දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – 12 කොටස

නලින් ද සිල්වා ගේ ඉතිහාස දැනුමේ ගැටලූ

real-5මගේ ෆේස්බුක් විවේචකයින්ගේ මෙන්ම මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු බොහෝ සිංහල ජාතිකවාදීන්ගේද විශ්වාසය වන්නේ මේ දිවයින සඳහා සිංහල-බෞද්ධයාට ඇති අයිතියේ පදනම ‘ඓතිහාසික සාධක’ වලින් නොවරදින සුළු ලෙස ස්ථාපිත කරනු ලැබිය හැකි ‘ඉතිහාසය’ බවයි. මෙහි දී ‘ඉතිහාසය’ අයිතිය පිළිබඳ වරපත‍්‍රයක් (charter of right) ලෙස භාවිත කරනු ලබයි. මෙම අදහස කොතරම් ස්ථාපිත වී ඇත්ද යත් මගේ ප‍්‍රතිචාරකයින්, විශේෂයෙන්ම චරිත කාරියවසම්, සිතන්නේ මට මේ ‘ඓතිහාසික පදනමට’ අභියෝග කිරිමට නොහැකි නිසා ඒ පිළිබඳ කිසිවක් නොකියා සිටින බවයි.

කෙසේ වෙතත් මා මෙම ‘ඉතිහාසය’, අයිතිය පිළිබඳ වරපත‍්‍රයක් ලෙස භාවිත කිරීමේ ප‍්‍රවේශය අභියෝගයට ලක් කරන්නේ තර්ක දෙකක් මත පදනම් වෙමිනි. එසේම වැඩි දුරටත් ප‍්‍රකාශ කළ යුත්තේ දෙවෙනි තර්කය පළමු තර්කයට අනුපූරක (complementary) නොවන බවයි.

පළමු තර්කය වන්නේ නවීන දේශපාලන ප‍්‍රජාවන්ගේ සාමූහික දෙශපාලන අභිලාෂවල වලංගුභාවයේ තීරකයක් ලෙස, එසේත් නැත්නම් අයිතිය පිළිබඳ වරපත‍්‍රයක් ලෙස, ‘ඉතිහාසය’ භාවිත කිරීම පිළිගැනීමට පදනමක් නොමැති බවයි. මෙයට මූලික හේතුවක් ලෙස මා දකින්නේ මෙහිදී යොදාගනු ලබන ඉතිහාසය බොහෝ විට පරිකල්පිත ඉතිහාසයක් වීමයි. හොඳම උදාහරණය මා මීට පෙර සාකච්ඡා කළ ඊශ‍්‍රායලය පිළිබඳ නිදර්ශනයයි. මෙහි දී ඉතිහාසයට ඇත්තේ මිත්‍යා ප‍්‍රබන්ධමය කාර්යයකි (mythical function). ඒ අනුව සිංහල-බෞද්ධයාගේ ‘ලංකා ඉතිහාසය’ මෙන්ම දෙමළා ගේ ‘ලංකාවේ දෙමළ ඉතිහාසය’ ද කෘත්‍යමය වශයෙන් මිත්‍යා ප‍්‍රබන්ධමය වේ. මා මෙහිදී භාවිත කරන්නේ බ්‍රොනිස්ලාව් මැලිනොව්ස්කිගේ මිත්‍යාප‍්‍රබන්ධ පිළිබඳ නිර්වචනයයි. එම ප‍්‍රවේශයට අනුව මිත්‍යා ප‍්‍රබන්ධයක් ගැන ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ එම මිත්‍යා ප‍්‍රබන්ධයේ අඩංගුව (චරිත කාරියවසම් ගේ වචන වලින් කියනවා නම් ‘ඓතිහාසික සාධක’) පිළිබඳව ප‍්‍රශ්න නැගීම නිෂ්ඵල බවයි. ඇසිය යුත්තේ එම මිත්‍යා ප‍්‍රබන්ධය කොයිතරම් දුරට අදාළ කෘත්‍යය ඉෂ්ට කරනවාද යන්නයි.

කෙසේ වෙතත් මගේ ප‍්‍රතිචාරකයින් දෙමළ ජාතිකවාදය අනුදත් ‘ඉතිහාසය’ මිත්‍යා ප‍්‍රබන්ධයක් ලෙස පිළිගැනීමට එකඟ බව පෙනුනත් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ ‘ඉතිහාසය’, මිත්‍යා ප‍්‍රබන්ධයක් ලෙස සලකනවාට එකඟ වන බවක් නොපෙනේ. ඔවුන් යොජනා කරන්නේ තමන් ඉදිරිපත් කරන ‘ඉතිහාසය’ ශාස්ත‍්‍රීය කතිකාවක් ලෙස සලකා බලන ලෙසය. ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ට කිරීමට මම මෙතැන් සිට බලාපොරොත්තු වෙමි.

ඊට පෙර මගේ ෆේස්බුක් ප‍්‍රතිචාරකයින්ට ප‍්‍රමුඛ කොටම බුද්ධිමය පෙළඹවීම ලැබෙන මහාචාර්ය නලින් ද සිල්වාගේ ලංකා ඉතිහාසය පිළිබඳ ඉදිරිපත් කරන අදහස් අදහස් කොයිතරම් අසංගත ද යන්න පෙන්වා දීමට උත්සාහ කරමි. මක් නිසා ද යත් ඔහුගේ ලංකා ඉතිහාසය පිළිබඳ අදහස් මගේ ප‍්‍රතිචාරකයින් බෙහෙවින් බැරෑරුම් ලෙස භාරගනු ලබන නිසාය. මෙහි දී මා උත්සාහ කරන්නේ නලින් ද සිල්වා වරින් වර සිංහල ජාතියේ ඉතිහාසය පිළිබඳව ඉදිරිපත්කරන අදහස් එක් තැනකට ගොනු කොට ඒවා කොතරම් අසංගතද යන්න පෙන්වා දීම පමණි.

සිංහල ජාතියේ සකස් වීම පිළිබඳ ගැටලූව ඔහුගේ ‘ලංකා ඉතිහාස ව්‍යාපෘතිය’ තුළ කේන්ද්‍රීය වැදගත් කමක් උසුලයි. එය දෙමළ ප‍්‍රශ්නයට අදාළව පමණක් නොව සිංහල ජාතික චින්තනය යනු කුමක්ද යන්න පෙන්වා දීමට ඔහු දරන නොනිමි උත්සාහය සම්බන්ධයෙන්ද වැදගත් වේ.

ඔහු සිය ජාතික චින්තන ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසුව වරින් වර සිංහල ජාතියේ සම්භවය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ‘ප‍්‍රවාද’ කීපයක් මෙසේය.

‘‘මෙරට මෑතක් වන තුරුම පැවතියේ එක් ජාතියක් පමණකි. බටහිර ජාතික රාජ්‍ය පහළ වීමෙන් පසුව මෙරට ද ජාතික රාජ්‍යය ඇති වී යැයි සිතන අනුකාරක ඉතිහාසඥයන්ගේ මතවාද ඉවත දමා මෙරට ඉතිහාසය බැලීමේ දී පෙනී යන්නේ ජාතික විඥානයක් ඇතිව සිංහල ජාතියේ ආරම්භය පණ්ඩුකාභය රජු දවස සිදු වූ බව ය. සිංහල ජාතියේ ද, සිංහල සංස්කෘතියේ ද න්‍යෂ්ටිය වූයේ එතෙක් පැවති යක්ෂ ගෝත‍්‍රය හා යක්ෂ සංස්කෘතිය යැයි අපට විශ්වාස කළ හැකි ය” (ජාතිය, සංස්කෘතිය හා චින්තනය, පිටුව V).

‘‘… ගැමුණු රජු දවස පමණක් නො ව මහසෙන් රජු දවස ද යක්‍ෂ ගෝත‍්‍රිකයන් යැ යි කිව හැකි යම් පිරිසක් මෙ රට සිටි බව පැහැදිළි ය. ඔවුන් සිංහලයන්ට හා සිංහලයන්ගේ ස්වෛරී භාවය ආරක්ෂා කිරීමට මඟ පෙන්වූ අනුශාසනා කළ මහාවිහාරික භික්‍ෂූන් වහන්සේට විරුද්ධ ව කටයුතු කර ඇතැ යි සිතිය හැකි ය. …

මා සිතන අයුරින් නම් එ සේ වීමට ප‍්‍රධාන හේතුව යක්‍ෂ ගොත‍්‍රිකයන් ගේ චින්තනය හා සංස්කෘතිය සිංහල ජාතියේ චින්තනය හා සංස්කෘතිය සමඟ නොපෑහීමය’’ (අපේ ප‍්‍රවාද 3, පිටු 123-124).

‘‘යක්‍ෂ නාග මෙන්ම අර්ධ වෛදිකයන් ආදීන් ද එකතු කරගනිමින් පඬුඅබා නිර්මාණය කළ සිංහල ජාතියට ඇතුලත් වූ නාගයන් ගැන ඉන් පසුව එ තරම් කරුණු අප සාහිත්‍යයෙහි සඳහන් නො වෙයි. නාගයන් මුළුමනින්ම සිංහල වූ වා යැ යි අපට සිතාගත හැකි ය. එහෙත් යක්‍ෂයෝ එසේ නො වෙති. සිංහල ජාතියට ඇතුළත් වීමෙන් පසුවත් ඔවුන්ට සිංහල ජාතිය සමඟ ප‍්‍රශ්න තිබූ බව ඉතිහාසයෙන් පෙනී යයි. ගැමුණු රජුගේ කාලයේ දී ද ඇතැම් යක්‍ෂයෙකුට ප‍්‍රශ්න තිබූ බව පැහැදිළි ය. එහෙත් දඹදෙණි යුගය වන විට මේ ප‍්‍රශ්න විසඳී යක්‍ෂයන් පූර්ණ වශයෙන් ම සිංහල ජාතිය සමඟ බැඳී ඇතැ යි සිතිය හැකි ය’’ (අපේ ප‍්‍රවාද 3, පිටුව 114).

“පණ්ඩුකාභය රජු දවස සිදු වී ඇත්තේ යක්‍ෂ හා වැදි ගොත‍්‍රිකයන් හැරෙන්නට අනෙක් ගෝත‍්‍රිකයන් සමඟ අර්ධ වෛදිකයන් එකතු වී සිංහල ජාතිය ගොඩනැඟීම ආරම්භ කිරීම ය. වැදි ගෝති‍්‍රකයෝ මුළුමනින් ම සිංහල ජාතිය ගොඩ නැඟීමේ කාර්යයෙන් බැහැර ව සිටි අතර යක්‍ෂ ගෝත‍්‍රිකයන් ගෙන් කිහිප දෙනෙකු එයට සහභාගී වී ඇත’’ (අපේ ප‍්‍රවාද 3, පිටුව 241).

“මා දැන් විශ්වාස කරන පරිදි මෙරට යක්‍ෂ ගෝත්‍රිකයන් මුල් කරගත් හෙළ බොදු සංස්‌කෘතියක්‌ බුදුන් වහන්සේගේ කාලයේ සිට ම පැවතී ඇත. එය පසු කාලීනව මහා විහාර අධීක්‍ෂණය යටතේ තුන්වැනි සංගායනාවේ බුදුදහම සුරකින, අටුවා ටීකාවලින් අර්ථදැක්‌වෙන සිංහල බෞද්ධ සංස්‌කෘතියක්‌ බවට පත් වී ඇත. සිංහල බෞද්ධ සංස්‌කෘතියේ යම් ප්‍රමාණයකට හෙළ බොදු සංස්‌කෘතිය ගැබ් වී ඇත. මෙරට ඇති දහස්‌ ගණන් ලෙන් වලගම්බා රජුගේ නිර්මාණ නොව (මව් පසින් යක්‍ෂ ගෝත්‍රික සම්භවයක්‌ ඇතැයි සිතිය හැකි එතුමා විසින් කරවන ලද ලෙන් එකක්‌වත් නැතැයි මෙයින් නො කියෑවෙයි) යක්‍ෂ ගෝත්‍රිකයන් බෞද්ධයන් වීමට පෙර සෘෂිවරුන් වෙනුවෙනුත් බෞද්ධයන් වූ පසු භික්‌ෂුන් වහන්සේලා වෙනුවෙනුත් නිර්මාණය කරන ලද ආරාම යෑයි කිව හැකි ය. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ සිරිත් විරිත් හෙළ බොදු සංස්‌කෘතියටත් පසුව සිංහල බෞද්ධ සංස්‌කෘතියටත් අවශෝෂණය වී ඇත.” (දිවයින, දැක්ම තීරු ලිපිය 27-10-2013)

චරිත කාරියවසම් මහතා නිරතුරුව මගෙන් අසන ප‍්‍රශ්නයක් වන්නේ දෙමළ ජනයාගේ අභිලාෂ ඓතිහාසික වශයෙන් සාධාරණ ඒවා ලෙස භාරගැනීමට ‘ඓතිහාසික සාධක’ ඇත්තේ කොහේ ද යන්නයි. මගේ පැහැදිළි කිරීමට ඊනියා ‘ඓතිහාසික සාධක’ පිළිබඳ අවශ්‍යතාවයක් ඇත්තේ නැතත් ‘ඉතිහාසය’ අයිතිය පිළිබඳ වරපත‍්‍රයක් ලෙස භාවිත කරන නලින් ද සිල්වා ගේ ප‍්‍රවේශයට නම් එවැනි පිළිගත හැකි සාධක ඉදිරිපත් කිරීමක් අවශ්‍ය වේ. අවශ්‍යනම් වරක් දර්ශන කස්තුරිරත්න 1818 උඩරට කැරැල්ල පසුපස තිබුනේ සිංහල ජාතික විඥානයක් යැයි කීමට සාධක නැතැයි මා කී විට ‘‘එහෙම නොතිබුනා කියල කියන්නත් සාධක නෑනෙ’’ වැනි පිළිතුරක් නම් මෙහි දී ප‍්‍රමාණවත් නොවේ.

නලින් ද සිල්වා මෙහි දී අපට නොකියන්නේ තමන් වරින් වර සිය ‘ප‍්‍රවාද’ මේ අකාරයෙන් වෙනස් කරන්නේ හෝ සංශෝධනය කරන්නේ කුමන පදනමක් මතද යන්නයි. මගේ අදහසේ හැටියට ඉහත උපුටා දක්වා ඇති කොටස් වලින් මනාව පෙන්නුම් කෙරෙන ගැටලූ දෙකක් නලින් ද සිල්වා ගේ ඓතිහාසික විග‍්‍රහය තුළ දක්නට ලැබේ. එකක් නම් ඓතිහාසික විග‍්‍රහයේ මූලික අංගයක් වන විධිමත් මූලාශ්‍ර විචාරයක් ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් වල දක්නට නොලැබීමයි. උදාහරණයක් ලෙස ඔහු විසින් සිය ඓතිහාසික විග‍්‍රහයේ තොරතුරු මූලාශ‍්‍රයක් ලෙස විශාල වශයෙන් භාවිත කරන මහාවංශය පිළිබඳව ඇති ඉතාම පොහොසත් විචාර කතිකාව ඔහු විසින් අතීශය හිතුවක්කාර හා අහංකාර ලෙස බැහැර කොට තිබේ. ඔහුගේ ඉහත සඳහන් නිරන්තර සංශෝධනයන්ට ලක්වන අර්ථකථනවලට අර්ධ වශයෙන් බලපා තිබෙන්නේ මෙම නොතකා හැරීම බව පෙනී යයි. මෙම මහාවංශ විචාර සම්ප‍්‍රදාය පිළිබඳව අගති විරහිතව අවධානය යොමුකළා නම් පසුව අඩුපාඩු සහිතයැයි තමාටම වැටහෙන තමාගේ මුල් අර්ථකථන වල ගැටලූ සහගත භාවය කලින්ම අවබෝධ කරගත හැකිව තිබුණි.

ඇත්ත වශයෙන්ම මා අදහස් කරන ආකාරයට නලින් ද සිල්වා විසින් සිදුකරනු ලැබ ඇත්තේ තමාගේ දේශපාලන වශයෙන් (පොපරියානු අර්ථයෙන්) අසත්‍යකරණය කළ නොහැකි ප‍්‍රස්තූතය, එනම් ලංකාවේ ඓතිහාසික වශයෙන් සුජාත අයිතිය ඇත්තේ සිංහල-බෞද්ධයාටය යන ප‍්‍රස්තූතය තහවුරු කිරීම පිණිස කරුණුමය භාවය (factuality) නිසි පරිදි තහවුරු නොකළ ඓතිහාසික තොරතුරු ඉතාම හිතුවක්කාරී ලෙස යලි යලිත් සුසම්බන්ධ කරලීමයි (articulation and re-articulation). කෙසේ වෙතත් ඒ මහතා නොසන්සිඳෙන බුද්ධිමය කුතුහලයකින් යුක්ත කෙනෙක් නිසා මෙම විශ්වසනීයත්වය අතින් බෙහෙවින් දුර්වල තොරතුරු ගැන ඔහුටම සැක මතුවේ. එවිට ඔහු ඒවා යලි අර්ථකථනය කරයි. නමුත් ඔහු අවාසනාවන්ත ලෙස අමතක කරන දෙය වන්නේ ඔහුගේ බුද්ධිමය ප‍්‍රතිවාදීන්, අඩුම තරමින්, ඔහු හිතන තරම්ම, මුග්ධයින් අහිනක් නොවන බවයි.

ඒ මහතා සිය ඊනියා ‘ප‍්‍රවාද’ තමාට හිතෙන හිතෙන අවස්ථාවේ වරින් වර තමාම පමණක් දන්නා හේතු නිසා වෙනස් කරන විට ඒවා එහෙයි කියා පිළිගත හැක්කේ ඒ මහතා කියන සෑම දෙයක්ම එහෙයි කියා පිළිගැනීමට සැදී පැහැදී සිටින අයට පමණි. ඒ මහතා විසින් සිය ඊනියා ප‍්‍රවාද තහවුරු කිරීම සඳහා යොදාගන්නා ඊනියා ‘ඓතිහාසික සාධක’ ඓතිහාසික සාධක ලෙස පිළිගත හැක්කේ ද යම් තොරතුරක් ඓතිහාසික සාධකයක් ලෙස පිළිගනු ලබන්නේ කවර සුදුසුකම් සැපිරීමෙන් ද යන්න පිළිබඳව අවබෝධක් නැති අයට පමණි.

නිර්මාල් රංජිත් දේවසිරි

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )