හරි හරි චිකන් තමා, සතා මොකාද?

the_pain_of_cluster_headache_by_agnes_cecile-d4nh6nbවරක් ඒක් පුද්ගලයෙක් සයිවර් කඩයකට ගොස් වේටර්ව ගෙන්වා ඇසුවේ මල්ලි මස් ඒක්ක මොනවද තියෙන මස් ජාති. වේටර් ගත් කටටම කිවෙ ආ අයියෙ අද තියෙන්නෙ චිකන්. එතකොට අර මනුස්සයා අහනවා හරි හරි මල්ලි චිකන් තමා, සතා මොකාද? මට මෙම කතාව මතක් වුයෙ දෙමලාට දෙමල වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය ගැන නිර්මාල් ලියන ලිපි පෙල සම්බන්ධයෙන් නලින් ද සිල්වා, ඔහුගෙ ඔහුගේ ගෝලයන් සහ නලින් ද සිල්වා ගේ අදහස් හා ඒකග වන වෙනත් අය දක්වන ප‍්‍රතිචාර දැකීමෙනි. ඒනම් දෙමලාට දෙමල වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක්ද යන නලින් ද සිල්වා ඉදිරිපත් කරන ප‍්‍රශ්නයට නිර්මාල් පිලිතුරු ලෙස දෙමලාට දෙමල වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය යන්න සිංහල බෞද්ධ කතිකාව විසින් නිර්මාණය කරනු ලැබූවක් බවත් ඒය නිර්මාණය කරනු ලැබ තිබෙන්නේ පිළිතුරු දීමට නොහැකි වන පරිදි බවත් පවසන විට ඉහත සදහන් කල අය නැවත නැවතත් අහන්නේ හරි හරි පුලුවන්නම් දෙමලාට දෙමල වීම නිසාම තිබෙන ප‍්‍රශ්න පහක්වත් ඉදිරිපත් කරන්න කියාය. හරියට ‘හරි හරි මල්ලි චිකන් තමා, සතා මොකාද ප‍්‍රශ්නය වගේය.

මෙම ලිපිය හරහා මම උත්සහ කරන්නේ නිර්මාල්ගේ මතය වෙනත් ආකාරයකට ඉදිරිපත් කිරීමය. විශේෂයෙන් නිර්මාල් මතු කරන “දෙමලාට දෙමල වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක්දැයි ඇසීමට සිංහල බෞද්ධයාට ඇති අයිතිය කුමක්ද” යන ප‍්‍රශ්නය තව ඉදිරියට ගෙන යෑමටය. නමුත් මගේ ප‍්‍රවේශය දෙමලාගේ ප‍්‍රශ්නය ලෙස නිර්මාල් ඉදිරිපත් කරන පිලිතුරට -එනම් “දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය වන්නේ දෙමළාගේ භු-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල බෞද්ධයින් අකමැති වීමයි” යන්න- සමගද ගැටීම් ඇති කරවයි. එනම් මෙම ලිපියේ මූලික තර්කය වන්නේ දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක්දැයි තේරුම් ගැනීමට දෙමල නොවන කිසිම කෙනෙකුට නොහැක යන්නය. ඉතා සරලව කියනවානම් දෙමළාගේ ප‍්‍රශ්නය කුමක්දැයි යන්නට පිළිතුර ලෙස අපට දිය හැක්කේ ‘දන්නෙ නෑ’ යන්නයි. එයට පිළිතුර නලින් ද සිල්වාවත්, නිර්මාල්වත්, මමවත් (කොටින්ම දෙමළ නොවන කිසිවෙකුත්) දන්නේ නැත.

නමුත් මෙම ප‍්‍රවේශය තුලින් දෙමළ ජනයාට ප‍්‍රශ්නයක් නොමැත යන්න නොහැගවේ. නිර්මාල්ගේ ලිපි පෙළ හරහා මෙන්ම එයට දැක්වූ සමහර ප‍්‍රතිචාරවලින් (විශේෂයෙන් නලින් ද සිල්වාගේ අදහස් හා එකග වන්නා වු සමහරෙකුගේ ප‍්‍රතිචාරවලින් පවා) දෙමළ ජනයාට ප‍්‍රශ්නයක් ඇතැයි යන්න පිළීගෙන තිබේ. දෙමළ ජනයාට කිසිදු ප‍්‍රශ්නයක් නොමැත කියා සිතා සිටින අයගෙන් ඇසීමට තිබෙන්නේ LTTE ට වසර 30ක් පමණ කාලයක් යුද්ධ කිරීමට අවශ්‍ය දෘශ්ටිවාදි පිළිගැනීම දෙමළ ජනයා තුළින් ලැබුනේ කෙසේද යන්නයි. කෙසේ නමුත් මෙම කාරණය සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ නොවන බැවින් එම කාරණය සාකච්ඡා කිරීම මෙතනින් නතර කරමි.

මට වඩා වැදගත් කාරණය වන්නේ නලින් ද සිල්වා දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක්දැයි අසන්නේ ඇයිද යන්නයි. පිළිතුර ඉතා සරලය. නලින් ද සිල්වා එසේ අසන්නේ තිබෙන ප‍්‍රශ්නය තේරුම් ගැනීමටය. ප‍්‍රශ්නය තේරුම් ගත් විට එයට පිළිතුරු සැපයීම පහසුය. උදාහරණයක් ලෙස දෙමළ වීම නිසා දෙමළාට තිබුණු ප‍්‍රශ්නය(ක්) වන්නේ “කාර්යාලවල අවශ්‍ය තරම් දෙමළ යතුරුලියන” නොමැති වීම නම් ඊට විසදුම වන්නේ “අවශ්‍ය තරම් දෙමළ යතුරුලියන කාර්යාලවලට ලබා දීමය.” මෙහි මූලික හරයවන්නේ නියෝජනය නම් බටහිර සංකල්පයයි. එනම් දෙමළ ජනයාට තිබෙන ප‍්‍රශ්නය යතුරුලියන නොමැති වීම බව දන්නවා නම් ඕනෑම කෙනෙකුට යතුරුලියන ලබා දීමෙන් එම ප‍්‍රශ්නය නිරාකරණය කළ හැක. තවත් විදියකට කියනවා නම් ප‍්‍රශ්නය දන්නවා නම් කෙනෙකුට තව කෙනෙකු වෙනුවෙන් පෙනී සිටිය හැක නැතිනම් නියෝජනය කළ හැක. නමුත් ප‍්‍රශ්නය වන්නේ මෙම නියෝජනය කෙතරම් දුරට සාර්ථකද යන්නයි. කෙනෙක්ට අවශ්‍යනම් කොලොන්නාවේ නියෝජිත දුමින්ද සිල්වා විසින් එම ප‍්‍රදේශයේ සාදන ලද හෝ අනුග‍්‍රහය දක්වන ලද ව්‍යායාම් මධ්‍යස්තාන ප‍්‍රමාණය හේතු කොට ගෙන තර්ක කරන්න පුඑවන් කොලොන්නාවේ ජනතාවගේ, විශේෂයෙන් තරුණයින්ගේ, ප‍්‍රශ්නය වන්නේ පුශ්ටිමත් ශරීරයක් නොමැති වීම කියා.

එමෙන්ම ප‍්‍රශ්නයක් අසන විට එයට නිශ්චිත පිළිතුරක් ලබා දීමද මෙම නියෝජනය සම්බන්ධ ගැටඑවේ අනෙක් අන්තයයි. එනම් දෙමලාට දෙමල වීම නිසාම ප‍්‍රශ්නයක් නොමැත ලෙස නලින් ද සිල්වාද දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය වන්නේ ඔවුන්ට රාජ්‍යයක් නොමැති වීම ලෙස නිර්මාල්ද පිළිතුරු දෙන විට එයින් නැවත නැවතත් පෙන්වා දෙන්නේ දෙමලාට දෙමල වීම නිසාම ප‍්‍රශ්නයක් නොමැති වීම හෝ ඔවුන්ට තිබෙන ප‍්‍රශ්නය දෙමළ නොවන තමන් ‘දන්නා’ බවයි. තමන් එය ‘දන්නා’ බැවින් තමන්ට එය නියෝජනය කළ හැක. නමුත් තමන් දන්නවා යැයි සිතන දෙය නොවේ නම් දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය??? එය ගැටඑවක් බවට පත් වන්නේ තමන්ට එම ගැටඑව සම්බන්ධයෙන් තිබෙන බල අධිකාරිය මතය. උදාහරණයකට නිර්මාල්ට නොමැති අතිවිශාල සිවිල් හා බුද්ධිමය බලයක් නලින් ද සිල්වාට තිබෙන බැවින් දෙමලාට දෙමල වීම නිසාම ප‍්‍රශ්නයක් නොමැත යන නලින් ද සිල්වා ‘දන්න දෙයට’ සිංහල බෞද්ධ සමාජය තුළ විශාල පිළිගැනීමක් ලැබී ඇත. බැසිල් රාජපක්ෂ හරහා උතුරට මුදල් පොම්ප කිරීමේ ආණ්ඩුවේ ප‍්‍රවේශය නලින් ද සිල්වා මතය හා සමගාමීව යන්නකි. නමුත් උතුරේ දෙමළ ජනතාව යුද්ධය නීමා වීමෙන් පසු තිබු සෑම මැතිවරණයකදීම ආණ්ඩුව පරාජයට පත් කරන ලද්දේ තමන්ගේ ප‍්‍රශ්නය ලෙස ආණ්ඩුව (විශේෂයෙන්ම නලින් ද සිල්වා) සිතන දෙය තමන් තම ප‍්‍රශ්නය ලෙස නොසලකන බවත් තම ප‍්‍රශ්නයට ආණ්ඩුවෙන් (විශේෂයෙන්ම නලින් ද සිල්වාගෙන්) සුදුසු විසදුම් ලබා දී නොමැති බවත්ය.

මෙම නියෝජනය සංකල්පයේ තිබෙන තවත් ලක්ෂණයක් වන්නේ නියෝජිතයා ‘දන්නා’ බවත් නියෝජනය වන්නා ‘නොදන්නා’ බවත්ය. (මෙම කරුණ නිර්මාල්ට එක්තරා දුරකට අදාළ නොවේ). නලින් ද සිල්වා දෙමළ ජාතිකවාදය ප‍්‍රභූ ජාතිකවාදයක් ලෙස නම් කරන විට එයින් ගම්‍යවන්නේ දෙමළ ප‍්‍රභූන් දෙමළ නිර්ප‍්‍රභූන්ව ගොනාට ඇන්ද වු බවය. එනම් නොදන්නා දෙමළ ජනතාවව දන්න ප‍්‍රභූන් විසින් තම මතවාදයන්ට ඉතා සූක්ෂමව හසු කරගත් බවයි. මෙම දන්න/නොදන්න දෙබෙදුම තීරණය වන්නේ ‘මිනිසුන් අතර පවතින බුද්ධිමය අසමානතාවය’ යන ආධානග‍්‍රාහී (dogmatic) අදහස මතය. මෙය ඉතා හොදින් න්‍යායගත කරන ලද්දේ ප්ලේටෝ විසිනි. ඔහු දැක්වූයේ ප‍්‍රභූ නොවන අයට බුද්ධිමය කටයුතු සදහා යෙදීමට කාලය නොමැති බැවින් එවැනි කටයුතු සදහා කාලය තිබෙන පිරිසක් අවශ්‍ය බවයි. මෙම කාලය තිබෙන පිරිස වනාහී ප‍්‍රභූන්ය. මෙම ප්ලේටෝනියානු දෙබෙදුම ඉන්පසු සෑම බටහිර චින්තන සම්ප‍්‍රදායකම දක්නට ලැබුනි. විශේෂයෙන් සමාජයෙන් බැහැර කරන ලද්දවුන්ගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටි කාල් මාක්ස්ගේ කෘතිවල පවා මෙම දෙබෙදුම දක්නට ලැබේ. එනම් The Eighteenth Brumaire of Louis Bonaparte හීදී මාක්ස් ගොවීන් (peasants) ගැන කියන්නේ “ඔවුන්ට ඔවුන්ව නියෝජනය කළ නොහැක, ඔවුන්ව නියෝජනය කළ යුතුය (They cannot represent themselves, they must be represented)” කියාය. එනම් කිසියම් දන්න පිරිසක් (බුද්ධිමතුන්, න්‍යායවේදීන්, පක්ෂය) ඔවුන්ව නියෝජනය කළ යුතුය.

නමුත් ජැක් රොන්සියේර් තම කෘතිවලින් පෙන්වා දෙන අන්දමට මිනිසුන්, විශේෂයෙන් නිර්ප‍්‍රභූන්, බුද්ධිමය දරිද්‍රතාවයකින් පෙලෙන්නේ නැත. ඔහු සිය The Ignorant Schoolmaster කෘතියේ ජෝසප් ජැකොටෝ නම් ගුරුවරයාගේ අත්දැකීමක් ඔස්සේ පෙන්වා දෙන්නේ සෑම මනුෂ්‍යයෙක්ටම එක හා සමාන බුද්ධියක් (දැනුමක් නොවේ) තිබෙන බවයි. වෙනත් විදියකට කියනවා නම් කෙනෙකුට තව කෙනෙකුගේ දෙයක් (කි‍්‍රයාවක්, පොතක්, සංකල්පයක් ආදී) ගුරුවරයෙකුගේ (දන්න කෙනෙකුගේ) බුද්ධිමය සහයකින් තොරව අවබෝධ කර ගැනීමට හැකියාව තිබෙ. අවශ්‍යවන්නේ ඒ සදහා වන උනන්දුව පමණි. එමෙන්ම ඔහු Nights of Labour කෘතියෙන් 19වන සියවසේ ප‍්‍රංශ කම්කරුවන් (‘proletarians’) යන්න මෙහිදී යෙදෙන්නේ වැටුපට වැඩකරන පුද්ගලයන් කොටසක් හැදින්වීමට නොව මාක්ස් දැක්වු පරිදි සිවිල් සමාජයට අයත් වන්නාවූ සිවිල් සමාජයට අයත් නොවන මිනිස් කණ්ඩායමක් [a class of civil society which is not a class of civil society] දාර්ශනික කරුණු ආදී බුද්ධිමය කාරණා සම්බන්ධයෙන් කළ සාකච්ඡා, ප‍්‍රකාශ ආදිය පිළිබද විස්තරයක් ලබා දෙයි. මෙම තර්කය අනුව යමින් කිව හැක්කේ චෙල්වනායගම් හෝ දෙමළ ප‍්‍රභූන් අත නැටවෙන රූකඩයක් ලෙස යාපනයේ නිර්ප‍්‍රභූ දෙමළ ජනතාව සැළකිය හැකිද බවයි. මෙහිදී ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ චෙල්වනායගම්ගේ හෝ දෙමළ ප‍්‍රභූනගේ ඉල්ලීම්වලට පුඑල් ජන බලයක් 1970 ගණන් වනවිට ලැබුණේ කෙසේද යන්නයි.

යමෙක් කිසියම් අධිපති යාන්ත‍්‍රණයකට එරෙහිව අරගල කරන්නේ ඇයිද යන්න ගැන අධ්‍යනය කරන ඇන්ටෝනියෝ නෙගි‍්‍ර සිය The Labour of Job නම් කෘතියෙන් පෙන්වා දෙන්නේ ‘වේදනාව’ මෙහිදි කොතෙක් දුරට තීරණාත්මක සාධකයක් වන්නේද යන්නයි. ඔහුට අනුව ”සමුහය වෙත දොර විවර කරන යතුරක් වන්නේ වේදනාවයි” (Pain is a key that opens the door to the community). මෙම අදහස ඉදිරිපත් කිරීමට ඔහු භාවිතා කරන්නේ බයිබලයේ එන චරිතයක් වන ජොබ් නම් පුද්ගලයාගේ කතාවය. එනම් ජොබ් නම් ඉතා දැඩි දේවභක්තිකයා දෙවියන්ගේ අකටයුතුකම් හමුවේ (සියලු භෞතික සම්පත් හා දරුවන් අහිමිවීම හමුවේ පවා) තම දෙවියන් පිළිබද භක්තිය නැති කර නොගන්නා නමුත් තම පිවිතුරු භක්තියට යුක්තිය ඉටු නොවීම හමුවේ (දෙවියන්ගේ වැරදිවලට යුක්තිය ඉටුකර දීමට දෙවියන්ට බලපෑම් කළ හැක්කේ කාටද?) අවසානයේ දෙවියන්ට එරෙහිව යන ආකාරයයි. මෙම අදහස මගින් අපට නලින් ද සිල්වා අසන ප‍්‍රශ්නය වෙනත් ආකාරයකට ඇසිය හැක. එනම් දෙමළාට දෙමළ වීම නිසාම ගෙන දුන් ‘වේදනාව’ කුමක්ද යන්නයි. මෙහිදි අවධාරණය කළ යුතු කරුණවන්නේ අරගලයක් දක්වා ගමන් කිරීමට එක් එක් පුද්ගලයන්ට වේදනාව බලපාන්නේ එකම ආකාරයකින් නොවන බවයි. එනම් කෙනෙක් අරගලකාරයෙක් වීමට බලපාන වේදනාවට වඩා හාත්පසින්ම වෙනත් වේදනාවක් (පිටතින් බලන කෙනෙකුට එය නොගැනිය සුඑ වේදනාවක් විය හැක) බලපෑ හැකිය. උදාහරණයකට කෙනෙක්ට යාපනය පුස්තකාලය ගිනි තැබීම (මම දෙමළ වුනා නම් මෙ සිදුවීම හේතුකොට ගෙන පමණක් LTTE ට බැදීමට ඉඩ තිබුනේ යැයි මට සිතේ), 83 කඑ ජූලියේදි දෙමළ විම නිසාම තම සමීපතයන් අසිමිත කෲර බව හමුවේ ඝාතනයට ලක්වීම සේම කාර්යාලවල දෙමළ යතුරු ලියන නොතිබීම යනාදී ඔනැම සිදුවීමකින් ඇතිවන වේදනාව යමෙක්ට තනිව හෝ පොදුවේ අරගල කිරීමට බලපායි.

මෙහිදී කෙනෙක්ට ‘ඇයි දෙමළාට විතරද ප‍්‍රශ්න තියෙන්නේ? සිංහලයට සිංහලවීම නිසාම ප‍්‍රශ්න නැද්ද? වේදනාව නැද්ද?’ ලෙස ප‍්‍රශ්න නැගිය හැක. ඔව්. සිංහලයාට සිංහල වීම නිසාම වේදනාවට ලක් විය හැක. ලක් වු අවස්ථා තිබෙ. නමුත් මෙහිදී වැදගත් වන්නේ වේදනාව සමනය වන විධික‍්‍රමවල (නීතිය, ජාතිවාදය, හෝ වෙනත් විකල්පයන්) බලපෑම මත කෙතරම් දුරකට එම වේදනාව අඩුවන්නේද යන්නයි. ඉතා සරලව කියන්නේ නම් සාර්ථක මර්දනකාරි රාජ්‍යක ලක්ෂණයක් වන්නේ රතු කට්ට පනින්න පෙර කුමක් හෝ දෙයක් මගින් මෙම වේදනාව අඩුකිරිමයි. මගේ අත්දැකිමක් මගින් කියනවානම් මම ඉතා හොදින් අදුනන කෙනෙක් එංගලන්තයේ ශි‍්‍ර ලාංකික දෙමළ මැනේජර්වරයෙකුගේ පාලනයකින් යුතු KFC ආයතනයක වැඩට ගිය අතර එහි බහුතරයක් වූ ශි‍්‍ර ලාංකික හා බි‍්‍රතාන්‍ය දෙමළ සේවක සේවිකාවන් ඇයව සිංහල වීම නිසාම ඉතා දැඩි ආතතියකට ලක් කරන ලදි. ඇය ලැබුවේ ප‍්‍රචන්ඩ අත්දැකීම් නොව කොන් කිරීම්, ආධුනිකයෙක්ට අවශ්‍යවන උදව් නොලැබීම් ආදියයි. නමුත් ඇයට මෙය ඉමහත් වේදනාවක් වූ අතර දින 3ක් වැඩට යෑමෙන් පසු ඇය එයින් ඉවත් විය. නමුත් දැන් ප‍්‍රශ්නය වන්නේ ඇය ලැබූ මෙම වේදනාව නිසා ඇය අරගලකාරියක් නොවන්නේ ඇයිද යන්නයි. අඩුමතරමින් ඇය කිසිම විටෙක මෙනිසා එංගලන්තයේ කි‍්‍රකට් තරගයක් බලන්න ගොස් ලන්ඩන් සිංහල දේශපේ‍්‍රමීන් දහසක් සමග ගොස් දහයක් පමණ වූ නිරායුධ කොටි හිතවාදීන්ට ගහන්න යන්නේ හෝ ගහන විට බලා සතුටුවන්නේ හෝ නැත. ඒ ඇයට වෙනත් විධිමගින් ඇය ලැබූ වේදනාව සමනය කල හැකි නිසාය. උදාහරණයක් ලෙස KFC කලාපීය ශාකාවට දැන්වූ විට ඔවුන් මෙවැනි ආකාරයේ වර්ගවාදී කි‍්‍රයාවලට එරෙහිව ඉතා දැඩි ලෙස කටයුතු කරයි. අනෙක් අතට ඇයට කෙටි කලකින් වෙනත් ස්ථානයක රුකියාවක් ලැබුණි. (මෙමගින් අදහස්වන්නේ මෙම බටහිර ධනවාදී රටවල් ජීවත් වීමට ඉතා විශිෂ්ට ස්ථාන බව නොවේ. එම රටවල මර්ධනය වෙනත් ශුද්‍ර ශුද‍්‍රක‍්‍රම මගින් නොපෙනෙන්න සලස්වා ඇත. වැඩි විස්තර සදහා Society of the spectacle [http://www.marxists.org/reference/archive/debord/society.htm ] බලන්න)

නෙග්‍රී ඉදිරිපත් කරන තවත් වැදගත් කාරණයක් වන්නේ වේදනාව යනු දේශපාලනික සමාජයේ ප‍්‍රජාතාන්ති‍්‍රක පදනම බවයි. මෙහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය යොදා ගනු ලබන්නේ බටහිර රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ මහින්ද රාජපක්ෂ අර්ථ දක්වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ. රොන්සියෙර්ගේ වචනවලින් කියනවා නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු ‘ජනතාවගේ බලයයි’. එනම් බලය පාවිච්චි කිරීමට විශේෂ හිමිකමක් (entitlement) නොමැති අයගේ බලයයි. නෙගි‍්‍රට අනුව වේදනාව දේශපාලනික සමාජයේ ප‍්‍රජාතාන්ති‍්‍රක පදනම වීමට හේතුවක් වන්නේ කෙනෙකුට තව කෙනෙකුගේ වේදනාවක් නියෝජනය කළ නොහැකි නිසාය. උදාහරණයකට මර්වින් සිල්වා මොහොමඩ් ඉර්ෂාඩ්ව ගස් බැන්ද විට එයින් ලැබූ වේදනාව දන්නේ මොහොමඩ් විනා වෙන කවරෙකුවත් නොවේ. කෙනෙක්ට මොහොමඩ්ගේ වේදනාව පරිකල්පනය කල හැක. නමුත් කිසිම විටෙක පරිකල්පනය හා වේදනාව සර්වසම වන්නේ නැත. මෙනිසා තමා ලැබු වේදනාව නියෝජනය කල යුත්තේ තමා විසින්ය. තමාට එය තනිව කල නොහැකි විට සාමුහිකත්වයක් තුලින් එය නියෝජනය කල යුතුය. එවැනි සමූහයන් සමානයිනගේ සමූහයන් වන අතර එවැනි සමූහයන් තුළ පුද්ගලයින් යනු ස්වාධින ඒකකය. නිර්මාල් දෙන පිළිතුරට මම එකග නොවන්නේ මෙ නිසාය. එනම් නිර්මාල් පිළිතුර දන්නවා නම් එයින් කියන්නේ ඔහු දෙමළ වීම නිසා දෙමළා ලැබූ වේදනාවද ඔහු දන්නා බවයි. එනම් තම පිළිතුරෙන් එම වේදනාවට පිළිතුරු ලැබෙ. (මෙය දෙමළාට දෙමළ වීම නිසාම ප‍්‍රශ්නයක් නොමැත කියන නලින් ද සිල්වාට වඩාත් අදාලය).

දැන් ප‍්‍රශ්නය වන්නේ දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නයට පිළිතුර වන ‘දන්නේ නෑ’ යන්න කෙතරම් දුරට දේශපාලනික වශයෙන් (විශේෂයෙන් රුඩිකල් දේශපාලනය තුළ) සාධනීයද යන්නයි. මෙහිදී කෙනෙක්ට අහන්න පුඑවන් ”දෙමලාට දෙමල වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය අපි දන්නෙත් නෑ ඔයා දන්නෙත් නෑ. එහෙනං ඉතින් ප‍්‍රශ්නයක් නෑනේ” කියා. මාඔවාදි අදහසක් – එනම් ”බුද්ධිමත් වන්නේ පීඩිතයාය, එමෙන්ම ඔවුන්ගේ විමුක්තියේ අවි ඔවුන්ගේ බුද්ධිය තුළින් ඉස්මතු වේවි (it is the oppressed who are intelligent, and the weapons of their liberation will emerge from their intelligence) මෙම බුද්ධිය සෑදෙන්නේ අරගලය තුලින්ය – යොදා ගෙන කිව හැක්කේ දෙමළ ජනයා දෙමළ වීම නිසාම තියෙන ප‍්‍රශ්නයට (නැතිනම් වේදනාවට) විසදුම තීරණයවන්නේ දෙමළ ජනතාව විසින් කරන ලද අරගලයක් තුළින් බවයි. නිර්මාල් දක්වන පරිදි දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය රාජ්‍යයක් නොමැති විම යන්න LTTE සංවිධානය අවසන් වීමට පෙර දෙමළ විමුක්ති අරගලය තුළ නිර්මාණය කරන ලද විසදුමයි. හේගලියානු දෘශ්ටිකෝණයට අනුව එම ඉතිහාසය අවසන් වී ඇත. දැන් නැවතත් අලුත් ඉතිහාසයක් ආරම්භ වී තිබෙ. එම ඉතිහාසය තුළ දෙමළ වීම නිසාම වන ප‍්‍රශ්නයට විසදුම රාජ්‍යයද නැතිනම් වෙන මොකක් හරිද යන්න අපි තවම දන්නේ නැත. (උදාහරණයක් ලෙස විග්නේෂ්වරන් ඇතුඑ පිරිසක් පළාත් සභා ශක්තිමත් කිරීමකට අරගල කිරීම දැක්විය හැක)
නිර්මාල්ගේ ප‍්‍රයත්නය මම සාධනීය ආකාරයකට භාර ගනු ලබන්නේ අපි දෙමළ නොවූවද අඩුම තරමින් දෙමළ ජනයා පීඩාවට පත් කරන සිංහල බෞද්ධ දෘශ්ටිවාදයට එරෙහි අරගලය තුළ දෙමලාට දෙමල වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය අලුත් ආකාරයකට සාකච්ඡා කරන නිසා හා සාකච්ඡා කිරිමට අවශ්‍ය වෙනත් ප‍්‍රවේශ නිර්මාණය කරන නිසාය. මෙම ලිපිය අවසානය තෙක් කියවු කෙනෙක් දැන් සුපුරුදු ප‍්‍රශ්නය ඇසිමට පුඑවන. ”කෝ තාම චිකන් කිවුවට සතා කිවුවෙ නෑනේ?” පොඩ්ඩක් ඉවසන්න සතා ඉක්මණට පෙනේවි!

සමල් විමුක්ති හේමචන්ද්‍ර

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to හරි හරි චිකන් තමා, සතා මොකාද?

  1. පෝකි ජොන්සන් පවසයි:

    දෙමළාට දෙමළ වීම නිසා ඇති එකම ප්‍රශ්නය මෙරටින් කෑල්ලක් කඩා ගැනීමට නොහැකි වීමය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )