දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – 13 කොටස

දෙමළාගේ ප‍්‍රශ්නය සහ සිංහලයාගේ ඓතිහාසික උරුමය

catherine-christie-abstract-artist-painting-circles-abstract-art-interpretation

සිංහල-බෞද්ධ ජාතිකවාදී දෘෂ්ටිවාදය තුළ දිවයින සඳහා වූ සිංහල-බෞද්ධයාට ඇති අයිතියේ ඓතිහාසික පදනම ස්ථාපිත කිරීමට කරුණු කීපයක් ඉදිරිපත් කරයි. ඒවා මෙසේ ය:

  • වාර්ගික විඥානයක් සහිත ජන කණ්ඩායමක් ලෙස සිංහලයා අනාදිමත් කාලයක් තිස්සේ දිවයින තුළ ස්ථාපිත වී තිබීම.

  • සහශ‍්‍රක දෙකකට අධික කාලයක් තිස්සේ (සිංහල රජුන් යටතේ) දිවයින එක්සේසත් රාජ්‍යයක් ලෙස පැවැතී තිබීම.

  • දෙමළ ජනයාට මේ දිවයින තුළ වෙනම ජන කණ්ඩායමක් ලෙස දීර්ඝ සහ අඛණ්ඩ ඓතිහාසික පැවැත්මක් නොතිබීම.

අපි මෙම කරුණු එකිනෙක වෙන වෙනම සලකා බලමු:

වාර්ගික විඥානයක් සහිත ජන කණ්ඩායමක් ලෙස සිංහලයා ගේ ඉතිහාසය

මෙය අතීශය විස්තරාත්මකව හා තියුණු ලෙස ශාස්ත‍්‍රඥයින් අතර සාකච්ඡාවට භාජනය වී ඇති ගැටලූවකි. මෙම සාකච්ඡාවට සංකල්පීය තලයක් මෙන්ම අනුභූතික තලයක් ද තිබේ. සංකල්පීය තලයේ දී සාකච්ඡාවට ලක් වූ ගැටලූව වූයේ ජනවර්ගයන්ගේ ඓතිහාසිකත්වය තේරුම් ගන්නේ කෙසේ ද යන්නයි. මීට අදාළව ප‍්‍රධාන ගුරුකුල දෙකක් පවතී. එනම් නවීනවාදී (modernist) හා පෞරාණිකවාදී (primordialist) ලෙසයි. නවීනවාදී ගුරුකුලයේ අරමුණ වූයේ නූතන ශිෂ්ටාචාරයේ ප‍්‍රතිඵලයක් ලෙස ඇති වූ විවිධ වෙනස්කම් ආශ‍්‍රයෙන් ජාතීන්ගේ සම්භවය පැහැදිළි කිරීමයි. පෞරාණිකවාදීන්ගේ අරමුණ වූයේ සාමූහික අනන්‍යතා සඳහා වූ ආවේණික මනුෂ්‍ය නැඹුරුව ආශ‍්‍රයෙන් මෙය පැහැදිළි කිරීමටයි. සාමාන්‍යයෙන් මෙම විග‍්‍රහ ක‍්‍රම දෙක එකිනෙකා බැහැර කෙරෙන සුළු ඒවා ලෙස පැවැතියද අපට මේ ප‍්‍රවේශ දෙකම අපගේ සාකච්ඡාව සඳහා භාවිත කිරීමට පුළුවන.

මෙම සංකල්පීය ගැටලූව පසුබිමේ තබාගෙන අපි අපේ අනුභූතික ගැටලූවට, එනම් වාර්ගික විඥානයක් සහිත ජන කණ්ඩායමක් ලෙස සිංහලයා ගේ ඉතිහාසය පිළිබඳ ගැටලූවට, යොමුවෙමු. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට අපට මුළින්ම මූලික කරුණු කීපයක් අවධාරණය කිරීමට පුළුවන. ලංකාවේ දැනට ඉතිරිවී ඇති පැරණිම වංශකතාව වන ව්‍යවහාර වර්ෂ හතරවන හෝ පස්වන ශතවර්ශවල සම්පාදිත දීපවංශයේ ‘සිංහල’ යන පදය ජනකොටසක් හඳුන්වා දීම සඳහා භාවිත කර ඇත. එසේම ඊට පෙර ද එය භාවිත වී ඇති බවට ඉන්දීය හා චීන තොරතුරු මූලාශ‍්‍ර දක්නට ලැබේ.

කෙසේ වෙතත් මේ සාකච්ඡාවට අදාළව අප නොදන්නා තොරතුරු ද රැසක් තිබේ. ඒවා සමහරක් මෙසේය: සිංහල නමින් හඳුන්වනු ලැබූ මෙම ජනකොටස මේ දිවයින තුළ මුලින්ම පහළ වූයේ කිනම් කාලයකද, මේ දිවයිනේ ජීවත් වූ සමස්ත ජනයාගෙන් කොයිතරම් ප‍්‍රමාණයක් මෙම සිංහල යන නාමකරණය තුළට ඇතුල්කරගත්තේ ද, සිංහල යන නාමකරණය තුළට මේ දිවයිනේ ජනයා ඇතුල්කර ගැනීමේ හා එයින් ඊට අයත් නොවන ජනයා බැහැර කිරීමේ ක‍්‍රියාවලිය කවරාකාර වී ද, මෙම නාමකරණය කොයිතරම් දුරකට එලෙස එම නාමකරණය තුළට ඇතුල් කරගනු ලැබූ ජනයාගේ ස්ව-විඥානයේ කොටසක් වී ද, එම නාමකරණය සහ ඊට අදාළ ස්ව-විඥානයක් තිබුනේ නම් එය පැවැති සමාජ දේශපාලන සැකැස්ම තුළ කවර නම් කාර්ය භාරයක් ඉෂ්ට කරනු ලැබුවේ ද?

මගේ දැනුමේ හැටියට නම් මේ ප‍්‍රශ්න වලට සංගත හා විශ්වසනීය පිළිතුරු මේ තාක් ඉදිරිපත් කරනු ලැබ නැත. රණවීර ලෙස්ලි ගුණවර්ධන මෙම දෙවෙනි ප‍්‍රශ්නයට පිළිතුරු සැපයීමට උත්සාහ දරනු ලැබ ඇතත් එය උත්සාහයට එතරම් පුළුල් පිළිගැනීමක් ලැබී නැත. ඊට අමතරව අපට දක්නට ඇත්තේ උපකල්පන මට්ටමේ පිළිතුරු පමණි. ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ ඉතිහාසකරණය තුළ මෙම ප‍්‍රශ්න බැරෑරුම් ලෙස මතුකරනු ලැබ ඇත්තේ හෝ නැත.

මෙම උපකල්පන මට්ටමේ පවතින පිළිතුරු මූලික වශයෙන් ඉදිරිපත්වී ඇත්තේ 19 වන ශතවර්ශයේ අග භාගයේ සිට ‘ජාතිකවාදයක්’ බවට වර්ධනය වූ සිංහල-බෞද්ධ සංස්කෘතික හා දේශපාලන විඥානයේ දෘෂ්ටිවාදී අවශ්‍යතා මුල් කරගෙනයි. මෙම සිංහල-බෞද්ධ ජාතිකවාදී දෘෂ්ටිවාදයට විශේෂයෙන්ම පසුගිය වසර හතලිහක පමණ කාලය තුළ දෙමළ ජාතිකවාදය වෙතින් පැමිණි අභියෝගය නිසා මෙම ප‍්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු සැපයීම අත්‍යාවශ්‍යය විය. කෙසේ වෙතත් එලෙස ඉදිරිපත් වී ඇති පිළිතුරු බෙහෙවින්ම දුර්වල මට්ටමක පවතී. ඒවා වලංගු පැහැදිළි කිරීම් ලෙස භාරගත හැක්කේ එසේ භාරගැනීම සඳහා දෘෂ්ටිවාදීමය සූදානමක් සහිතව ඒවා පරිහරණය කරන පිරිස්වලට පමණි. මේ සම්බන්ධයෙන් ගත් කළ කදිම නිදර්ශනයක් සපයන්නේ නලින් ද සිල්වාගේ පැහැදිළි කිරීම් ය. පසුගිය ලිපියේ පෙන්වා දී ඇති පරිදි එම පැහැදිළි කිරීම් බෙහෙවින් ගැටලූ සහගත ඒවාය.

මෙහි දී අපට මුලින්ම ඇසිය යුතු ප‍්‍රශ්නයක් වන්නේ ස්ව-අනන්‍යතාවයක් ලෙස හෝ අනෙකාගේ නාමකරණයක් ලෙස හෝ පැවැති සිංහල සාමූහික අනන්‍යතා ප‍්‍රවර්ගය තුළට ඇතුල් කරගැනුණු පිරිස හා ඉන් පිටත සිටි පිරිස් සම්බන්ධව අවබෝධයක් ලබා ගන්නේ කෙසේ ද යන්නයි. මෙය එතරම් පහසු කටයුත්තක් නොවේ. එසේ වුවත් වංශකතා සහ ඊට සමගාමීව ඇති වෙනත් තොරතුරු මූලාශ‍්‍ර වලින් අපට මේ සම්බන්ධව යම් අවබෝධයක් ඇතිකර ගැනීමට හැකියාව ඇත. මේ තොරතුරු මූලාශ‍්‍ර දෙස බැලූ කළ අපට විවිධ සමාජ කණ්ඩායම් අතර ගැටුම් පිළිබඳ වැදගත් තොරතුරු අභිමුඛ වේ. මෙහිදී ඉතාම වැදගත් වන්නේ උතුරු ඉන්දීය සංස්කෘතියක් සමඟ මේ දිවයිනට සංක‍්‍රමණය වූ ජනකොටසක් සහ දිවයිනේ දී ඒ පිරිස් වලට අභිමුඛ වූ ඒ වන විටත් මෙහි වාසය කළ ජනකොටස් අතර ගැටුමයි. අළුතින් පැමිණි ආධිපත්‍යධාරීන්ගේ කතිකාව තුළ මානුෂිකත්වය ප‍්‍රතික්ෂේප කරනු ලැබ යක්ෂයින් ලෙස වර්ගීකරණය කරන ලද පිරිස් සහ අළුතින් පැමිණි පිරිස් අතර පසමිතුරු භාවය මෙහි දී අපගේ විශේෂ අවධානයට යොමුවිය යුතුය.

ලංකාවේ වංශකතාවල එන ‘යක්ෂයින්’ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී අපට ඒ පිළිබඳ අර්ථකථන අන්ත දෙකක් හමුවේ. එක් අන්තයක් වන්නේ එසේ හැඳින්වෙන්නේ යක්ෂ නමින් වූ ගෝත‍්‍රික ජනකොටසක් බවයි. මේ පිළිගැනීම ප‍්‍රශ්න කරන ජී.සී. මෙන්ඩිස් යෝජනා කළේ යක්ෂයින් මෙන්ම නාගයින් ද පිළිබඳ වූ කතා මිනිසුන්ගේ පරිකල්පිත විශ්වාස වලට වඩා වැඩි දෙයක් ලෙස භාර ගැනීමට පදනමක් නොමැති බවයි. කෙසේ වෙතත් මගේ අදහස වන්නේ ඉන්දියානු සාහිත්‍යය තුළ, විශේෂයෙන්ම රාමායනය තුළ එන ‘රාක්ෂසයින්’ පිළිබඳව රොමිලා තාපාර් ගේ ප‍්‍රවේශය මෙහී දී අපට වඩාත් ප‍්‍රයෝජනවත් බවයි. ඇය යෝජනා කරන්නේ මෙම ‘රාක්ෂස’ යන නාමකරණය මගින් නියෝජනය වන්නේ ඊනියා ආර්යයන්ගේ සමාජයට පිටතින් සිටි ජනකොටස් අවමානුෂීකරණය සඳහා වූ ආර්යයන්ගේ අභිලාෂය බවයි.

ඒ අනුව යක්ෂ යන නාමකරණය අපට මූලික වශයෙන් සැලකිය හැක්කේ උතුරු ඉන්දීය සංක‍්‍රමණිකයින් විසින් ඔවුන් මේ දිවයිනට පැමිණෙන විට මෙහි සිටි ජනකොටසක් අවමානුෂීකරණයට දැරූ උත්සාහයේ මිත්‍යා ප‍්‍රබන්ධමය ප‍්‍රකාශනයක් ලෙසටයි. වංශකතාවන්හී කතිකාව දෙස බැලූ කල්හී මෙම අවමානුෂීකරණය කොට බැහැර කරනු ලැබීම ඉතාම හොඳින් පැහැදිළි වේ. රජරට රාජ්‍යය උච්ච ස්ථානයකට වර්ධනය වී තිබූ මහාවංශය රචනා වූ වකවානුවේ දී පවා උතුරු ඉන්දීය සම්භවයක් සහිත පිරිස සහ යක්ෂයින් ලෙස අවමානුෂීකරණය කොට බැහැරකරනු ලැබූ කොටස් ඇතර ගැටුම සමනය වී නොතිබූ බව එයින් පෙනේ.

අපගේ සාකච්ඡාවට මෙහි දී ඉතාම වැදගත් වන කරුණක් වන්නේ 1983 න් පසුව දෙමළ ජාතිකවාදයට ප‍්‍රතිපක්ෂව ගොඩනැගෙන සිංහල-බෞද්ධ ජාතිකවාදී කතිකාවේ නිර්මාතෘන්ට මුහුණ දීමට සිදුවූ උභතෝකෝටිකයක් වූයේ මහාවංශය තුළ පැහැදිළිවම නිරූපිත මෙම ගැටුම සිය ඉතිහාස ආඛ්‍යානය තුළ, සිය දේශපාලන අභිලාෂයන්ට පරස්පර නොවන ලෙස සමනය කොට ඉදිරිපත් කරන්නේ කෙසේ ද යන්නයි. ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ ඉතිහාසඥයින් සාමාන්‍ය වශයෙන් සිංහල ජාතිකවාදී නැඹුරුවක් ඇත්තවුන් වුව ද මෙවැනි සංවේදී ගැටලූවලට එම දෘෂ්ටිවාදයට තෘප්තිමත් විය හැකි මට්ටමේ පිළිතුරු සැපයීමට තරම් ජාතිකවාදී ඉතිහාස ව්‍යාපෘතියට කැප වූවෝ නොවූ හ. මේ නිසා විය යුතු පරිදිම මේ කාර්යය පැටවුනේ 1983 න් පසු වර්ධනය වූ සිංහල-බෞද්ධ ජාතිකවාදී ඉතිහාස කතිකාවේ පුරෝගාමී බුද්ධිමතුන්ටයි. ඒ අතරිනුත් මේ ගැටලූව විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවබෝධ කරගෙන ඒ සඳහා දැඩි අනුරාගයකින් කටයුතු කලේ මහාචාර්ය නලින් ද සිල්වා ය. එසේ වූයේ මෙම විවරය පැහැදිළි නොකොට තිබෙන්නට හැරීම දෙමළ ජාතිකවාදී දෘෂ්ටිවාදයට වාසිසහගත බව ඔහු හොඳින් තේරුම් ගත් නිසා බව පෙනේ. කෙසේ වෙතත් පසුගිය ලිපියෙන් පෙන්වා දී ඇති ආකාරයට ඔහු මේ ගැටලූව විසඳා ඇති ආකාරය අතිශයින් ගැටලූසහගත වේ.

අනුරාධපුරය මුල් කරගෙන ගොඩනැගෙන රාජ්‍ය සැකැස්ම එගි වාසයකළ ජනයාගේ වාර්ගිකත්වයට සාපේක්ෂව නම් කරන්නේ කෙසේ ද යන ගැටලූවද මේ සමඟම සම්බන්ධ වේ. මෙහි දී වැදගත්ම ගැටලූව වන්නේ වසර දහසකට වැඩි කාලයක් ආර්ථික, සමාජ හා සංස්කෘතික වශයෙන් ඉහල මට්ටමක පැවැති මෙම ශිෂ්ටාචාරයේ දීර්ඝ කාලයක් පැවැති සමාජ-දේශපාලන ඒකමිතිය පැහැදිළි කරන්නේ කෙසේ ද යන්නයි. සිංහල-බෞද්ධ ජාතිකවාදීන්ට නම් මෙය එතරම් දුශ්කර වූවක් නොවේ. ඔවුනට අනුව මෙම ඒකමිතියේ පදනම ‘සිංහල-බෞද්ධ ජාතික එක්සත්කමයි’. ඔවුහු මෙම ශිෂ්ටාචාරය එක හෙළාම ‘සිංහල-බෞද්ධ’ ශිෂ්ටාචාරයක් ලෙස හදුනා ගනිති. ඔවුනට අනුව ‘‘මේ රටේ බහුතරය සිංහල බෞද්ධය; රටේ ඉතිහාසය සිංහල බෞද්ධය; අනන්‍යතාවය සිංහල බෞද්ධය’’ (නලින් ද සිල්වා, 1996 අපේ‍්‍රල් 21 ඉරිදා දිවයින).

නමුත් ජාතිකවාදී කතිකාවට බැහැරව සිටින ශාස්ත‍්‍රඥයින්ට මෙය ගැටලූවකි. ගණනාත් ඔබේසේකර මේ ගැටලූව විසඳන ආකාරය මෙහි ලා ඉතාම වැදගත්ය. ඔහු ඒ සඳහා යෝජනා කරන පදය වන්නේ ‘බෞද්ධ කුමක් හෝ’ (Buddhist Whatever) යන පදයයි. මෙය ප‍්‍රමාණවත් නොවන පැහැදිළි කිරීමක් බව මගේ අදහසයි. මේ නිසා මා මේ සම්බන්ධව පහත දැක්වෙන පැහැදිළි කිරීම ඉදිරිපත් කරමි.

මෙහිදී මම හෙජමොනික පද්ධතිය (hegemonic system) යන සංකල්පය යොදා ගනිමි. හෙජමොනිය යන සංකල්පය භාවිත කරන්නේ කිසියම් කාල-අවකාශ සැකැස්මක සිටින විවිධ, සහ සමහරවිට ප‍්‍රතිවිරුද්ධ අභිලාෂ සහිත, ජන කණ්ඩායම් කිසියම් නිෂ්චිත බල-ආධිපත්‍යයක් වෙත අවනතව සිටීමට ඇතිකරගෙන ඇති සාමූහික එකඟතාවය තේරුම් කිරීම පිණිසයි. ඒ අනුව, මා සිතන ආකාරයට ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ රජරට ශිෂ්ටාචාරයේ දීර්ඝ පැවැත්මට ඉවහල් වූ මෙම හෙජමොනික සැකැස්ම ගොඩනැගුණේ සහ පවත්වාගෙන ගියේ කෙසේ ද යන්නයි.

මෙම ප‍්‍රශ්නය ඇසිය යුත්තේ රජරට රාජ්‍යයේ වර්ධනයට සාපේක්ෂවයි. සාමාන්‍යයෙන් රජරට රාජ්‍යය දෙටුබල ප‍්‍රදේශයක (chiefdom) සිට පුළුල් ප‍්‍රදේශයක් වෙත සිය ආධිපත්‍යය පතුරුවන රාජ්‍යයක් බවට පරිවර්තනය වීම දැකිය හැක්කේ මිත්‍යා ප‍්‍රබන්ධිත දුටුගැමුණු-එළාර යුද්ධය මගින් නිරූපනය වන කාලයෙන් පසුවය. අනුරාධපුරය කේන්ද්‍ර කරගත් මේ රාජ්‍යයට දිවයින පුරාම සිය අණසක පැතිරවීමට හැකිවීම පිළබඳ සාක්ෂි මුලින්ම ලැබෙන්නේ සුප‍්‍රකට වල්ලිපුරම් අභිලේඛනයෙන් නිරූපනය වන පරිදි ව්‍යවහාර වර්ෂ පළමු ශතවර්ශයේ දී ය. එනම් අනුරාධපුරයේ රජ කළ වසභ රජු යටතේය.

නිර්මාල් රංජිත් දේවසිරි

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – 13 කොටස

  1. Mithra Nandi.... පවසයි:

    අනේ ඇත්තටම මේ හාදයට පිස්සුද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )