දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – 14 කොටස

දිවයිනේ දීර්ඝ දේශපාලන එකීයත්වය පිළිබඳ මිත්‍යා ප‍්‍රබන්ධය

Divide90pxlදිවයිනේ දේශපාලන එක්සත්භාවය පිළිබඳ අදහස දෙමළ ජාතිකවාදී දේශපාලන ඉල්ලීම් නිශ්ප‍්‍රභා කිරීම පිණිස ඉදිරිපත් කෙරෙන ප‍්‍රධාන තර්කයක් වේ. මෙම තර්කය සත්‍යයක් වුව ද එය දෙමළ ජාතිකවාදී ඉල්ලීම් නිශ්ප‍්‍රභා කිරීමට හේතුවක් ලෙස භාරගැනීමට ඇති නොහැකියාව නොතකා, මෙම අදහස විශ්වසනීය ඓතිහාසික සාධක අනුව ගත්කළ ඉතාම ප‍්‍රශ්නකාරී අදහසක් බව මගේ යෝජනාවයි. මෙම අදහස තහවුරු කිරීම සඳහා භාවිත කරන්නේ මහාවංශයේ එන එය රචිත කාලයට බෙහෙවින් පෙර කාලයකට අදාළව එන තොරතුරුය. මේ තුළ බොහෝ විට නියෝජනය වන්නේ මහාවංශය සම්පාදනය කරන ලද වකවානුවේ පාලක දෘෂ්ටිවාදයයි. මෙම පාලක දෘෂ්ටිවාදයට ඔබ්බෙන් පවතින තොරතුරු ආශ‍්‍රයෙන් බැලූවොත් අපට මහාවංශය මගින් හෝ නවීන සිංහල-බෞද්ධ ජාතිකවාදී දෘෂ්ටිවාදය මගින් යෝජිත තත්වයට වඩා බෙහෙවින් වෙනස් යථාර්ථයක් පිළිබඳ තොරතුරු දක්නට ලැබේ.

මහාවංශය තුළින් නියෝජනය වන දේශපාලන දෘෂ්ටිවාදයේ එක් අංගයක් වන්නේ දිවයින එක් දේශපාලන ඒකකයක්ය යන අදහසයි. මෙය ‘ධම්මදීප’ යන දෘෂ්ටිවාදය සමඟ ද සම්බන්ධ වේ. වර්තමාන සිංහල-බෞද්ධ ජාතිකවාදීන් සිය දේශපාලන දැක්ම සාධාරණීකරණය සඳහා භාවිත කරනනේ මෙම දෘෂ්ටිවාදී සංකල්පයයි. කෙසේ වෙතත් මෙම දෘෂ්ටිවාදය හා ඇත්ත වශයෙන් පැවැති තත්වය අතර දැඩි පරස්පරයක් තිබිණි. මෙම පරස්පරය ආකාර දෙකකින් හඳුනාගැනීමට පුළුවන.

එක් අතකින් මෙම දෘෂ්ටිවාදය මගින් මුළු මහත් දිවයිනම එක් දේශපාලන ඒකකයක් ලෙස පරිකල්පනය කරනු ලැබුවත් එය සාක්ෂාත් වීම රඳා පැවැතියේ ප‍්‍රධාන වශයෙන්ම ව්‍යවහාර වර්ෂයට පෙර දෙවන ශතවර්ශයේ දී පමණ බලවත්ම රාජධානිය ලෙස නැගී ආ අනුරාධපුරයේ රජුන්ට එතැන් පටන් දිවයින තුළ තම බල ව්‍යාප්තියට ප‍්‍රධාන අභියෝගය වූ රෝහණ රාජධානිය මත ආධිපත්‍යය පැතිරවීමට පැවැති භෞතික හැකියාව මත පමණි. ව්‍යවහාර වර්ෂයෙන් දෙවන සියවසට පෙර දේශපාලන යථාර්ථයේ ප‍්‍රධාන ලක්ෂනය වූයේ එකිනෙකින් ස්වාධීන දෙටුබල ප‍්‍රදේශ (chiefdoms) ගණනාවක් පැවැතීමයි. රණවීර ලෙස්ලි ගුණවර්ධන හා හඟුරන්කෙත ධීරානන්ද හිමි යන මහාචාර්යවරු මේ සම්බන්ධව අධ්‍යයනය කරනු ලැබ ඇත. මිත්‍යා ප‍්‍රබන්ධිත දුටුගැමුණු-එළාර යුද්ධය මගින් නිරූපනය වන්නේ මේ දෙටුබල ප‍්‍රදේශ අතරින් සෙසු ඒවා අභිබවා වර්ධනය වූ අනුරාධපුරය හා රෝහණය අතර ගැටුම බව පෙනේ. කෙසේ වෙතත් රෝහණය දිගින් දිගටම වෙනම දේශපාලන ඒකකයක් ලෙස පැවැතීමේ නැඹුරුවක් පැවැතිණි.

අනෙක් අතට ඉහත සඳහන් කළ දිවයිනේ ඒකත්වය පිළිබඳ දෘෂ්ටිවාදය සාමාන්‍ය ජනයාගේ දේශපාලන විඥානය කෙරේ එතරම් බලපෑමක් කළ බවක් නොපෙනේ. මෙම තත්වය ආකාර දෙකකට විස්තර කළ හැක. එක් අතකින් මෙම තත්වය රජරට ශිෂ්ටාචාරයේ සකස්වීමට මං පෑදු ජනාවාස සකස්වීමේ රටාව හා සම්බන්ධ ය. මෙම ජනාවාස වීමේ කි‍්‍රයාවලිය එක් පොදු අනන්‍යතාවයක් සහිත ප‍්‍රජාවක් කෙටි කාලීනව බිහිකෙරෙන ආකාරයේ එකක් නොවීය. මෙම ජන සැකැස්මේ විභේදනකාරී නැමියාවන් දෙකක් දක්නට ලැබිණි. එකක් නම් අළුතින් පැමිණි උතුරු ඉන්දීය සංක‍්‍රමණිකයින් සහ ඔවුන් පැමිණීමට පෙර සිටි ජනයා අතර විභේදනයයි. අනෙක් විභේදනය නම් විවිධ උතුරු ඉන්දීය සංක‍්‍රමණික කණ්ඩායම් අතර පැවැති දුරස්තභාවයයි. වෙන වෙනම ජනපද පිහිටුවාගෙන සකස් වූ මෙම ඊනියා ආර්ය ජනපදකරණය විසින් වංශකතාවල එන තොරතුරු අර්ථකථනය කිරීමෙන් නූතන සිංහල-බෞද්ධ ජාතිකවාදීන් යොජනා කරන ආකාරයට එක් අනන්‍යතා සමූහයක් එක්වරම නිර්මාණය වූවා යැයි සිතීම පවා දුෂ්කරය. අනෙක් විභේදනකාරී නැමියාව වූයේ භූගෝලීය දුරස්ථභාවයයි. එම දුරස්ථභාවය තුළ, විශේෂයෙන්ම, ඒකාබද්ධ දේශපාලන විඥානයක් සඳහා ඇතිකරන පෙළඹවීම එතරම් ප‍්‍රබල එකක් නොවේ. මෙම ජනාවාස රටාව, දුටුගැමුණු-එළාර යුද්ධයට පෙර පැවැති, ඉහත සඳහන් කළ ආකාරයට ලෙස්ලි ගුණවර්ධන හා හඟුරන්කෙත ධීරානන්ද හිමි යන විද්වතුන් විසින් අධ්‍යයනය කරනු ලැබ ඇති ස්වායත්ත දෙටුබල ප‍්‍රදේශවලින් සමන්විත දේශපාලන යථාර්තයට බෙහෙවින්ම සමීප ය.

කෙසේ වෙතත් මෙම විභේද්‍යකාරී නැමියාවන් අතරේ වැදගත් ඒකාබද්ධකාරී සංඝඨක කීපයක් ද දක්නට ලැබුණි. ඒවායින් වැදගත් දෙකක් නම් බුදු දහම හා සිංහල භාෂාවයි. මෙම සංඝඨක දෙක රජරට ශිෂ්ටාචාරයේ හෙජමොනික සැකැස්ම දරා සිටි ප‍්‍රධාන භෞතික කුළුණු දෙකක් ලෙස සැලකිය හැකිය. පාලකයින්ගේ අනුග‍්‍රහය යටතේ වර්ධනය වූ බෞද්ධ භික්ෂුන්ට අඩු කරමින් ජනගහනයෙන් බහුතරයකගේ ආගමික ජීවිතය මත බලපෑම් කිරීමේ හැකියාව පැවැති බව පෙනේ. මෙම ආගමික ප‍්‍රජාව දිවයින පුරාම විසිරී සිටියේය. විශේෂයෙන්ම මෙම ලිපිමාලාව තුළ විශේෂ අවධානයට ලක්වන උතුරු ප‍්‍රදේශය තුළ පවා බුදු දහම ජනයාගේ ආගමික ජීවිතයේ වැදගත් සංඝඨකයක් වූ බව සාහිත්‍ය මෙන්ම පුරාවිද්‍යාත්මක තොරතුරු වලින් ද පැහැදිළිව පෙනේ. සිංහල (වඩාත් නිවැරදිව කියනවානමු පසුව සිංහල බවට පත්වූ) භාෂාවේ භූගෝලීය ව්‍යාප්තිය පිළිබඳ තත්වය නම් බුදු දහමේ භූගෝලීය ව්‍යාප්තිය තරම් පැහැදිළි නැත. පැහැදිළි එක් දෙයක් වන්නේ මෙය අධිපති භාෂාව ලෙස, ජනයා එදිනෙදා භාවිතකළ භාෂා ඉක්මවා කි‍්‍රයාත්මක වූ බවයි. ඒ හරියට යටත් විජිත තත්වයක් යටතේ යටත් විජිත පාලකයාගේ භාෂාවට ලැබුණු අධිපති තත්වය මෙනි. කෙසේ වෙතත් නිර්ප‍්‍රභූ ජනයාගේ භාෂා ව්‍යවහාරයේ විවිධත්වය පිළිබඳව අපට එතරම් තොරතුරු නොමැති නිසා මේ සම්බන්ධව වැඩි දුර නිගමන වලට ඒම අපහසුය.

මේ සම්බන්දයෙන් අපට මෙහි දී වඩාත්ම වැදගත් වන කාරණය වන්නේ දිවයිනේ දේශපාලන එක්සත්භාවය යන්න එවකට බලපැවැත්වූ මූලික දේශපාලන ප‍්‍රතිමානයක් ලෙස සැලකිය හැකි ද යන්නයි. සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ප‍්‍රකාශකයින් එලෙස සලකන බව පෙනේ. මෙහිදී අපට කිසියම් දෘෂ්ටිවාදීමය ස්ථාවරයක් ප‍්‍රතිමානයක් බවට පත්වන්නේ කෙසේද යන්න සලකා බැලිය යුතුව ඇත. එසේ වීමට නම් එම දෘෂ්ටිවාදී ස්ථාවරයට පුළුල් සමාජ පිළිගැනීමක් ලැබිය යුතුය. එවැන්නක් තිබූ බව පිළිගැනීමට පදනමක් ඇත්තේ නැත. අඩුම තරමින් එය එසේ නොවී යැයි අනුමාන කිරීමට තිබෙන ප‍්‍රධාන සාධකය වන්නේ රෝහණ ප‍්‍රදේශය තුළ බොහෝ විට වෙනම පාලනයක් පවත්වාගෙන යැමට තිබූ නැඹුරුවයි. 12 වන ශතවර්ශයේදී පරාක‍්‍රමබාහුට පොළොන්නරුව අත්පත් කරගැනීමට හැකියාව ලැබුනේ ඉතා දීර්ඝ මිලිටරි ප‍්‍රයාණයකින් බව මෙහිදී මතක තබාගත යුතුය. මේ අනුව මගේ යෝජනාව වන්නේ මෙ කළ දිවයිනේ එක්සත්භාවය පිළිබඳ අදහස හුදෙක් නූතන ජාතිකවාදයේ මනඃසෘෂ්ටිමය ප්‍රාර්ථනාවකට වඩා වැඩි දෙයක් නොවූ බවයි. කෙසේ වෙතත් මෙහිදී අවධාරණය කළ යුතු තවත් දෙයක් වන්නේ වර්තමාන සිංහල හා දෙමළ අනන්‍යතා කණ්ඩායම්වල දක්නට ලැබෙන පරස්පර දේශපාලන අභිලාෂවල මූල බීජ ලෙස සැලකිය හැකි කිසිවක් මේ කාලය තුළ හඳුනාගත නොහැකි බවයි.

අවසානයට කී කරුණ සම්බන්ධයෙන් ගත්කළ වැදගත් වර්ධනයක් වන්නේ 13 වන ශතවර්ශයේ දී සිදුවන රජරට ශිෂ්ටාචාරයේ බිඳවැටීමයි. මේ බිඳවැටීමේ එක් දිගුකල් පවත්නා ප‍්‍රතිඵලයක් වන්නේ වර්තමාන උතුරු-දකුණු විභේදනයේ මූලික රාමුව ඒ මගින් බිහිවීමයි. එය සිදු වූයේ මෙසේය: 13 වන ශතවර්ශයේ සිදුවන කාලිංග මාඝ ගේ ආක‍්‍රමණය මගින් උච්චාවස්ථාවට පත්වන පොළොන්නරුවේ දේශපාලන අර්බුදයේ එක් පැතිකඩක් වන්නේ රජරට ශිෂ්ටාචාරයේ පදනම වන්නා වූ මහා පරිමාණ වාරිපද්ධතියේ පැවැත්ම අභියෝගයට ලක්වීමයි. මෙහි ප‍්‍රතිඵලය වන්නේ රජරට ශිෂ්ටාචාරයේ කේන්ද්‍රය බිඳ වැටීමයි. ඉන්පසු මේ ප‍්‍රදේශය තුළ ඉතිරිවන්නේ කුඩා වැව් වලින් ජලය ලබාගෙන වගාකළ හුදෙකලා ජනාවාස රැසක් සහ එම හුදෙකලා ජනාවාස පදනම් කරගෙන බිහිවන වන්නිවරු හෝ වන්නියාර්වරු යන නම් වලින් හැඳින්වෙන දෙටුබල ප‍්‍රධානීන් පිරිසකුත්ය. ප‍්‍රධාන වශයෙන් වනගහනයෙන් යුත් මේ ප‍්‍රදේශය දෙපස නාගරික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගත් සමාජ සැකසුම් දෙකක් විකාශය වීම දක්නට ලැබේ. එක් සැකැස්මක් යාපනය කේන්ද්‍ර කරගත් ආර්යචක‍්‍රවර්තී වරුන්ගේ බල ආධිපත්‍යය යටතේ විකාශය වන අතර අනෙක් සැකැස්ම දේශපාලන, ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථාන කීපයක් මුල්කරගෙන දකුණු ප‍්‍රදේශයේ විකාශය විය.

මේ සැකසුම් දෙක මූලික වශයෙන් භූගෝලීය වශයෙන් එකිනෙකින් දුරස්ථව වගේම එකිනෙකට වෙනස් භාෂා කතාකරන භාෂක ප‍්‍රජාවන් (linguistic communities) ලෙස විකාශය වූ බව අවධාරණය කිරීම වැදගත්ය. මේ සැකසුම් දෙක අපි උතුරු සැකැස්ම හා දකුණු සැකැස්ම ලෙස හඳුන්වමු. දිගුකාලීන වශයෙන් ගත්කළ මෙම සැකසුම් දෙකේ ආරම්භය තුළ ඇතිවූ ප‍්‍රතිඵලය යුරෝපා ජාතික රාජ්‍ය ක‍්‍රමයේ සකස්වීම තුළ 1648 දී වෙස්ට්ෆේලියා සම්මුතියෙන් ඇතිකරගත් සෙසු රාජ්‍යයන්හී දේශසීමාලට ගරුකිරීමේ ක‍්‍රමය නිසා ඇතිවූ ප‍්‍රතිඵලයට සමාන වේ. යුරෝපා ජාතික රාජ්‍ය ක‍්‍රමයේ මඋලික රාමුව සකස් වන්නේ මේ සම්මුතියට පසුව වර්ධනය වන දේශපාලන යථාර්ථය තුළය.

ඇත්ත වශයෙන්ම මෙම විකාශය තුළ දකුණු සැකැස්මට එහි සිංහල අංග ලක්ෂණ ආරක්ෂාකර ගැනීම පැත්තෙන් ගත්කළ පැවැතියේ බෙහෙවින් අවාසිදායක කොන්දේසි මාලාවකි. ඓතිහාසික වශයෙන් විරුද්ධාභාසයක් වන්නේ දකුණු ඉන්දීය හෝ ඉස්ලාම් අංගලක්ෂණ වල ආධිපත්‍යය විසින් මෙම සිංහල ලක්ෂණ විස්ථාපනය කරණු ලැබීමට තිබූ ඉඩකඩ ඇහිරී ගියේ පෘතුගීසි ආගමනය සමඟ ආරම්භ වූ යුරෝපා මැදිහත්වීම නිසා යැයි කිව හැක. යුරෝපා බලවතුන් විසින් මුහුදු ගමනාගමනය හැසිරවීම සමඟ දිවයින සහ මහාද්වීපය අතර පැවැති නිදහස් ජනසංක‍්‍රමණය පමණක් නොව නිදහස් සංස්කෘතික සහ ආර්ථික සබඳතා ද මුලික වශයෙන් ඇණ හිටියේය. 18 වන ශතවර්ශයේ උඩරට ඇතිවූ බෞද්ධ පුනර්ජීවනය බලවත් සංස්කෘතික ව්‍යාපාරයක් බවට පත්වූයේ යුරෝපීය බලවතුන්ගේ සාගර කි‍්‍රයාකාරකම් නිසා දකුණේ සැකැස්මට ලැබුණු මේ සංස්කෘතික සුරක්ෂිතතාවය නිසාය.

නලින් ද සිල්වා ලංකාවේ දෙමළ ජනයාගේ ඉතිහාසයට අදාළව ඉදිරිපත්කරන අතිශයින් ගැටලූ සහගත අදහස් කීපයක් මෙහිදී සලකා බැලීම වැදගත්ය. ඔහුට අනුව උතුරේ වර්තමාන දෙමළ ජනගහනය මූලික වශයෙන්ම සමන්විත වී ඇත්තේ ලංදේසීන් විසින් ලංකාවට ගෙනැවිත් පදිංචි කරවනු ලැබූ දකුණු ඉන්දීය වහලූන්ගෙනි. ඒ අතරම ඒ වනවිට උතුරේ පදිංචිව සිටි සිංහල ජනයා දෙමළකරණයට ලක් කරණු ලැබූ බවද ඔහු පවසයි. මේ පිළිබඳව දීර්ඝ ලෙස කතාකිරීමට මෙහි දී අවකාශ නැතත් මේ පිළිබඳ නිරීක්ෂණ කීපයක් ඉදිරිපත් කළ හැක.

ඇත්ත වශයෙන්ම දකුණු ඉන්දියාවෙන් ජනයා ගෙනැවිත් දිවයිනේ පදිංචි කරවීම ලංදේසීන් විසින් 18 වන ශතවර්ශයේදී පුළුල් වශයෙන් අනුගමනය කරනු ලැබූ ක‍්‍රියාමාර්ගයකි. උතුරේ පමණක් නොව දෙවෙනි රාජසිංහ සමඟ පැවැති දීර්ඝ යුධ ව්‍යාපාරය නිසා ඇති වූ දැඩි ශ‍්‍රම හිඟයට පිළියමක් ලෙස දකුණු සැකැස්මට ද ජනයා දකුණු ඉන්දියාවේ වහල් වෙළඳ පොළෙන් ලෙන එනු ලැබීය. මෙම ඊනියා වහලූන් කොතරම් දුරකට උතුරු සැකැස්මේ ජනසංයුතිය කෙරෙහි බලපෑමක් කළේ ද යන්න ගැන ප‍්‍රමාණවත් අධ්‍යයනයන් කෙරී ඇති බවක් අඩු වශයෙන් මම නොදනිමි.

කෙසේ වෙතත් මගේ යොජනාව වන්නේ යුරෝපා යටත් විජිත මැදිහත් වීම සිදුවන විට වර්තමාන වාර්ගික විභේදනයට මූලික වශයෙන් බලපෑ උතුරු දකුණු සමාජ දුරස්ථ භාවය ඇති වී අවසන් බවයි.

නිර්මාල් රංජිත් දේවසිරි

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – 14 කොටස

  1. Lakshman Piyasena පවසයි:

    බුද්ධාගම හා සිංහල භාෂාව අධිපති වී යැයි අප පිළිගත්තත් ඇත්තටම අධිපති වන්නේ භික්ෂුව හා පාලි භාෂාවයි. පාලියෙන් ලියන මහා වංශය ඇතලු ලිඛිත දේ බුද්ධඝෝෂ මෙහි පැමිණ කරන ”පාලි මෙහෙයුමේ”” ප්‍රතිපල ය. එතැන් පටන් ලංකාවේ සිංහල භාෂාව හා (හෝ ජාතිය) බුද්ධාගම සම්බන්ධව ඇත්තේ අවුලකි. එතැන්පටන් ඉතිහාස කතාව අවුලකි. මේ අවුලට මැදිවන සිංහලයා දෙමලාව හෝ අනෙකාව අවුලක් කර ගනී. කොහොම වුණත් දොලොස් වැනි සියවසේ පමණ සිට වාර්ගික විභේදනයක් දකින්නට ඇති බව ඇත්තකි. දෙමළාට එරෙහිව සිංහල හා බුද්ධාගම පෙරට ගත්තේ දොලොස්වැනි සියවසේ සිට ලංකාවට එන, මෙහෙ ඇවිත් සිංහල හා බෙවුද්ධ වන දකුණු ඉන්දීය ජනයා බව මෙහිදී අමතක නොකළ යුතුය. දෙමළාව පමණක් නොව තමන්ගේම අනෙකාව පවා නොඉවසන කුහක සංස්කෘතිය ලංකාවේ පැලපදියම් වන්නේ දොලොස්වැනි සියවසට පසුව බවද කියා විමසිය යුතුය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )