් දෙක අතර සම්මුතියක් ඇති කර ගැනීමට පරිශ‍්‍රමයක් දැරෙන්නේ 1987 දීය.

වාර්ගික අනන්‍යතා දේශපාලනයන් දෙකට මේ ආකාරයෙන් එකිනෙකා සමඟ සම්මුතියකට එළඹීමට නොහැකිවීමේ ප‍්‍රතිවිපාක වන්නේ එම දේශපාලනයන් දෙක එකිනෙකට සතුරු කඳවුරු දෙකක් ලෙස වැඞී යාමය.

පොදු පෙරමුණ මුහුණ දෙන අභියෝග
වරින් වර සිංහල හා දෙමළ වාර්ගික අනන්‍යතා දේශපාලනයන් දෙක අතර ඇති කර ගැනීමට උත්සාහ දැරූ සම්මුතීන් මඟින් ක‍්‍රම ක‍්‍රමයෙන් දුරස්ථ වන වාර්ගික අනන්‍යතා දේශපාලනයේ එකිනෙකාට ප‍්‍රතිවිරුද්ධ වූ ගමන ආපසු හැරවීමට උත්සාහ ගනු ලැබීය. අවසානයේදී එයින් අපේක්ෂා කළේ සිංහල හා දෙමළ ප‍්‍රජාවන් දෙක අතර පොදු ලාංකික දේශපාලන අනන්‍යතාවයක් ඇති කර ගැනීමටයි. නමුත් තවමත් මෙය සාර්ථක වී නොමැත. පොදු පෙරමුණේ යෝජිත විසඳුම් මගින් අපේක්ෂා කරන්නේ වාර්ගික අනන්‍යතා දේශපාලනයන් දෙක අතර දුරස්ථභාවය නැතිකොට ඒවා කිට්ටු කරවන දිශාවකට යොමු කරවීමටයි. නමුත් දැනට මේ ආණ්ඩුව විසින්ද පවතවාගෙන යන යුදමය ක‍්‍රියා මාර්ගය තුළ ජනිත කරවන්නේ එම අපේක්ෂාවට ප‍්‍රතිවිරුද්ධ වු ප‍්‍රතිවිපාකයකි. එනම් වාර්ගික අනන්‍යතා දේශපාලනයන් දෙක අතර සම්බන්ධය තව තවත් දුරස්ථ වීමයි. පොදු පෙරමුණු ආණ්ඩුව මුහුණ දෙන අභියෝගය මෙයයි.

ජාතිකවාදී ප‍්‍රවේශය
ජාතිකවාදී ප‍්‍රවේශය මෙහි දී සිංහල හා දෙමළ යනුවෙන් ප‍්‍රධාන කොටස් දෙකකට වෙන් කළ හැකිය. (යම් මට්ටමකින් මුස්ලිම් සංඝඨකය ද මීට එකතු වෙමින් තිබුණ ද තවමත් එය සෙසු ප‍්‍රජාවන් දෙකට වඩා වෙනස් දිශාවකට ගමන් කරන ප‍්‍රවණතාවයන් පෙන්නුම් කරන්නේ නැත). මෙම ජාතිකවාදී ප‍්‍රවේශයන්හි විශේෂයෙන්ම ඒවායේ අන්තවාදී ප‍්‍රකාශනයන්හි දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණය වන්නේ ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයේ ඉල්ලීම් ඉඳුරාම බැහැර කරලීමයි. එක් පාර්ශවයක් ‘ඓතිහාසික දෙමළ නිජභූමි’ පදනම් කරගත් දෙමළ ඊලාම් රාජ්‍යයක් ලෙසත් අනෙක් පාර්ශවය සිංහල බෞද්ධ රටක් ලෙසත් තම තමන්ගේ එකිනෙකා බැහැර කරන ක‍්‍රියා මාර්ගයන් සංකල්පගත කර ගෙන ඇත.

එසේම උත්ප‍්‍රාසක වූත් උභතෝකෝටිකයක් වූත් තත්වය වන්නේ මෙම අන්ත ජාතිකවාදී ප‍්‍රවේශයන් දෙක අතර එකිනෙකාගෙන් යැපෙන, එකිනෙකා පෝෂණය කරන ගතිකයන් බෙහෙවින් දක්නට ලැබීමයි. දෙමළ ජාතිකවාදයේ ඉල්ලීම් නිතරම සාධාරණීකරනය කර ගැනීමට හැකිවන්නේ එම ඉල්ලීම්වලට එරෙහිව මතුවන සිංහල ජාතිකවාදී විරෝධය හුවා දක්වමිනි. විශේෂයෙන්ම සිංහල ජාතිකවාදයේ මතවාදී හා දේශපාලන සහයෝගය මත දියත්වන යුද්ධය දෙමළ අන්ත ජාතිකවාදයට තම ඉල්ලීම් සාධාරණීකරනය කිරීම සඳහා ඉවහල් වනවා පමණක් නොව දෙමළ සමාජය තුළ සෙසු අභ්‍යන්තර විභේදනයන් පසෙකට තල්ලූකර දමා වාර්ගික අනන්‍යතාවය ශක්තිමත් කිරීමට ඉවහල් වේ.

අනෙක් අතට දෙමළ සමාජය තුළ වාර්ගික සහයෝගිතාවය තීව්‍රවත්ම දෙමළ අනන්‍යතා දේශපාලනයේ ඉල්ලීම් ශක්තිමත්වත්ම ඊට සාපේක්ෂව සිංහල වාර්ගික අනන්‍යතා දේශපාලනයේ අන්තවාදී ප‍්‍රවණතාවලටද වැඩි ශක්තියක් ලැබේ. මේ ආකාරයට මෙම ජාතිකවාදී ප‍්‍රවේශයේ දක්නට ලැබෙන මූලික ලක්ෂණය වන්නේ වාර්ගික අනන්‍යතා දේශපාලනයන් දෙක අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදි සම්මුතියකට කිසිදු ඉඩකඩක් නොමැති වීමයි. සිංහල ජාතිකවාදී සම්භාෂණය තුළ ‘ඒකීය රාජ්‍යය’, ‘භෞමික අඛණ්ඩතාවය’ වැනි සංකල්ප ඉතා ඉහළින් අගය කරන්නේ වී නමුදු එම ‘ඒකීය රාජ්‍ය’ තුළට දෙමළ ජනයාට තම අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ඇතුල් විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව ඒ තුළ සැලකිලිමත් නොවේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් දෙමළ සමාජයට ප‍්‍රජාතන්ත‍්‍රීය ආමන්ත‍්‍රණයක් කිරීමට සිංහල ජාතිකවාදී ප‍්‍රවේශය තුළ හැකියාවක් ඇත්තේ නැත.

දෙමළ ජාතිකවාදී ප‍්‍රවේශයේ ස්වභාවයද එසේමය. දෙමළ ජාතිකවාදයේ අන්තවාදී ක‍්‍රියා මාර්ගයන්හි මූලික ලක්ෂණය වන්නේ එම ක‍්‍රියාමාර්ගය රඳා පවතින්නේ සිංහල ප‍්‍රජාව සම්බන්ධයෙන් ඉතාම සතුරු, සිංහල ජනයා සමඟ සහජීවනය නොඉවසන චිත‍්‍රයක් දෙමළ සමාජය තුළ ව්‍යාප්ත කරවීම තුළය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක‍්‍රියා මාර්ගය තුළ මේ ලක්ෂණය ඉතා කදිමට හඳුනාගත හැකිය.

මේ තතු යටතේ ජාතිකවාදී ප‍්‍රවේශය තුළ සිංහල හා දෙමළ ප‍්‍රජාවන් දෙකට එක් දේශපාලන ඒකකයක් තුළ ජීවත්වීමට තිබෙන ඉඩකඩ අල්පය. එසේ වීමට නම් සිංහල ජාතිකවාදී මතවාදය විසින් නිර්ණය කරන සීමාව තුළ වාසය කිරීමට දෙමළ ප‍්‍රජාව සූදානම් විය යුතුය. නමුත් දෙමළ වාර්ගික අනන්‍යතා දේශපාලනය දැනට පැමිණ තිබෙන සන්ධිස්ථානය දෙස බලන කල තම දේශපාලන අභිලාෂයන් සිංහල වාර්ගික මතවාදය විසින් තිරණය කරන රාමුව තුළ සීමා කිරීමට දෙමළ ප‍්‍රජාව එකඟවේයැයි සිතිමට කිසිම ඉඩක් නොමැත. එම නිසා ජාතිකවාදී ප‍්‍රවේශයේ තාර්කික අන්තය වන්නේ ලංකාව දේශපාලන ඒකක දෙකකට බෙදී වෙන්වීමය.

වාම ජනතාවාදී ප‍්‍රවේශය
මෙම ප‍්‍රවේශය තුළ අවධාරනය කෙරෙන්නේ ජාතින් අතර පවත්නා මෙවන් ගැටලූවලට විසඳුම් දීමට ධනපති පංතියට නොහැකි බවයි. ඊට හේතුව මේ ගැටලූවල ඇත්ත හේතු වන්නේ සමාජයේ පවත්නා අසමානතාවය නිසාය. එම හේතුව ඉවත් කරන්නේ නොමැතිව මතු පිටින් ‘විසඳුම්’ ලබා දීම කිසිසේත් ප‍්‍රශ්නය විසඳීමක් නොවේ. මේ නිසා ප‍්‍රශ්නය විසඳාලිය හැක්කේ සමාජවාදය පිහිටුවා සමාජය තුළ සමානාත්මතාවය ඇති කිරීම මගින් පමණකි. මෙම ‘විසඳුම’ මේ මොහොත තුළ ප‍්‍රධාන වශයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණ මගිනි. ඊට අමතරව ශ‍්‍රී ලංකා දෙමළ ඊළාම් සමාජවාදී සමූහාන්ඩුවක් තුළ මේ ප‍්‍රශ්නය විසඳාලීමට යෝජනා කරන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (කම්කරු මාවත) වැනි කොටස් ද මේ ගනයට ලා සැලකිය හැක. මෙම ප‍්‍රවේශයට එරෙහිව නැගිය හැකි ප‍්‍රති තර්ක තුනක් තිබේ.

පළමුව මෙම ප‍්‍රවේශය යෝජනා කරන පිරිස් (විශේෂයෙන් ජ.වි.පෙ.) තම ‘සමාජවාදී විසඳුම’ සංයුක්ත දේශපාලන ක‍්‍රියාමාර්ගයන් බවට පත්කරලීමට සමත් වන්නේ නැත. එම නිසා එය ගැටලූවට මුහුණ නොදී පලා යාමට මඟක් පමණක් බවට පත්වේ.

දෙවනුව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මේ පවතින දේශපාලන සංදර්භය තුළ සමාජවාදී ව්‍යාපෘතිය දේශපාලන න්‍යාය පත‍්‍රයට ඇතුල් කළ හැක්කක් නොවේ. විශේෂයෙන්ම ලංකාව වැනි ලෝක ධනේශ්වර ක‍්‍රමයේ මධ්‍යස්ථානවලට පරාධීන එහි පරිවාරයේ තිබෙන ප‍්‍රදේශයක මේ හැකියාව කිසිසේත්ම ඇත්තේ නැත.

තෙවනුව යම් හෙයකින් සමාජවාදී ව්‍යාපෘතිය ජයග‍්‍රහණය කොට ඒ මගින් සාමූහික දේපළ ක‍්‍රමයක් ස්ථාපිත කළ ද ජනවාර්ගික අනන්‍යතාවයන් අතර පවත්නා ගැටලූවලට විසඳුම් ලැබෙතැයි සිතීම අසීරුය. සෝවියට් සංගමය වැනි අත්දැකීම් මීට නිදසුන් වේ. යම් කිසි සාමූහික දේපළ ක‍්‍රමයක් ඇති කිරීමෙන් වාර්ගික වෙනස්කම් මකා දැමීමට නොහැකි බව සෝවියට් අත්දැකීම් මගින් තහවුරු විය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවේශය
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවේශය මගින් මූලික වශයෙන්ම අපේක්ෂා කරන්නේ සිංහල හා දෙමළ වාර්ගික අනන්‍යතා දේශපාලනයන් දෙක අතර නව දේශපාලන සම්මුතියක් ඇති කර ගැනීමයි. වෙනත් වචනවලින් කියනවා නම් දෙමළ සමාජය වෙතින් ඉදිරිපත් වන ඉල්ලීම් ද සැලකිල්ලට ගෙන ලංකාවේ රාජ්‍යය ව්‍යුහය යළි සකස් කිරීමයි. ලංකාව එක් දේශපාලන ඒකකයක් ලෙස පවත්වාගෙන යාමට නම් අනිවාර්යයෙන්ම එවැනි ක‍්‍රියාමාර්ගයක් අවශ්‍ය වේ. පවත්නා සිංහල වාර්ගික අනන්‍යතා දේශපාලනයේ බලපෑම් මත සකස් වී ඇති රාජ්‍ය ව්‍යුහයන්ට දෙමළ ජනයාගේ ඉල්ලීම්වලට සංවේදී වීමට හැකියාවක නැත. එම නිසා එම රාජ්‍යය දෙමළ දේශපාලන ඉල්ලීම්ද සැලකිල්ලට ගෙන යළි ප‍්‍රතිසංස්කරණය නොකරනවාය යන්නෙන් අදහස් කරන්නේ දෙමළ ජනයා ඉන් බැහැර කරනවාය යන්නයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවේශය මගින් දැනට දෙමළ සමාජයට එරෙහිව කරන යුදමය මැදිහත් වීම ඉඳුරාම ප්‍රතික්ෂේප කෙරේ. යුදමය ක‍්‍රියාමාර්ගය පසුපස තිබෙන තර්කනය වන්නේ පවත්නා රාජ්‍යය ව්‍යුහය තුළ දෙමළ ජනයා බලහත්කාරයෙන් රඳවා ගැනීමට දැරෙන උත්සාහයයි. දෙමළ සමාජය සමඟ නව දේශපාලන සම්මුතියක් ඇති කර ගැනීමට දැරෙන උත්සාහයත් මුළුමනින්ම ප‍්‍රචණ්ඩ නොවන සාමකාමී එකක් විය යුතුය. යුදමය ක‍්‍රියාමාර්ගය ඊට පරස්පරව දිවෙයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවේශයේ මූලික අභිප‍්‍රාය දුර්වල කරයි.
යමෙකු එක් දේශපාලන ඒකකයක් (එක රාජ්‍යයක් එක රටක්) තුළ මේ ගැටලූව විසඳීම අවශ්‍ය නම් තිබෙන්නේ මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවේශය තුළින් එළැඹිය හැකි විසඳුමක් පමණි.

නිර්මාල් රංජිත් දේවසිරි

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )