ප්‍රශ්න දෙකේ දයලෙක්තිකය – දෙමළාගේ ප්‍රශ්නය වටහා ගැනීමේ මගේම පුංචි පුද්ගලික ඉතිහාසය

jagath1‘දෙමළාගේ ප්‍රශ්නය’ සම්බන්ධයෙන් ජාතික චින්තන ෆේස්බුක් කණ්ඩායම සහ අප අතර ඇති වී තිබෙන සංවාදය එක්තරා ආකාරයක පූර්ණ අවහිරයකට (deadlock) පැමිණ ඇති බව මට සිතේ. අභියෝගය වන්නේ මෙම අවහිරය ඉවත් කරන්නේ කෙසේද යන්නයි. වෙනත් විදියකට කියන්නේනම්, දෙමළාගේ ප්‍රශ්නයේ පැවැත්ම සහ යුක්තිසහගත බව අපගේ ෆේස්බුක් සම්භාෂකයන්ට ඒත්තු ගන්වන්නේ කෙසේද යන්නයි. මේ සඳහා පිළිතුරක් ගොණු කිරීමට ප්‍රවේශ මාර්ගය රැඳී තිබෙන්නේ ‘දෘෂ්ඨිවාදය’ නම් සංකල්පය තුලයයි මම විශ්වාස කරමි. ඕනෑම ප්‍රපංචයක අඩු වැඩි වශයෙන් දෘෂ්ඨිවාදී අඩංගුවක් තිබෙන නමුත්, දෙමළාගේ ප්‍රශ්නය තුළදී මෙම දෘෂ්ඨිවාදී අඩංගුව ඉතාම ඉහල අගයක් ගනී. එම නිසා මේ පිළිබඳව කෙරෙනා ඕනෑම සංවාදයකදී මෙම ඉහල දෘෂ්ඨිවාදී අඩංගුව පිලිබඳව සැලකිල්ලක් නොදක්වන කෙනෙකු හට ඉක්මනින් මග වැරදීමට නියමිත වේ. මේ කරුණු මත මම යෝජනා කරන්නේ අප දෙමළාගේ ප්‍රශ්නය වෙත වක්‍ර මාර්ගයකින් ප්‍රවේශ විය යුතු බවයි. මේ රචනය තුලදී මා උත්සාහ කරන්නේ මෙයට කිසියම් ආකාරයක පෙරවදනක් ලබා දීමටයි. ඒ සඳහා මට උපකාර වන්නේ මාගේ පුද්ගලික ජීවන ඉතිහාසයයි. මට අවබෝධ වෙන ආකාරයට, දෘෂ්ඨිවාදී ප්‍රවර්තනයක් (ideological conversion) සිදු වන්නේ කෙලෙසද කියන එක සම්බන්ධයෙන් කෙනෙකුට මෙයින් යම් පාඩමක් ඉගෙන ගත හැකි වේ.   

 

මගේ ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් නම් කරන්න කියා මට කවුරුන් හෝ පවසුවොහොත් මට දිය හැකි ක්ෂණික පිළිතුර වන්නේ මගේ ගැටවර අවධියේ එක්දිනක නලින් ද සිල්වා නම් පුද්ගලයෙකු විසින් ලියා තිබුණු “ප්‍රභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා සහ මස්සිනාලා” කෘතිය මාගේ පියාගේ පුස්තකාලයේ තිබී අහම්බෙන් පෙරළීමයි. මට කිසිසේත් පුරෝකථනය කල නොහැකි වූ අනාගතයකට මා ස්ථිර ලෙස ගැට ගසන ලද්දේ මෙම අහඹු මුණගැසීමයි. 

 

පොතේ ආකෘතිය අමුතු විය. එහි තිබුනේ ප්‍රශ්න සහ පිළිතුරුය. නම සඳහන් නොකළ කෙනෙකු විසින් අසන ලද ප්‍රශ්න වලට නම සඳහන් නොකළ කෙනෙකු විසින් පිළිතුරු දෙයි. මට ඇති වුනේ ඉතාමත් ප්‍රවේගකාරී සංවාදයක් මැද්දට අහසින් වැටුණු මිනිසෙක් වගේ හැඟීමක්:

 

– ඇතැමුන් කියන්නේ උතුරු හා නැගෙනහිර ඇති වී තිබෙන ප්‍රශ්නයට හේතුව දේමළ ජනයාට සිදු වී තිබෙන අසාධාරණය බවයි. එය සැබෑවක් නොවේද?

 

– මේ අසාධාරණකම් මොනවාදැයි ඔබට කිව හැකිද?

 

– සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, ප්‍රමිතිකරණය, ජනපදකරණය ආදිය.

 

– මේ සියල්ල සිදු වූයේ 1950 ට පසුවයි. එහෙත් වවුනියාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ සී. සුන්දරලිංගම් මහතා ඊළමක් ගැන කතා කලේ හතලිස් ගණන් වල මුලයි…. “

 

මෙලෙස ආරම්භ වුනු මාගේ චාරිකාව ඉතාමත් කෙටි කලකින් මාව උග්‍ර ජාතිකවාදියෙකු බවටත්, නලින් ද සිල්වා මහතාගේ උග්‍ර අනුගාමිකයකු බවටත් පත් කරන ලදී. ඉන්පසු ගත වූ වසර පහක පමණ කාලය තුල මට නියත ලෙස හැඟී ගියේ දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම සිදු වූ අසාධාරණය යන්න කෙදිනකවත් සාධනය කල නොහැකි අමූලික බොරුවක් බවයි. එය නිකන්ම නිකන් බොරුවක් නොව, මෙරට බෙදා වෙන්කර ගැනීමටත්, යටත්විජිතවාදීන් විසින් ප්‍රදානය කරන ලද අයුක්තිසහගත වරප්‍රසාද වර්තමානය තුලත් රැක ගැනීම සඳහාත් දෙමළ ජාතිවාදී දේශපාලන නායකයන් විසින් ගොතන ලද බොරුවක් විය.

 

මතක නැති තරම් මාක්ස්වාදීන් සහ ෆෙඩරල්වාදීන් ප්‍රමාණයකගෙන් මම මෙම ප්‍රශ්නය ඇසුවෙමි:

 

‘දෙමළ ජනයාට දෙමළ වීම නිසාම සිදු වී ඇති අසාධාරණය කුමක්ද?’

 

නමුත් එයට මතක ඇති විදියේ පිළිතුරක් කෙදිනකවත් නොලැබිණි. මාගේ ආස්ථානයේ නිවැරදි බව මට යලි යලිත් තහවුරු විය.

 

“ප්‍රභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා, සහ මස්සිනාලා” යනු නලින් ද සිල්වාගේ ප්‍රධානම ‘දේශපාලනික ලියවිල්ල’ ලෙස හඳුනා ගන්නවානම් ඔහුගේ ප්‍රධානම ‘දාර්ශනික ලියවිල්ල’ වන්නේ “මගේ ලෝකය” කෘතියයි. නියමිත පරිදි මාගේ මීළඟ හැරවුම් ලක්ෂ්‍යය වූයේ “මගේ ලෝකය” කියවීමයි. පළමු කෘතිය විසින් මාව නොනිමි කුණාටුවකට අසු කලේනම් දෙවැන්න මගින් මා දෙපයින් ඔසවා වට කීපයක් කරකවා සිතිජයෙන් ඔබ්බට වීසි කරන ලදී.

 

‘මනසින් තොරව යථාර්ථයක් තිබේද කියා මනසින් තොරව ඔප්පු කරන්නේ කෙසේද?’   

 

පළමු ප්‍රශ්නයට කෙදිනකවත් පිළිතුරු නොමැති වේ කියා සිතු මට මෙම දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට සිතීමත් විහිළුවක් කියා සිතුනි. යථාර්ථය ලෙස අප හඳුනා ගන්නා දෙය එලෙස හඳුන ගන්නේ එය අපගේ මනස තුල නියෝජනය වන නිසාය. එවිට එම මානසික නියෝජනය නොමැති යථාර්ථය කුමක්ද කියා අපිට පැවසිය නොහැකි වේ. එම නිසා පරම ලෙස නිවැරදි වන්නේ කුමක්ද කියා පැවසිය නොහැකි වූ අතර සෑම දැනුමක්ම සාපේක්ෂ විය. 

 

පිළිතුරු නොමැති ප්‍රශ්න දෙකක්. ජයගත නොහැකි අභියෝග දෙකක්.

 

‘දෙමළාගේ ප්‍රශ්නය’ සහ ‘යථාර්ථයේ ප්‍රශ්නය’.  

 

මෙම ප්‍රශ්න දෙකින් මට වඩාත් කරදර කල ප්‍රශ්නය වූයේ දෙවැන්නයි. 

 

එක අතකින් දෙමළාගේ ප්‍රශ්නය පිළිබඳව තව කියන්නට දෙයක් නොවීය. හේතුව පැහැදිලි විය. එනම්, දෙමළ ජාතිවාදයයි. පිළිතුරද පැහැදිලි විය. එනම්, දෙමළ ජාතිවාදය මිලිටරිමය ලෙසද, දේශපාලනමය ලෙසද, මතවාදී ලෙසද පරාජය කල යුතුව තිබේ. එයිනුත්, එම අවසාන ජයග්‍රහණය, එනම් දෙමළ ජාතිවාදය මතවාදීව පරාජය කිරීම, අප ඒ වනවිටත් ඉටු කරගෙන තිබුනෙමු. ඉතිරි ජයග්‍රහණයන් දෙක වෙනුවෙන් මට කල හැකි වැඩ කොටස ඉතා සීමිත විය. 

 

අනෙක් අතට, යථාර්ථය පිලිබඳ ප්‍රශ්නය එලෙස නොවීය. ‘දර්ශනය’ පිලිබඳ මාගේ උනන්දුව එමගින් යාන්තම් ඇති කළා පමණි. අනෙක් අතට ඇත්තටම යථාර්ථයක් නැතිද? මේක බැලූ බැල්මට පරස්පර විරෝධී නොවේද? නමුත් නලින් ද සිල්වා ගේ ශක්තිමත් තර්කය බිඳ හෙලන්නේ කොහොමද? මතක විදියට 1998 දී පමණ වෙනත් නමකින් පුවත්පත් ලිපියක් ලියමින් මම නලින් ද සිල්වා මහතාගෙන් මෙවැනි ඉල්ලීමක් කළෙමි. එකල ඔහු BBC සංදේශයේ ප්‍රියත් ලියනගේ සමග විශාල රණ්ඩුවක පැටලී සිටියේය. මගේ ඉල්ලීම වූයේ මෙවැන්නකි. 

 

“ප්‍රියත් ලියනගේ වැනි අඳ බාලයන් හා වාද කරන්න මාදුළුවාවේ සෝභිත හිමිගේ සිට චම්පික රණවක දක්වා විශාල පිරිසක් සිටිති. අනෙක් අතට ‘මගේ ලෝකය’ පොත පිට වී දැනට සෑහෙන කලක් ගත වී ඇති අතර ඔබගෙන් එවැනි බුද්ධිමය මැදිහත්වීමක් නැවත වී නැත. ඔය අනවශ්‍ය රණ්ඩු වල පැටලෙන්නේ නැතිව, එවැනි බුද්ධිමය මැදිහත්වීමක් කරන්න”

 

අද සිට ආපසු හැරී බලන විට ඔහුට මෙය කල නොහැකි වූයේ මන්ද යන්නත්, මම ඉල්ලා සිටියේ කුමක්ද යන්නත් පැහැදිලි වෙයි. මවිසින් ඉල්ලා සිටියේ මහා දාර්ශනික පද්ධතියක් නිර්මාණය කරන ලෙසයි. හරියට කාන්ට් ගේ නැතිනම් හේගල් ගේ වගේ. නමුත් එවැන්නක් කිරීම සඳහා නලින් ද සිල්වා මහතාට පුහුණුවක් නොමැති විය. එම නිසා මාගේ පිපාසාව සංසිඳවා ගැනීමට මට වෙනත් ප්‍රවේශයන් සලකා බැලීමට සිදු විය. 

 

X කණ්ඩායම මට මුණ ගැසෙන්නේ මෙම සන්දර්භය තුළදීය. X කණ්ඩායම පිළිබඳව මට, උග්‍ර සිංහල ජාතිකවාදියෙක් ලෙස, ස්වභාවයෙන්ම, තිබුනේ නිශේධනාත්මක  ආකල්පයකි. නමුත් බොහෝ සිංහල ජාතිකවාදීන්ට වෙනස්ව මට ප්‍රශ්න එකක් නොව දෙකක් තිබුණු අතර එම නිසා දෙවෙනි ප්‍රශ්නය ඇසුරින් X කණ්ඩායම සමග ගණුදෙනු කිරීම සඳහා මානසික ඉඩ වෙන්කරගැනීම මට ගැටළුවක් නොවීය. 

 

කිසියම් කාලයක් මම සිටියේ එකපැත්තක නලින් සහ අනෙක් පැත්තේ X කණ්ඩායම අතර දෝලනය වෙමිනි. නමුත් මෙය ක්‍රමයෙන් X පැත්තට බර වූ අතර ඉතාම ඉක්මනින් මම පූර්ණ X සාමාජිකයෙක් විය. මම ක්‍රමයෙන් ව්‍යූහවාදයේ සහ මනෝවිශ්ලේෂණයේ එන මූලික සංකල්ප නම් කිරීමටත්, ඒවා හඳුන්වා දුන් චින්තකයන්ගේ නම් කීමටත් ඉගෙන ගත්තෙමි. යථාර්ථය පිලිබඳ ප්‍රශ්නයට මට මේවායින් පිළිතුරු ලැබුණු බවක් මින් නොකියවේ. X කණ්ඩායම මෙම ප්‍රශ්නයේදී හිටියේ යථාර්ථයට පක්ෂපාතී සහ නලින් ට ප්‍රතිවිරුද්ධ තැනයි. X කණ්ඩායම භෞතිකවාදී විය. නමුත් මෙය කිසිසේත්ම නලින් ට පිළිතුරක් නොවීය. එයට එකල තිබුණු පැහැදිලි කිරීම වූයේ ‘බල්ලා යන සංකල්පය සපා කන්නේ නැති උනත් භෞතික බල්ලා සපා කන බවයි’. මෙය මෙයසූ ගේ වචන වලින් කියන්නේනම් ‘බොළඳ යථාර්ථවාදයකි’ (naive realism). කෙසේ උවත්, ‘මගේ ලෝකය’ ඉක්මවා ගිය බොහෝ දේ තිබෙනා බවත්, මේවා බරපතල ලෙස ඉගෙන ගත යුතු බවත් මට ඉක්මනින් වැටහී ගියේය.

 

මේ කාලය තුල දී වැදගත් පෙරළියක් සිදුවිය. එනම්, යථාර්ථයේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ගිය නිෂ්ඵල මහන්සිය තුල මට අමතර වාසියක් ලෙස දෙමළාගේ ප්‍රශ්නයට පිළිතුරක් හමු වීමයි. මෙතනදී වැදගත්ම දෙය වන්නේ, යථාර්ථයේ ප්‍රශ්නයේදී මෙන් මම දෙමළාගේ ප්‍රශ්නයට X කණ්ඩායම තුල පිළිතුරක් බලාපොරොත්තු නොවීමය. මගේ ආරම්භක උපක්‍රමය, තරමක් ඒක මානීය විදියට කියන්නේනම්, මෙලෙස සාරාංශගත කල හැකිය. දෙමළා ගේ ප්‍රශ්නයට X කණ්ඩායමේ නොව ලොව කොතැනකවත් පිළිතුරු නොමැති වන්නේ එය ව්‍යාජ ප්‍රශ්නයක් වන නිසාය කියා එකල මම විශ්වාස කලෙමි. එම නිසා එම ප්‍රශ්නය සමග පැටලීමෙන් සිදුවන එකම දේ වන්නේ X කණ්ඩායම හරහා මට ඉගෙන ගැනීමට ඉඩ විවර වූ විකල්ප දැනුම් පද්ධතීන් සමග සම්බන්ධ වීමේ අවස්ථාව අහිමි වීම පමණක් වේ කියා මම සිතුවෙමි. එම නිසා මේ අනවශ්‍ය ප්‍රශ්නය අත හැර X කණ්ඩායමේ සැබෑ දැනුම සමග සම්බන්ධ වෙන එක වඩාත් ප්‍රයෝජනවත් වේ කියා මට සිතුණි. 

 

මෙම උපක්‍රමයේ ප්‍රතිපලයක් විදියට මම X කණ්ඩායමේ කිසිවෙකුගෙන් දෙමළා ගේ ප්‍රශ්නය ඔවුන් සාධනීය විදියට බාර ගන්නේ ඇයි කියන ප්‍රශ්නය අසන්නට උත්සාහ නොකලෙමි. මොකද ඒක ට පිළිතුරක් ඔවුන් ළඟ නොමැති බව මට විශ්වාස උන නිසාය. නමුත් දල වශයෙන් 2000 වර්ෂය අවසන් වන විට දෙමළාගේ ප්‍රශ්නය මට සෙමින් අවබෝධ වීමට පටන් ගැනිණි. නැවතත් අවධාරණය කල යුත්තේ මෙය සිදුවූයේ කවුරුන් විසින් හෝ මට එය ‘පැහැදිළි කර දුන්’ නිසා නොවන බවයි. X කණ්ඩායමේ එවැනි සාකච්ඡා නිල වශයෙන් සිදු නොවීය. නමුත් කවුරුවත් අමුතුවෙන් නොකිව්වාට, දෙමළා යනු මෙරට දෙවැනි පන්තියේ පුරවැසියෙක් බවත්, මෙම රාජ්‍යය තුල සිංහල වාර්ගික පක්ෂපාතිත්වයක් ඇති බවත්, එවන්නක දී දෙමළා විසින් ස්වයං පාලන බලයක්, ඔවුන් වැඩිදෙනා ජීවත්වන ප්‍රදේශ සඳහා ඉල්ලා සිටීම ට මට එරෙහි විය හැක්කේ මෙය සිංහලයාගේ රට යන තර්කයේ සිට පමණි යන්නත් මට හොඳින්ම පැහැදිලි විය. එවිට අප සිංහල ජාතිකවාදියෙකු වීම ප්‍රතික්ෂේප කරන්නේනම්, දෙමළා ගේ ස්වයං-නිර්ණ අයිතිය ප්‍රතික්ෂේප කිරීම කල හැක්කක් නොවේ.  

 

කවදාවත් පිළිතුරු දිය නොහැකිය කියා මා සිතූ ප්‍රශ්නයකට මට පිළිතුරු හමුවුනා පමණක් නොව එම පිළිතුරු කොතරම් සරල සහ සුපැහැදිලි ද වේද යත් අප සමාජයේ සාතිශය බහුතරයට ඒවා නොතේරීම සැබවින්ම මා මවිතයට පත් කරන්නක් බවටත් පත් වුනා! 

 

මම හිතන්නේ මාගේ මේ පුද්ගලික ජීවන අත්දැකීම, දෙමළාගේ ප්‍රශ්නය අවබෝධ කරගැනීම පොදු අවශ්‍යතා මොනවාද යන්න සඳහා මූලික උපන්‍යාස කීපයක් අප වෙත යෝජනා කරනා බවයි. 

 

මෙයින් ප්‍රධාන වන්නේ දෙමළා ගේ ප්‍රශ්නය අවබෝධ කර ගැනීම කිසිසේත්ම හුදු ‘කරුණු’ සහ ‘සාක්ෂි’ මත සිදු වන්නක් නොව මෙම ‘කරුණු’ සහ ‘සාක්ෂි’ යන්නවලුත් දෘෂ්ඨිවාදී ක්ෂේස්ත්‍රයක නිර්මාණයක් බව අවබෝධ කර ගැනීමයි. ‘ජාතික චින්තනය’ ෆේස්බුක් කණ්ඩායමේ සාමාජිකයන් සමග අප ඇති කරගෙන තිබෙන සංවාදය මගින් යලි තහවුරු කරන්නේ මෙයයි. අපි තරමක් මෙය විදාරණය කරමු.

 

දැන් මම සිංහල ජාතිකවාදියෙකු වී සිට කොමියුනිස්ට්වාදියෙක් බවට පරිවර්තනය වීම බරපතල පෙරලියක්. මම කැමති එවැනි පෙරළියකට දෘෂ්ඨිවාදී පෙරලියක් කියල නම් කරන්න. මෙතනදී දෘෂ්ඨිවාදය කියන එක සඳහා මම යොදා ගන්නේ ‘අපි දන්නා බව නොදන්නා දැනුමක්’ කියන ජිජැක් ගේ නිර්වචනය. මෙහි ප්‍රතිපක්ෂය ඇසුරින් අපිට මෙය වටහා ගැනීම ඉක්මන් කරන්න පුළුවන්. ඒ තමයි ‘අපි නොදන්නා බව දන්නා දැනුමක්’. නිදර්ශනයක් විදියට මගේ හිසේ හිසකෙස් කොපමණ සංඛ්‍යාවක් තියෙනවද කියල මම දන්නේ නැහැ. නමුත් මම එය නොදන්නා බව, මට එම දැනුම නොමැති බව මම දන්නවා. ඒ අනුව ‘මගේ හිසේ කොපමණ හිසකෙස් සංඛ්‍යාවක් තිබෙනවද කියා මම නොදනිමි යන්න මම දනිමි’ කියන එක ‘අපි නොදන්නා බව දන්නා දැනුමක්’. දෘෂ්ඨිවාදය කියන්නේ මෙහි ප්‍රතිපක්ෂය. ඒ කියන්නේ මට දැනුමක් තියෙනවා. ඒ දැනුමෙන් මම දේවල් තේරුම් ගන්නවා, අර්ථකථනය කරනවා, තීරණ ගන්නවා. නමුත් එවැනි දැනුමක් මට තියෙනවා කියලා මම දන්නේ නැහැ. 

 

මම මෑතකදී ලැබූ එක්තරා අත්දැකීමකින් අපිට මෙය පැහැදිලි කර ගන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ කරන එක්තරා නිලධාරියෙක්, ඔහු හා මා අතර තියෙන පුද්ගලික මිත්‍රත්වය උඩ, මගෙන් උපකාරයක් ඉල්ලුවා. ඒ තමයි ඔවුන්ගේ අලුත් ව්‍යාපෘතියක් පිළිබඳව කර තිබෙන වාර්තා චිත්‍රපටියක් නරඹලා එහි ගුණාත්මක බව වැඩි කර ගැනීම සඳහා මගේ යෝජනා ඉදිරිපත් කරන්න කියන එක. එකේ දර්ශන අතර තිබුනා දෙමළ පාසලක ළමයින් ටිකක් සින්දු කියන දර්ශනයක් සහ සිංහල පාසලක ළමයින් සින්දු කියන දර්ශනයක්. මේ දෙක පෙන්නද්දී මගේ මිත්‍රය මට කිව්වා මෙහෙම: “බලන්න අපේ අය වගේ නෙමෙයි උන් කොච්චර පණ ඇතුව සින්දු කියනවද කියල”. 

 

දැන්, මගේ මිත්‍රයා කියන්නේ සිංහල ජාතිකවාදය වෙනුවෙන් මහ ලොකුවට පෙනී ඉන්න කෙනෙක් නෙමෙයි සාමාන්‍ය රජයේ නිලධාරියෙක්. නමුත් එයා ගේ කටින් නොදැනුවත්වමම සිංහල සහ දෙමළ ළමුන් වර්ගීකරණය වෙනවා, පිලිවෙලින්, ‘අපි’ සහ ‘උන්’ කියලා. මම කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේක දෙමළා ගේ ප්‍රශ්නය වටහා ගන්න හොඳ නිදර්ශනයක් කියන එක නෙමෙයි. ඇත්තටම මගේ යෝජනාව මෙහි ප්‍රතිපක්ෂයයි. මම කියන්නේ දෙමළා ගේ ප්‍රශ්නය වටහා ගැනීමට සිංහල-බෞද්ධයාට අපහසු වන්නේ ඇයි කියන එක තේරුම් කරන්න මේක හොඳ නිදර්ශනයක් යන්නයි. මගේ මිතුරා දේශපාලනිකව සක්‍රීය ජාතිකවාදියෙකු නොවුනද ඔහු නොදන්නා තැනකින් ඔහුව බරපතල වැරද්දක් කිරීමට පොළඹවයි. ඒ තමයි ඔහු අවංකවම මහන්සි වෙලා වර්ධනය කරන්න උත්සාහ කරන ලංකාවේ පාසල් පද්ධතිය ඔහු නොදැනුවත්වම කොටස් දෙකකට කැඩීමයි. නමුත් අපි දන්නවා නිල වශයෙන් අධ්‍යාපනය පිලිබඳ ව රටේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම නියෝජනය කරන රාජ්‍ය නිලධාරියෙකුට සිංහල ද දෙමළ ද කියල වෙනසක් තියෙන්න බැහැ එයාට තියෙන්න පුළුවන් ශිෂ්‍යයා හා ශිෂ්‍යාව කියන ගණික (generic) ප්‍රවර්ග විතරයි කියන කාරණය. නමුත් ඔහු එය නොදැනුවත්වම කරනවා (ඒ කියන්නේ ඔහු දන්නා බව – සිංහල සිසුන් තමයි ‘අපේ’, දෙමළ සිසුන් කියන්නේ ‘අපේ’ පාසල් පද්ධතියේ කොටසක් නෙමෙයි). දෘෂ්ඨිවාදය කියන්නේ මෙයයි. ඉහත නිදර්ශනයෙන් පැහැදිලි වෙනවා අපේ රටේ රාජ්‍ය නිලධාරීන් මේ රටේ ජනයා ගැන හිතන්නේ ශ්‍රී ලාංකිකයන් ලෙස නෙමෙයි වාර්ගිකව බෙදා වෙන් කරගෙන කියලා. ඔහොම කිරීමෙන් අපිට පැහැදිලිව ඔප්පු වෙනවා රාජ්‍ය කියන එක ජනවාර්ගිකව පක්ෂපාතී (ethnically biased) කියන එක. දෙමළාගේ ප්‍රශ්නය වන්නේ මෙය මිස වෙන කිසිවක් නොවේ.

 

නමුත් මට අවධාරණය කිරීමට අවශ්‍ය වන්නේ මෙය නොවේ. ඉහත විශ්ලේෂණය කියවූ සිංහල ජාතිකවාදියෙකු එමගින් දෙමළාගේ ප්‍රශ්නය අවබෝධ කර නොගන්නා බව මම හොඳින් දනිමි. නිදර්ශනයක් විදියට ඔවුනට මෙවැන්නක් කිව හැකිය: “ජනවාර්ගිකව පක්ෂපාතී නොවුණු රාජ්‍යයන් කොහෙද තියෙන්නේ? එංගලන්තය කියන්නේ ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ට පක්ෂපාතී වෙච්ච රාජ්‍යයක්. ඉන්දියාව කියන්නේ හින්දු සංස්කෘතිය ප්‍රමුඛ වෙච්ච රාජ්‍යයක්. ඒක තමයි ශා රුක් ඛාන් ලඟදි කිව්වේ ඉන්දියාවේ මුස්ලිම් මිනිහෙක් ලෙස ඉපදීම කරුමයක් කියලා. දැන් කොහෙවත් නැති එකක් අපේ රටේ විතරක් කරන්නේ කොහොමද? ඕනෑම රාජ්‍යයක ප්‍රධාන සංස්කෘතියක් තියෙනවා. එහෙම නැතුව රාජ්‍ය පවතින්න බැහැ”. 

 

මේ විග්‍රහය පදනම් වන්නේ ජාතික රාජ්‍යය ස්වභාවික කිරීමක් තුලයි. වෙනත් වචන වලින් කියනවානම් වඩා සාධාරණ සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම කල නොහැකි වේ කියනා අදහස මතයි. එම තර්ක කිරීම ට අනුව උපරිම වශයෙන් අපට කල හැකි වන්නේ ප්‍රධාන ජාතියේ තිබෙනා ආචාර්ය ධර්මයන් ට අනුව සකස් වූ (උදා: සිංහල බෞද්ධ රාජ්‍යය) පාලන ක්‍රමයක් නිර්මාණය කර ගැනීමයි (මේ අර්ථයෙන් ගත්විට එම පාරිශුද්ධ ජාතික රාජ්‍යය යනු එකම යුතෝපියාව වේ. මන්ද, ජාතික රාජ්‍යය යන්න පැහැදිලි යථාර්ථයක් වූ අද දවස තුල පවා එවැන්නක් ප්‍රායෝගිකව පෙන්විය නොහැකි වීමයි. අද ලොව කොතැනකවත් එවැනි පරමාදර්ශී ජාතික රාජ්‍යයන් නොමැති වේ. පවත්නේ ධනවාදයට හොඳින්ම මුහු වූ ජාතිකවාදයන්ය). නමුත් ජාතික රාජ්‍යය කියන එක ඉක්මවූ සහ රාජ්‍යය යන මර්ධනකාරී උපකරණය නොමැති සමාජයක් පිළිබඳව ඇති උපන්‍යාසයක් මත ක්‍රියාකාරී වන මා වැනි කෙනෙකු මෙතනදී මුහුණ දෙන අපහසුතාවයක් තිබේ. එනම් ජාතික රාජ්‍යයට ප්‍රායෝගික විකල්පයක් පෙන්වීමේ නොහැකියාවයි. වෙනත් ලෙසකින් කියන්නේනම් අප ජීවත් වන්නේ විසි වෙනි සියවසේ කොමියුනිස්ට් ව්‍යාපාරය සහමුලින් පරාජය වූ සන්දර්භයක වීමයි. අපිට ධනේශ්වර ජාතික රාජ්‍යයන්ට ගෝලීය විකල්ප නොමැති වේ – එනම් අපගේ දෘෂ්ඨිවාදී කඳවුර තිබෙන්නේ ඉතාමත් දුර්වල අඩියක වේ. සියල්ලට ප්‍රථමයෙන් කල යුත්තේ කොමියුනිස්ට් උපන්‍යාසය සඳහා යලි කතිකාමය පැවැත්මක් ලබා දීම කියා බදියු පවසා සිටින්නේ මෙම නිසාය. මෙය අපහසු උවත් තෘප්තිමත් වැඩකි.  

 

අපගේ ෆේස්බුක් සම්භාෂකයන් සමග ඇති සන්දර්භය තුල මේ සඳහා මා යෝජනා කරන්නේ අප නලින් ද සිල්වා ගේ දාර්ශනික අඩංගුව ප්‍රශ්න කල යුතු බවයි. ‘දෙමළා ගේ ප්‍රශ්නය’ ට වඩා ‘යථාර්ථයේ ප්‍රශ්නය’ සමග අභිමුඛ වීමේ එක් ප්‍රධාන පහසුවක් තිබේ. එනම් එම ප්‍රශ්නයේ දෘෂ්ඨිවාදී අඩංගුව, දෙමළා ගේ ප්‍රශ්නයට සාපේක්ෂව ගත්විට බොහෝ සේ අඩු වීමයි. මෙයම වෙනත් විදියකට කිව හැකිය. දෙමළා ගේ ප්‍රශ්නය වෙනුවෙන් අප කතා කිරීමට උත්සාහ කරන මොහෙතේම අප සමග උරණ වන සිංහලයන් විශාල පිරිසක් – ඇත්තටම අතිවිශාල පිරිසක් – සිටියත්, ‘යථාර්ථය’ වෙනුවෙන් අප කතා කිරීම පිළිබඳව එවැනි විරෝධයක් මතු නොවේ. තවත් එක් විදියකට මෙය කියනවානම් මින් අදහස් වන්නේ මෙම ගැටළුව දෙමළාගේ ප්‍රශ්නය මෙන් නොව තාර්කික ලෝකයක් තුල විසඳා ගැනීමට වැඩි හැකියාවක් තිබෙන බවයි.

 

අනෙක් අතට ජාතික සංස්කෘතිය අනිවාර්යකරණය කිරීමේ පදනම වන්නේ මෙම සාපේක්ෂතාවාදයයි. විසි වෙනි සියවසේ බොල්ෂෙවික් කාඩර්වරයා ක්‍රියාත්මක වූයේ තමන් ඉතිහාසයේ පෙරගමන්කරුවන්ය යන අචල විශ්වාසය උඩයි. ඔහුට අනුව ඉතිහාසයේ ගමන් මග පිළිබඳව ඔහුගේ (හේගලියානු) දැක්ම සාපේක්ෂ දැනුමක් නොව නිරපේක්ෂ දැනුමක් විය. ඔහු සිටියේ සත්‍යය පැත්තේය. මාක්ස්වාදයේ පරාජය සමගම අපට අහිමි වී ගියේ මෙම ‘සත්‍යයයි’. මෙම ‘විශ්වීයත්වයයි’. මේ අනුව අද දවස තුල මෙම යල් පැන ගොස් ඇතැයි කියා සිතෙන දාර්ශනික සංකල්ප යළි ගොඩ ගැනීමේ දේශපාලනික අවශ්‍යතාවයක් තිබේ. වාර්ගික සහ ආගමික අන්තවාදය විසින් යෝජනා කරන සාපේක්ෂතාවාදී  ලෝකයට එරෙහිව අප නැවතත් භෞතික යථාර්ථය පිළිබඳව සාකච්ඡාව සංවාද මේසයට ගත යුතුය.   

 

මින් අදහස් වන්නේ අප දෙමළාගේ ප්‍රශ්නය පිළිබඳව ඍජුව සාකච්ඡා නොකළ යුතුය යන්න නොවේ. විශේෂයෙන්ම මෙරට ඉතිහාසය පිළිබඳව අප පාසල් පෙළ පොත්වල ඉගෙන ගත් අතිශය ගැටළුකාරී අර්ථකතනයන් ප්‍රශ්න කිරීම, මා සිතන ලෙස අද දවසේ මූලික අවශ්‍යතාවයකි. නමුත් ඒ හා සමගාමීව, අතිශයින් දියුණු දාර්ශනික ආස්ථානයන් වල තමන් සිටිනවා කියා සිතමින් සිටිනා නලින් ද සිල්වා ගේ දුර්වල දාර්ශනික පොළොව ඇතුලතින් පුපුරවා හැරිය යුතු වේ. මාගේ ඉදිරි ක්‍රියාකාරකම් දිශානත වන්නේ මෙම දෘෂ්ඨිවාදී මෙහෙයුම වෙතටයි.

වංගීස සුමනසේකර 

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to ප්‍රශ්න දෙකේ දයලෙක්තිකය – දෙමළාගේ ප්‍රශ්නය වටහා ගැනීමේ මගේම පුංචි පුද්ගලික ඉතිහාසය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )