දෙමළ ජනයාගේ තීන්දුව!

Image of the Fish God 1956 by Alan Davie born 1920සැප්තැම්බර් 21 වනදා පැවැති උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය (TNA) ලැබූ ජයග්‍රහණය හුදු දෙමළ සන්ධානයේ ජයග්‍රහණයක් පමණක් නොවේ. එය දෙමළ ජනතාවගේ ජයග්‍රහණයකි. එය ඔවුන්ගේ නීර්භීතකමත්, එකමුතුකමත් මනාව පෙන්නුම් කරන්නකි. එය එසේ විය යුතුව තිබුණි; මන්ද යත් 21 වැනිදා පැවැති මැතිවරණය හුදු පලාත් සභා  මැතිවරණයක් පමණක් නොවන බැවිනි.   එක් අතකට එය දෙමළ ජනයාගේ ස්වයංනීර්ණ අයිතියත්, (self-determination) එම අයිතිය එක්සේසත් රටක් තුළ ක්‍රියාත්මක කිරීමත්, වැනි ඉල්ලීම් පිළිබඳව පැවැත්වූ ජනමත විචාරණයක් බඳු විය. සිංහල ජාතිකවාදීන් තිගැස්සුනේද මෙම මැතිවරණය එවැනි ස්වරෑපයක් ගත් බැවිනි.

සිංහල – දෙමළ ප්‍රශ්නය

ලාංකීය සිංහල/දෙමළ ප්‍රශ්නය පිළිබඳව උතුරු මැතිවරණ ප්‍රතිඵලය කියා සිටින්නේ කුමක්ද?

(1)        පළමුව, මෙම ප්‍රශ්නය හුදු මානව අයිතිවාසිකම පිළිබඳව හෝ දෙමළ ජනයාට  (තව ටිකක් විතර!)           හිතැති ලංකා ආණ්ඩුවක අඩුව හෝ ආර්ථික සංවර්ධනයෙහි අඩුවක් පිළිබඳ හෝ පමණක්       ප්‍රශ්නයක් නොවන බවයි. මෙම ප්‍රශ්නය ඊට වඩා බරපතලවූත්, සංකීර්ණවූත්, දෙමළ ජනයාගේ         ඉතිහාසය, ස්වයංනීර්ණ අයිතිය සහ සමානත්මතාවය පිළිබඳ ගැඹුරු ප්‍රශ්නයක් බවයි. මෙවැනි          ප්‍රශ්න හුදු 17 වැනි සංශෝධනයකින් විසඳිය හැකි ප්‍රශ්න නොවන බවයි.

(2)        දෙවනුව සිංහල ජනයා කෙසේ පැවැසුවත්, උතුරු පලාත් සභා මැතිවරණයෙන් පිළිබිඹු වන තවත් දේශපාලනික කරුණක් වන්නේ උතුරු පලාත දෙමළ ජනයාගේ නිජ භූමියක් (හෝ ඓතිහාසික වාස භූමියක්) වන බවයි. මෙම සංකල්ප අපැහැදිලි, අනියත සංකල්පයක් බව ඇත්තකි. නමුත් මෙහිදී මතක තබා ගත යුතු කරුණ වන්නේ ඉතිහාසය පිළිබඳ විද්වතුන් කෙසේ කීවත්, නිජභූමි/ඓතිහාසික වාසස්ථාන වැනි සංකල්ප දේශපාලනිකවූත්, දේශපාලන ක්‍රියාදාමය මගින් තීව්ර වන, තහවුරු වන සංකල්ප බවත්ය. මෙවැනි තත්ත්වයක් තුල, ලංකාවට පළමුව පැමිණියේ කවුද, කවදාද, කොහෙන්ද යන ප්‍රශ්නය එතරම් වැදගත් වන්නේ නැත. ජාත්‍යන්තර නීතියට අනුවත්, මෙවැනි ප්‍රශ්න එතරම් වැදගත් වන්නේ නැත.  වැදගත් වන්නේ එම ප්‍රදේශවල ජනයා වසර ගණනාවක් තිස්සේ කළ ඉල්ලීම් මොනවාද, එම ඉල්ලීම් කළ පලාත් සඳහා වෙනම පලාත් සභා / පාලන ක්‍රමයක් පිහිටුවා ඇත්ද, ඔවුන්ගේ නිජභූමි සංකල්පය සනිටුහන් වන ආකාරයට ඔවුන් ජන්දය දී ඇත්ද යන්න වැනි ප්‍රයෝගික ප්‍රශ්න සමූහයකි. එක් අතකින්, මෙම මැතිවරණය තිබීමෙන් ආණ්ඩුව කර ඇත්තේද මෙයයි.

(3)        තුන්වනුව මෙම මැතිවරණයෙන් පෙනී යන්නේ දෙමළ ජනයා ආණ්ඩුව තරයේ ප්‍රතික්ෂේප කල බවයි; එනම්, තමන් ‘උතුරු වසන්තයත්’, ඩග්ලස් දේවානන්දගේ දේශපාලනයත් තරයේ ප්‍රතික්ෂේප කළ බවයි. මෙවැනි ආණ්ඩු විරෝධී අභියෝගයක් දකුණේ ජනයාගෙන් අපේක්ෂා කළ නොහැක. ලංකාව වනාහි අතිශයින් භේද බින්න වූ සමාජයක් බවත් එයින් ඔප්පු වේ.

සිංහල ජාතිකවාදය

එනමුත්, උතුරු මැතිවරණයෙන් දෙමළ ජනයා (සහ දෙමළ ජාතිකවාදය) ජයගත්තාසේම, එය සිංහල ජාතිකවාදයේ විශ්ලේෂණය යම් දුරකට තහවුරු කරයි. එය එසේ වන්නේ ඇයි?

(1)        පළමුව, ඉහත සඳහන් කල පරිදි, ලංකාවේ සිංහල – දෙමළ ප්‍රශ්නය, දෙමළ ජාතිකවාදයෙහි ප්‍ර      ශ්නයක් බව මහාචාර්ය නලින් ද සිල්වා වැන්නවුන් අවුරුදු ගණනක් තිස්සේ කියන්නකි. ඔවුන්           එය කියන්නේ මා අදහස් කළ අර්ථයෙන් නොවුනත්, දෙමළ ජාතිකවාදය මෙම ප්‍රශ්නයේ         ප්‍රධානවූත්, යම් දුරට කේන්ද්‍රීයවූත්, ලක්ෂණයක් බව ඔප්පු වුනේ සී.වී. විග්නේෂ්වරන් මහතා          උතුරේ ජන්ද රැස්වීම් වලදී පැවැසූ කාරණා මඟිනි. එතුමාට ප්‍රභාකරන් ගැන කියන්නට සිදුවූයේත්     දෙමළ ජාතිකවාදී ආකල්ප අවදි කිරීම අවශ්‍ය වූ බැවිනි.

(2)        දෙවනුව, සිංහල ඉතිහාසඥයින් වන ආචාර්ය ජී.එච්. පීරිස් වැන්නවුන් මෑතකදී ඉංග්‍රීසි පුවත්පත්වල කියා සිටියේ ඉන්දු-ලංකා ගිවිසුමත්, 13 වැනි සංශෝධනයත්, දෙමළ නිජභූමි සංකල්පයත් තහවුරු කරන්නක් බවයි (මීට පිළිතුරු වශයෙන් ආචාර්ය දයාන් ජයතිලක වැන්නවුන් කියන්නට තැත් කලේ එය එසේ නොවන බවයි). ආචාර්ය පීරිස් පැවැසූ දෙය යම් දුරට නිරවද්‍ය බව දැන් ඔප්පු වී             ඇත. දෙමළ නිජභූමි සංකල්පය තවත් සනාථ වන්නේ මැතිවරණයේදී දෙමළ ජනයා දුන් තීන්දුව          මතය.

(3)        තෙවනුව, මෑතකදී එස්.එල්. ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ 13 වැනි සංශෝධනය පලාත්             සභාවලට හෝ එම පලාත්වල ජනයාට බලය බෙදා දෙන යාන්ත්‍රණයක් නොවන බවත්, එය ඒ ඒ    දේශපාලන පක්ෂවල ප්‍රභූ පිරිස් සඳහා වූ දෙයක් බවයි. මෙයින් ඔහු අසා සිටියේ, පලාත් සභා     ක්‍රමය ජනතාවට බලය බෙදා දෙන්නේ නම්, කොළඹ සිටින විග්නේෂ්වරන් මහතා උතුරේ    කරන්නේ කුමක්ද යන්නයි. මෙයද සාධාරණ ප්‍රශ්නයක් බව තහවුරු වූයේ මාවෙයි සේනාධිරාජා    වැන්නවුන්ට සිදුවූ දෙයිනි.

කල යුතු (සමහරක්) දේ

විග්නේෂ්වරන් මහතා ප්‍රභාකරන් ගැන පෑවසු සමහරක් දෑ අනුමත කල නොහෑක. එබැවින් මින් පසුව හෝ මීට වඩා සිතන්නට දෙමළ දේශපාලඥයින්ට සිදුවනු ඇත.

මින් අදහස් කරන්නේ දෙමළ ජාතිකවාදීන් දැන් නිවටයින් ලෙස සිටීම නම් නොවේ. ඔවුන් කල යුතු දෙයක් වන්නේ, තමන්ගේ ස්වයංනීර්ණ අයිතියත්, එයින් ලබන්නාවූ ස්වයං පාලන නිදහසත්, ලාංකීය දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී කරන්නක් බව පෙන්වීමයි. තමා ස්වයංනීර්ණ අයිතිය ඉල්ලා සිටින්නේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට නොවන බව පෙන්වීමයි; එය එක්සේසත් ලංකාවක් තුළ තම සම අයිතීන් සඳහා කරන අරගලයේ සටන් පාඨයක් බව පෙන්වීමයි.

ඒවගේම තමන්ටම ආවේනික වූ දෙමළ – හින්දු අනන්‍යතාවයක් ගොඩනැගීමටද ඔවුන් කටයුතු කළ යුතුයි. මෙම දෙමළ – හින්දු ලාංකීය අනන්‍යතාවය දකුණු ඉන්දුයානු සහ බටහිර අනුභාවයෙන් බිඳුණු එකක්ද විය යුතුයි. එයද ලාංකීය දෙමළ ජනයාගේ ජයග්‍රහණයක් වනු ඇත. ඒවගේම, සිංහල ජනයාද සිංහල – දෙමළ ප්‍රශ්නය පිළිබඳ මීට වඩා ගැඹුරින් සිතා බැලිය යුතුයි. ‘යුද්ධයෙන් පසු දැන් අපට පාරෙ බැහැල යන්න පුළුවන්නේ’ යන සිතුවිල්ලෙන් මිදී, දිවා – රෑ කොටියාව පට්ට ගැසීම නවත්වා, අප හමුවේ තිබෙන ප්‍රශ්නයේ සංකීර්ණ බව වටහාගත යුතුයි. දෙමළ ජනයා රූකඩ වැනිය, ඔවුන් දෙමළ දේශපාලඥයින්ගේ හෝ දෙමළ ඩයස්පෝරාවේ පදයට නටන මෝඩයින්ය, යන අධම සිතුවිල්ලෙන් බැහැර විය යුතුය.

මින් අදහස් වන්නේ මෙසේ කල පමණින් ප්‍රශ්නය විසඳෙන බවක් නම් නොවේ. නමුත් එසේ කිරීමෙන් අප අද මුහුණ පා ඇති තත්ත්වයට වඩා සුභදායී ලෙස මෙම ප්‍රශ්නය විසඳීමට හැකි අඩිතාලමක් ඉන් ස්ථාපනය වන බව පමණි.

අනුමිතිය

අදින් පසු මෙම ප්‍රශ්නය කෙසේ වර්ධනය වේදැයි අපට කිව නොහැක. නමුත් දැනට අප ඉදිරියේ තිබෙන ප්‍රශ්නයක් වන්නේ: දෙමළ ජනයාගේ සැප්තැම්බර් 21 තීන්දුව අප පිළිගතයුත්තේ හෝ එය පැසසිය යුත්තේ ඇයි යන්නය. එසේ කල යුත්තේ වසර ගණනාවක් මුළුල්ලේ බැට කා වියරුවට පත්වූ දෙමළ ජනතාව තම දේශපාලන තීන්දුව අනේකවිඳ බාධක සහ තර්ජන හමුවේද පැකිලීමකින් තොරව, නිර්භයව ප්‍රකාශයට පත් කළ බැවිනි. මෙම තීන්දුව අප පැසසිය යුත්තේ එය යුධ ජයග්‍රහණයෙන් මත්වී නිදි කිරා වැටෙමින් සිටි සිංහල ජනයාව අවදි කළ බැවිනි. එය පැසසිය යුත්තේ සංහිඳියාව යනු අප දෙසට බඩගාගෙන එන දෙමළාව වැළඳගැනීම නොව, අප මෙන් නොසිතන, ඔවුන්ට ඔවුන් පිළිබඳ ආත්මාභිමානයක් ඇති, දෙමළා සමඟ ජීවත් විය යුතුයි යන්න මතක් කර දුන් බැවිනි. මෙම තීන්දුව තවත් වැදගත් වන්නේ දකුණේ පවතින දේශපාලන පක්ෂ කෞතුක වස්තූන් බවට පත්වෙමින් තිබෙන අවදියක, දේශපාලන අරගලය සහ කඩා බිඳ දැමිය නොහැකි බව (resilience) පිළිබඳ පාඩමක් දෙකක් දකුණටත් කියාදුන් බැවිනි. දෙමළා යනු මාගේ සමානයෙක් ලෙස සලකන්නා වූ අප වැනි සිංහලයන්ට, අවසාන අර්ථයේදී මෙය අපගේම ජයග්‍රණයකි. වඩාත් නිවැරදිව කියන්නේනම් මෙය ‘මාගේ’ හෝ ‘අනෙකාගේ’ හෝ නොවන පොදු-වූ-දෙය (the Commons) තුළ සහ එය වෙනුවෙන් ලැබූ ජයග්‍රණයකි.

කළණ සේනාරත්න

Colombo Telegraph වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල අනුවාදයයි. අනුවාදය කර්තෘ ගෙනි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )