දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය -15 (අවසාන කොටස)

වාර්ගික සමාජ සැකසුම් දෙකක කතාව

drip_drop_by_hailann-d637d50දැනටමත් සඳහන් කර ඇති ආකාරයට 13 වන සියවසෙන් පසු මේ දිවයිනේ ඉතිහාසය තේරුම් ගත හැකි එක් ආකාරයක් වන්නේ එකිනෙකින් දුරස්ථව වර්ධනය වූ සමාජ සැකසුම් දෙකක වර්ධනයක් ලෙසිනි. වර්තමාන දෙමළ ජනයා මුල්කරගත් දේශපාලන ගැටලූවේ මූලික ආකෘතිය බවට පත්වී ඇති උතුරු දකුණු විභේදනයේ ඓතිහාසික පදනම මෙයයි. මෙම යථාර්ථය පිළිගැනීමට අකමැති සිංහල-බෞද්ධ ජාතිකවාදීහු තම වාසියට ප‍්‍රධාන ප‍්‍රතිතර්ක තුනක් ඉදිරිපත් කිරීම දැකගත හැක. ඒවා මෙසේය: 13 වන ශතවර්ශයෙන් පසු උතුරේ පැවැති රාජධානිය දෙමළ හෝ ද්‍රවිඩ එකක් නොවීය; දකුණු සැකැස්මේ රජවරු උතුරු සැකැස්මත් තම පාලන ප‍්‍රදේශයේම සුජාත කොටසක් ලෙස සැලකීය; උතුරු සැකැස්මේ වැසියන්ගෙන් වැඩිදෙනෙක් පසුව දෙමළ බවට පත්වූ සිංහලයෝය.

මගේ අදහස වන්නේ මේ ප‍්‍රතිතර්ක තුනම පදනම් විරහිත බවයි. උතුරේ පාලකයින් වූ ආර්යචක‍්‍රවර්තී වරුන්ගේ වාර්ගික සම්භවය කුමක් වුවත් ඒ මත උතුරු සැකැස්ම නිර්වචනය කිරීමට උත්සාහ කළොත් ප‍්‍රශ්න රැසක් මතුවේ. එයින් වැදගත්ම ප‍්‍රශ්නය වන්නේ දකුණු සැකැස්මේ පාලක ප‍්‍රභූන්ගේ වාර්ගික සම්භවය සම්බන්ධයෙන්ද එවැනිම කරුණු ඉදිරිපත් කිරීමට හැකි බැවිණි. එක් උදාහරණයක් පමණක් දක්වනවානම් කෝට්ටේ ගොඩනැංවූ සහ 14-15 ශතවර්ෂවල බස්නාහිර වෙළඳබඩ ප‍්‍රදේශයේ විශාල දේශපාලන බලයක් ඇතිව සිටියා වූ ද, උතුරු සැකැස්මේ පාලකයින් වූ ආර්යචක‍්‍රවර්තීන්ගේ දකුණු ව්‍යාප්තිය වැලැක්වූවා වූ ද, රයිගම කේන්ද්‍ර කරගෙන සිටි අලකේෂ්වරවරු කේරළ සම්භවයකින් යුක්ත වූහ. මේ නිසා උතුරු සැකැස්මේ වාර්ගික සංයුතිය දෙස බැලිය යුත්තේ 19 වන ශතවර්ශයේ ඇතිවන හින්දු ආගමික පුනර්ජීවනය සහ පසුව ඇතිවන දෙමළ ජාතිකවාදයට ඓතිහාසික පදනමක් ලබාදීමට තරම් වූ ‘දෙමළත්වය’ (Tamilness) පදනම් කරගත් සංස්කෘතික ස්වායත්තතාවයක් මෙම සැකැස්ම තුළ දක්නට ලැබුණා ය යන කරුණ මත පදනම් වෙමිනි.

දෙවන තර්කය පසුගිය ලිපියේ අනුරාධපුර රාජ්‍යය හා රෝහණ රාජ්‍යය සම්බන්ධව කරන ලද සාකච්ඡාව ඇසුරෙන් ද තේරුම් ගැනීමට පුළුවන. කිසියම් පාලක දෘෂ්ටිවාදයක් තුළ සිය පාලන වසමේ සුජාත සීමාව පරිකල්පනය කරන ආකාරය අනිවාර්යයෙන්ම යථාර්ථවාදී තත්වය වීම අවශ්‍ය නොවේ. එනම් දකුණු සැකැස්මේ පාලකයින් රජරට පාලක දෘෂ්ටිවාදයෙන් තමන්ට උරුම වූ අදහස් අනුව යමින් තමන් මුලූ මහත් දිවයිනේම සුජාත පාලකයන් යැයි සිතා සිටිය ද ඇත්ත වශයෙන්ම පැවැති තත්වය ඊට වෙනස් විය. ඇත්ත වශයෙන්ම එම දෘෂ්ටිවාදය සාක්ෂාත් කරගැනීමට දකුණු සැකැස්මේ පාලකයින්ට පැවැති හැකියාව ඒ සම්බන්ධව රජරට පාලකයින්ට පැවැති හැකියාවටත් වඩා සීමිත විය. ඒ හැකියාව ලැබුනේ එක් අවස්ථාවක පමණි. ඒ යුධකාමී හයවැනි පරාක‍්‍රමබාහු සිය දෙමළ නමක් සහිත (සෙම්බගප්පෙරුමාල් – ඔහුට භාවිතවන ‘සපුමල් කුමරු’ යන නම කවි සමයේ නිර්මාණයක් ද යන්න සොයා බැලිය යුතුය.) හදාගත් පුත‍්‍රයා යවා යුධ බලයෙන් යාපනය සුළු කලකට අත්පත් කරගත් අවස්ථාවේය.

තෙවන තර්කයට සත්‍යමය පදනමක් තිබෙන බව මගේ ද අදහසයි. එසේ වුව ද එය සත්‍යය වන්නේ උතුරු සැකැස්මට අදාළව පමණක් නොව දකුණු සැකැස්මට අදාළව ද එය සත්‍යය වන බව ප‍්‍රකාශ කළ හැක. මෙහි දී අපගේ ප‍්‍රමුඛ අවධානයට යොමුවිය යුතු කරුණක් වන්නේ 19 වන ශතවර්ශයේ සිංහල-බෞද්ධ පුනර්ජීවනය ආරම්භ වී ව්‍යාප්ත වූ දකුණු හා බටහිර මුහුදුබඩ තීරුවේ සමාජ සංයුතිය දෙස බැලූ විට එහි ප‍්‍රධාන සංඝඨකයක් වන්නේ දකුණු ඉන්දියාවෙන් මෑත කාලයේ, විශේෂයෙන්ම 13 වන ශතවර්ෂයට පසු කාලයේ, සංක‍්‍රමණය වී දකුණු සමාජ සැකැස්මට අන්තර්ග‍්‍රහණය වූ ජනකොටස් බවයි.

මෙම සැකසුම් දෙක එකිනෙකින් වෙන්ව වර්ධනය වීම කෙරෙහි විශේෂ මැදිහත්වීමක් පෘතුගීසි සහ ලන්දේසි යටත් විජිත පාලකයින් යටතේ සිදු නොවීය. එසේ වුවත් බි‍්‍රතාන්‍ය පාලනය යටතේ මේ සැකසුම් දෙක අතර ඒකාබද්ධතාවයක් ඇතිකරන ආකාරයේ වර්ධනයන් රැසක් දක්නට ලැබුණි. කෝල්බෲක්-කැමරන් ප‍්‍රතිසංස්කරණ යෝජනා වල එක් අංගයක් වූයේ එතෙක් වෙන්ව පැවැති උතුරු සැකැස්ම, උඩරට රාජධානියට අයත්ව පැවැති ප‍්‍රදේශ සහ 16 වන ශතවර්ශයේ අග සිට යුරෝපා බලවතුන් යටතේ පැවැති මුහුදුබඩ ප‍්‍රදේශ පරිපාලන වශයෙන් ඒකාබද්ධ කිරීමයි. ආර්ථික වශයෙන්ද ඇතැම් ඒකාබද්ධකාරී ප‍්‍රවණතා වල වර්ධනයක් දක්නට ලැබුණි.

ඒසේ වුවද වෙනත් කාරණා කීපයක් නිසා සිංහල-බෞද්ධ හා දෙමළ යන වාර්ගික කණ්ඩායම් දෙක මුල්කරගෙන වාර්ගික දේශපාලන ව්‍යාපාර දෙකක් වර්ධනය වී ඒවා විශේෂයෙන්ම පශ්චාත් යටත් විජිත සමයේ ලංකාවේ දේශපාලනයේ ප‍්‍රමුඛ අංගයක් බවට පත්විය. එම විභේදනකාරී බලවේග වූයේ 19 වන ශතවර්ශයේ ඇති වූ වාර්ගික හා ආගමික සාමූහික අනන්‍යතා මුල්කරගත් සංස්කෘතික පුනර්ජීවන ව්‍යාපාර ඇතිවීම, එම පුනර්ජීවන ව්‍යාපාර ජාතිකවාදී දේශපාලන ව්‍යාපාර බවට පරිවර්තනය වීම, සහ බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලකයින්ගේ ද දිරිගැන්වීම යටතේ, ඒ වනවිට වර්ධනය වෙමින් පැවැති නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය වාර්ගික මුහුණුවරක් ගැනීමයි. මෙම අවසානයට සඳහන් කළ කාරණය බොහෝ විචාරකයින් විසින් බෙදාවෙන්කර පාලනය කිරීමේ යටත්විජිත උපක‍්‍රමයක් ලෙස හඳුන්වනු ලැබ ඇතත් එය හුදෙක්ම ඒක පාර්ශවීය ක‍්‍රියාවක් ලෙස හැඳින්වීම දුෂ්කරය.

හමාර කීම

මෙම ලිපි මාලාව තුළ සාකච්ඡාවට භාජනය කෙරුණේ උතුර හා දකුණ යන සමාජ සැකසුම් දෙක මුල් කරගෙන සිංහල-බෞද්ධ හා දෙමළ යන වාර්ගික දේශපාලන ප‍්‍රවණතා දෙක අතර ගැටුම තුළින් ඇතිවූ දේශපාලන ගැටලූවයි. එය ඇත්ත වශයෙන්ම අපක්ෂපාතී සාකච්ඡාවක් නොවූ බව කිව යුතුය. මක්නිසා ද යත් ඒ තුළ දෙමළ ජාතිකවාදී දේශපාලන ඉල්ලීම් සම්බන්ධව සානුකම්පිත ආකල්පයකුත් සිංහල-බෞද්ධ ජාතිකවාදී දේශපාලනය පිළිබඳව නිෂේධාත්මක ආකල්පයකුත් ප‍්‍රකට කළ හෙයිනි. එසේ වූයේ දෙමළ ජාතිකවාදී දේශපාලන ඉල්ලීම් තුළ සිංහල-බෞද්ධකරණය වී ඇති රාජ්‍යය විසින් සෙසු ජනවර්ග මත පතිත කරනු ලබන වාර්ගික පීඩනයට එරෙහි අරගලය විමුක්තිකාමී විභවයක් ඇත්තේය යන මගේ ස්ථාවරය නිසාය. එසේම මෙහි දී වැඩි දුරටත් අවධාරණය කළ යුත්තේ මා දෙමළ ජාතිකවාදී ක‍්‍රියාමාර්ගය ලංකාවේ දෙමළ පීඩිතයින්ගේ විමුක්තිය උදෙසා ඇති විකල්ප මාවත ලෙස රෙකමදාරු කරන්නෙක් නොවන බවයි. යම් හෙයකින් දෙමළ ජාතිකවාදය අවසාන ජයග‍්‍රහණයක් ලබා ඊනියා දෙමළ නිජබිමේ වෙනම රාජ්‍යයක් ස්ථාපිත වුවහොත් එම රාජ්‍යය වාර්ගික වශයෙන් දෙමළ නොවිය යුතු අතර එහි පදනම විය යුත්තේ ඒ බිමේ ජීවත්වන සියළුම ජනයාගේ පුරවැසිභාවය විය යුතු බව මගේ අදහසයි.

මෙහිදී මා මූලික වශයෙන්ම උත්සාහ කලේ දෙමළ දේශපාලන ඉල්ලීම් වලට එරෙහිව සිංහල-බෞද්ධ ජාතිකවාදී කඳවුරෙන් ඉදිරිපත්වන මූලික විරෝධතාවන්ට ප‍්‍රතිචාර දැක්වීමටයි. එහි දී මගේ මූලික ඉලක්කය වූයේ මෙම කඳවුරේ වඩාත්ම ක‍්‍රියාශීලී බුද්ධිමතා වන ආචාර්ය නලින් ද සිල්වා ය. කෙසේ වෙතත් ඒ මහතා මගේ මැදිහත්වීම් බැරෑරුම් ලෙස භාරගැනීම සපුරාම ප‍්‍රතික්ෂේප කර ඇත. ඒ මහතාට අනුව මා ‘‘දෙමළාගේ ප‍්‍රශ්නය ගැන කතා කිරීමට ගොස් පඹගාලක පැටලී ඇත.’’ මගේ අදහස වන්නේ එය කිසිසේත්ම පිළිගත හැකි ප‍්‍රතිචාරයක් නොවන බවයි. අඩු තරමින් මා පඹගාලක පැටලී ඇති ආකාරය උදාහරණයක් දෙකක් ආශ‍්‍රයෙන් හෝ පැහැදිළි කිරීමට ඒ මහතාට හැකිවිය යුතුය. මා සිතන ආකාරයට ඒ මහතාට එසේ කිරීමට නොහැක්කේ මේ ලිපි මාලාව මගින් ඒ මහතා ගේ කතිකාවේ මූලික රාමුවම ප‍්‍රශ්න කර තිබෙන හෙයිනි. මේ ලිපිවලට විධිමත්ව ප‍්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් වුවහොත් ඒ මහතාට තමා විසින්ම නිර්මාණය කරගනු ලැබ ඇති කතිකාවෙන් පිටතට පැමිණීමට සිදුවනු ඇත. දැනට ඒ මහතා කරන්නේ තමා විසින්ම නිර්මාණය කරගත් කතිකාවේ රැකවරණ වලට මුවාවී අන්‍යයන්ට අභියෝග කිරීම පමණි.

කෙසේ වෙතත් මේ ලිපිවලට ප‍්‍රතිචාර දැක්වීමට නලින් ද සිල්වාගේ අදහස් ගරුකරන ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ කි‍්‍රයාකාරී පිරිසක් ඉදිරිපත් විය. ඔවුන්ගේ ප‍්‍රතිචාර මට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වූ බව පිළිගන්නා අතරම වැඩි දුරටත් ප‍්‍රකාශ කිරීමට කැමැත්තේ මගේ ලිපිවල අඩංගු දෑට මූලික අභියෝගයක් ඔවුන් වෙතින් නොපැමිණි බවයි. නමුත් ඒම ප‍්‍රතිචාරකයින්ගේ අදහස වූයේ මා ඔවුන්ගේ ප‍්‍රශ්න වලට පිළිතුරු දීම හිතාමතාම මග අරින බවයි. ඊට හේතුව ලෙස ඔවුන් සිතා සිටින බව පෙනෙන්නේ මට ඒවාට පිළිතුරු නොමැති වීමයි. කෙසේ වෙතත් මා ඔවුන් විසින් මතුකරනු ලැබූ යම් යම් ප‍්‍රතිතර්ක වලට ප‍්‍රතිචාර දැක්වීම දැනටමත් වෙනම ලිපි මාලාවක් හරහා ආරම්භ කරනු ලැබ ඇත. එසේ වුව ද එම ප‍්‍රතිචාරකයින් මේ වනවිට මේ පිළිබඳ වූ ෆේස්බුක් සාකච්ඡාවෙන් උපක‍්‍රමිකව මඟහැර ගොස් ඇත. ඊට හේතුව ලෙස ඉදිරිපත්කරනු ලැබ ඇත්තේ එය එතරම් ප‍්‍රයෝජනයක් නැති බුද්ධිමය ව්‍යායාමයක් බවට පත්වී ඇති බවයි.

කෙසේ වෙතත් සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ගේ කඳවුර පැත්තෙන් මෙවැනි ප‍්‍රතිචාරයක් පැමිණීම තේරුම් ගත හැක්කකි. මක් නිසා ද යත් දෙමළ ජනයාගේ ප‍්‍රශ්නයට අදාළව දැනට සිංහල-බෞද්ධ ජාතිකවාදී කඳවුර වෙතින් ඉදිරිපත්වී ඇති ප‍්‍රබලම කතිකාව වන නලින් ද සිල්වා ගේ කතිකාවට විවේචනාත්මකව ප‍්‍රති-කතිකාවක් ඇතිවීම සහ එම ප‍්‍රති-කතිකාව පිළිබඳව සිංහල-බෞද්ධ ජාතිකවාදී කඳවුරට ආකර්ශනය වන පිරිස් අතරමත් දැනුවත්භාවයක් ඇතිවීම දේශපාලන අභියෝගයක් ලෙස ඔවුන් විසින් භාරගනු ලැබීම බෙහෙවින්ම තේරුම් ගත හැකි බැවිනි. එවැනි ප‍්‍රති-කතිකාවක් සමඟ සංවාදශීලී මැදිහත්වීමකට යාම එම ප‍්‍රති-කතිකාව පෝෂණය කරන්නක් වියහැකි බව කාටත් වඩා හොඳින් නලින් ද සිල්වා මහතා දනී.

කෙසේ වෙතත් මෙම ලිපිපෙළ මේ කොටසින් නිමාවට පත් වුවද මෙ මැදිහත් වීම දිගටම කිරීමට මම බලාපොරොත්තු වෙමි. විශේෂයෙන්ම මේ ලිපිපෙළට අදාළව ජාතික චින්තන ෆේස්බුක් කණ්ඩායමේ ප‍්‍රතිචාරකයින් විසින් නගන ලද සියලූම ප‍්‍රති තර්ක වලට පාහේ ප‍්‍රතිචාර දැක්වීමට මම බලාපොරොත්තු වෙමි. ඒසේම මේ ප‍්‍රශ්නය සම්බන්ධව නලින් ද සිල්වා ගේ කඳවුරෙන් ඉදිරිපත්වන ප‍්‍රතිචාර වැඩිදුරටත් ප‍්‍රශ්නොත්තර ආකෘතියෙන් සාකච්ඡා  කෙරෙන කෘතියක් ද සම්පාදනය කරමින් සිටිමි. ඒ සියළුම මැදිහත්වීම් මූලික වශයෙන්ම මෙම බ්ලොග් අඩවියෙන්ද ෆේස්බුක් හරහාද කියවීමට පුළුවන. එසේම මේ කතිකාව පෝෂණය කිරීමට බුද්ධිමය වශයෙන් බැරෑරුම් දායකත්වයක් කරන ලෙස ද දෙමළාගේ ප‍්‍රශ්නය පිළිබඳව මා යෝජනා කරන ප‍්‍රවේශය අනුමත කරන ක‍්‍රියාධරයන්ගෙන් ඉල්ලා සිටිමි.

අවසාන වශයෙන් මට කීමට කැමැත්තේ දෙමළාගේ ප‍්‍රශ්නය වනාහී සුවිශේෂී ප‍්‍රශ්නයක් නොව ඉතාම පොදු ප‍්‍රශ්නයක් බවයි. පළමු අදියරේදී එය දෙමළා පිළිබඳ ප‍්‍රශ්නයක් වන අතර ඊලඟ අදියරේදී එය සියළු වාර්ගික හා ආගමික සුළුතරයන් පිළිබඳ ප‍්‍රශ්නයකි. ඊළඟට එය බලය ඇති හා බලයට සාපේක්ෂ වශයෙන් ඉහළ ප‍්‍රවේශ හැකියාවක් ඇති පිරිස් සහ බලය නැති හා බලයට සාපේක්ෂ වශයෙන් අඩු ප‍්‍රවේශ හැකියාවක් ඇති පිරිස් පිළිබඳ ප‍්‍රශ්නයකි. අවසාන විග‍්‍රහයේ දී ගත් කළ එය අප අනෙකාට සලකන්නේ කෙසේද යන්න පිළිබඳ ප‍්‍රශ්නයම වේ. ඒ නයින් ගත්කළ එය සිංහලයාගේ ප‍්‍රශ්නයයි.

අවසානයි

නිර්මාල් රංජිත් දේවසිරි

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය -15 (අවසාන කොටස)

  1. Nalin පවසයි:

    දැන් එතකොට මොකක්ද ප්‍රශ්නෙ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )