දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වාට පිළිතුරු (4 කොටස)

සිංහල ජාතිකවාදී කතිකාව තුළ සිරවූ දෙමළාගේ ප‍්‍රශ්නය

Bracha_L._Ettinger1මෙම ලිපි පෙළට ඉතා උනන්දුවෙන් ප‍්‍රතිචාර දක්වන ‘ජාතික චින්තනය’ නමින් හැඳින්වෙන ෆේස්බුක් කණ්ඩායමේ ප‍්‍රතිචාර දක්වන්නන් ඉතාම නො ඉවසිල්ලෙන් අසන ප‍්‍රශ්නයක් වන්නේ මා ප‍්‍රශ්නය වටේ කැරකෙමින් සිටියත් ප‍්‍රශ්නයට ඍජු පිළිතුරක් දෙන්නේ නැති බවයි. එසේ වීමට ප‍්‍රධාන හේතුව ලෙස ඔවුන් දක්වන්නේ දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ඇති ප‍්‍රශ්නයක් ඇත්ත වශයෙන්ම නොමැති බැවින් එවැන්නක් ඇති බව පෙන්වා දීමද නොහැකි දෙයක් බවයි. සමහර විට ඔවුන් උපහාසයෙන් පවසන්නේ ‘විසිල් ගැසුවාට බල්ටි නැති’ බවත් ‘නටපු නැටුමකුත් නැති නමුත් බෙරේ පලූවක්ද නැති’ බවයි. ඊට අමතරව නලින් ද සිල්වා පවසන ආකාරයට අප වැන්නන් කිසිම දෙයක් තර්කානුකූලව අවබෝධ කරගැනීමට අසමත් පිරිසක් වීම ද මෙම ප‍්‍රශ්නයට ඍජු පිළිතුරක් නොසැපයීමට හේතුවක් බව ඔවුහු දක්වති.

මෙහි ගැටලූව වන්නේ මෙම විවේචකයින් බලාපොරොත්තු වන්නේ තමන් විසින්ම නිර්මාණය කරනු ලැබූ කතිකාව තුළ පිහිටුවිය හැකි පිළිතුරක් වීමයි. එවැන්නක් සැපයීම පහසු කටයුත්තක් නොවන්නේ එවැනි ප‍්‍රශ්නයක් ඇත්ත වශයෙන්ම නොපවතින නිසා නොව එම කතිකාව නිර්මාණය වී ඇත්තේම දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ප‍්‍රශ්නයක් නොමැති ය යන අදහස ස්ථාපිත කිරීමට වීම නිසායි. ඔවුන් සාමාන්‍යයෙන් සිදුකරන දෙය වන්නේ පිළිතුර කල්තියාම නිශ්චය කරනු ලැබූ ප‍්‍රශ්න තුළ සිරවී සිටීමයි. මෙය ඔවුන්ගේ ගැටලූවක් පමණක් බව මෙයින් කිසිසේත්ම අදහස් නොවේ. එය ඕනෑම විෂය කේන්ද්‍රීය නැඹුරුවක් (subjective orientation) සහිත කතිකාවක ලක්ෂණයකි. අව්‍යාජ ශාස්ත‍්‍රීය කතිකාවක මූලික ලක්ෂණයක් වන්නේ සාකච්චාවට භාජනය වන වස්තුව පිළිබඳ සත්‍යය දැනගැනීමේ නැඹුරුවක් (objective orientation) ඇතිකර ගැනීමයි. අවශ්‍ය වුවහොත් මේ පිළිබඳව වැඩි දුර විස්තර පසුව සාකච්චා කළ හැක.

ඇත්ත වශයෙන්ම අදාළ ප‍්‍රශ්නයට ඍජු පිළිතුරක් අවශ්‍යනම් එය දැනටමත් සපයනු ලැබ ඇත. එම පිළිතුර නැවත ගොනු කරන්නේ නම් මෙසේය:

‘දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප‍්‍රශ්නය වන්නේ දේශපාලන අභිලාෂයක් සහිත ප‍්‍රජාවක් ලෙස තම සවෛරීභාවය (sovereignty) සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය දේශපාලන බලය නොමැති වීමයි. එලෙස සිය සවෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප‍්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප‍්‍රදේශය (territory) බාහිර බලයක් විසින් ආක‍්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි.’

මෙම පැහැදිළි කිරීමට සිංහල-බෞද්ධ ජාතිකවාදී කඳවුරේ කිසිවෙක් එකඟ නොවන බව අමුතුවෙන් කිවයුතුද? මේ ලිපි පෙලේ විවේචකයින්ට මගේ යොජනාව වන්නේ ‘දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක් ද?’ යන ප‍්‍රශ්නයට මගේ පිළිතුර මෙය නිසා හැකිනම් ඊට අභියෝග කරන ලෙසයි. විශේෂයෙන්ම ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ රාජ්‍යයක් සඳහා වූ දෙමළ ජනයාගේ අභිලාෂය ප‍්‍රශ්න කිරීමට සිංහල-බෞද්ධයාට වරමක් ලැබුනේ කෙසේ ද යන්නයි. අවශ්‍යනම් අපට ප‍්‍රශ්නය මේ ආකාරයෙන් ඇසිය හැකිය. ‘දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක් දැ යි ඇසීමට සිංහලයාට ඇති අයිතිය කුමක් ද? දැනට ඒ සඳහා ඉදිරිපත් වී ඇති ශක්තිමත්ම පිළිතුර වන්නේ සිංහල-බෞද්ධයාට මේ දිවයිනට ඇතැයි කියන සුවිශේෂිත (exclusive) අයිතිය පිළිබඳ කියා පෑමයි. කෙසේ වෙතත් මේ තර්කය රඳා පවතින්නේ අතීශයින් දුර්වල පදනමක් මත බව මා ඉදිරියේ දී පෙන්වා දීමට අදහස් කරමි.

ෆේස්බුක් ප‍්‍රතිචාරක ශිරන්ත චාමර අසා තිබුනේ ඔහු ජීවත්වන කටුවාවල ප‍්‍රදේශයේ අයටත් රාජ්‍යයක් තනා ගැනීම සඳහා අභිලාෂයක් ඇති වුවහොත් ඊට ඉඩ දිය යුතු ද යන්නයි. ඔහු කියන්නේ ‘පොදු අභිලාෂ යනු හැමදෙනාම සතුටු කිරීම නොවන’ නොවන බවයි. ඔහුගේ ප‍්‍රකාශය මෙසේය:

“දැන් අපි හිතමු අපේ ගෙවල් පැත්තේ කටුවාවල කට්ටියටත් අබිලාශයක් ඇතිවේගෙන එනවා අපටම කියල වෙනම රටක් කටුවාවල හදාගන්න. දැන් මොකෝ කරන්නේ? ඕගොල්ලන්ගේ අභිලාශය අපි මත බලෙන් පටවන එක වැරදියිනේ. ඒ නිසා මෙතනදීත් අපට ඊනියා මධ්‍යස්ත සම්මුති යකට එන්න වෙනවද?එනිසා කටුවවලට වෙනම ඉඩම් පොලිස් බලතල සහිත ප්‍රාන්ත රාජ්‍යයක් වත් අඩුගනනේ දෙන්න වෙනවද? ඊට පස්සේ කටුවාවල ඉන්න අපේ ගෙදර වටේ කට්ටියටත් පොඩි අවුලක් තියෙනවා කටුවාවල උන් එක්ක. ඒ කියන්නේ දැන් අපේ ගෙදර වටේ උන්ටත් අපේ ඉඩම් වල වෙනම රාජ්‍යයක් හදන්න හිතිලා. දැන් ඕගොල්ලන්ගේ අභිලාශ අපි මත බලෙන් පටවන එක වැරදියිනේ. ඒ නිසා මෙතනදීත් අපට සම්මුති යකට එන්න වෙනවද? මේක තමයි දර්ශන අර ක්ෂුද්‍ර රාජ්‍ය හදන්න වෙනවා කියන එකෙන් කියන්නේ මට තේරෙන විදිහට

මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ජාතිය කියන දේ භුමිය සම්පත් බෙදාගැනීම හා ඒ සම්බන්ධ එකඟතා ඇතිකරගනෙමත් එක්ක බැඳිලා තිබීමයි. එනිසයි අභිලාශ එකිනෙක හා ගැටෙන්නේත් ඒවා ඊනියා මධ්‍යස්ත විසදුම් වලින් විසදෙන්නේ නැත්තෙත්. පොදු අභිලාශය කියන්නේ හැමෝවම සතුටු කිරීම නෙමෙයි. තේරුම් ගැනීමෙන් කල්පනා කිරීමෙන් හදාගත යුතු දෙයක්”

මේ ප‍්‍රශ්නය මතු කරනු ලැබ ඇත්තේ රාජ්‍යයන් බිහිවීමේ ක‍්‍රියාවලිය සම්බන්ධව මෙන්ම නූතන රාජ්‍යය සහ පොදු ජනයාගේ සාමූහික දේශපාලන අභිලාශ අතර සම්බන්ධය අරබයා වූ නොදැනුවත්කම නිසා බව මගේ අදහසයි. වඩාත් නිවැරදිව කියනවා නම් සිංහල-බෞද්ධ දේශපාලන කතිකාව තුළ මෙවැනි ගැටලූ පිළිබඳව බැරෑරුම් අවධානයක් යොමු නොකරන නිසාය.

ඒ පිළිබඳව විස්තරාත්මක සාකච්චාවක් පසුව කරමි. දැනට අවශ්‍යයයි මා සිතන්නේ දෙමළාගේ ප‍්‍රශ්නය ඉහත සඳහන් ආකාරයට තේරුම් ගැනීමට බාධාකාරී වන්නා වූ නලින් ද සිල්වා ප‍්‍රමුඛ සිංහල ජාතිකවාදී දෘෂ්ටිවාදී කඳවුර විසින් ‘දෙමළාගේ ප‍්‍රශ්නය’ පිළිබඳව ගොඩනංවනු ලැබ ඇති සමස්ත කතිකාවම ප‍්‍රශ්න කිරීම යි. මා දැනට සිදු කිරීමට උත්සාහ කරමින් සිටින්නේ එම කාර්යයයි. නලින් ද සිල්වා කැමති වචන වලින් ම කියනවා නම් ඔහුගේ කතිකාවේ අසංගත බව පෙන්වා දීමයි. මා කැමැති වචන වලින් කියනවා නම් මෙම කාර්යය කළ හැකි දෙයක් වන්නේ කිසිම කතිකාවක් පරිපූර්ණ නොවන නිසාය. එය අනිවාර්යයෙන්ම කතිකාවේ සංගතබව හෝ අසංගත බව පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. ඕනෑම කතිකාවක් ගොඩනංවනු ලැබීමේ ක‍්‍රියාවලියේ දී එම කතිකාව මගින් බැහැර කෙරෙන පිටතක් (excluded outside) නිර්මානය වේ. එය හරියට සිංහල-බෞද්ධ කතිකාව නිර්මාණය වන විට දෙමළා බැහැර කෙරෙන්නාක් මෙනි. ශිරන්ත චාමරට ප‍්‍රතිචාරයක් ද ලෙසින් කියනවා නම් ඔහු නිවැරදිව ප‍්‍රකාශ කරන ආකාරයට ‘පොදු අභිලාෂ යනු හැමදෙනාම සතුටු කිරීම නොවන’ නිසා සිංහල-බෞද්ධ ‘පොදු අභිලාෂයෙන්’ බැහැර කෙරෙන දෙමළා ‘බැහැර කෙරෙන පිටතක්’ ලෙස වෙනම සංවිධානය වන නිසා එය සිංහල-බෞද්ධයාට දේශපාලන අභියෝගයක් බවට පත්වේ. ශිරන්ත චාමරගේ කටුවාවල ජනයා එසේ ‘බැහැර කෙරෙන පිටතක්’ ලෙස වෙනම සංවිධානය නොවන නිසා දේශපාලන ගැටලූවක් මතු නොවේ.

කෙසේ වෙතත් ‘දෙමළාගේ ප‍්‍රශ්නය’ පිළිබඳ සිංහල-බෞද්ධ කතිකාව විග‍්‍රහ කිරීම ප‍්‍රවේසමෙන්, ඉවසීමෙන් සහ සෙමෙන් කළ යුතු කාර්යයකි. ඒ නිසා මේ ලිපි කියවන නලින් ද සිල්වා ගේ ෆේස්බුක් ප‍්‍රතිචාරකයින්ට මා හට උපහාස කරමින් හෝ තවත් කලක් ඉවසා සිටීමට සිදුවේ. එසේම තමා සිටින කතිකාවෙන් පිටත ද තවත් ඥානන විශ්වයන් පවතින බවත් පිළිගැනීමටත් ඔවුන්ට සිදුවේ. අවශ්‍යනම් ‘කතිකාව’ යන සංකල්පය වෙනුවට ‘චින්තනය’ (මෙම සංකල්පය ‘කතිකාව’ යන සංකල්පයට වඩා බෙහෙවින් අසංගත වුව ද) යන සංකල්පය යොදා මේ කාරණය පැහැදිළි කර ගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැක.

මීට ඉහත කොටසේ පැහැදිළි කළ ආකාරයට ‘දෙමළා ගේ ප‍්‍රශ්නය’ට සම්බන්ධ නලින් ද සිල්වා ගේ ලංකා ඉතිහාස කතිකාවේ මූලික අභිප‍්‍රාය වන්නේ දෙමළාගේ ඉතිහාසය දෙමළ ජාතිකවාදී රාමුවෙන් පිටතට ගැනීමයි. ශාස්ත‍්‍රීය වශයෙන් ගත් කල්හී එය ප‍්‍රයෝජනවත් කාර්යයක් බව මගේ ද අදහසයි. නමුත් ඔහුගේ අභිප‍්‍රාය ශාස්ත‍්‍රීය එකක් නොවේ. එය දේශපාලන හා දෘෂ්ටිවාදී අරමුණක් සහිත වූවකි. එම නිසාම ඔහු දෙමළාගේ ඉතිහාසය දෙමළ ජාතිකවාදයේ රාමුවෙන් පිටතට ගෙන සිංහල ජාතිකවාදය තුළ සිර කරයි. ඊට අමතරව ඔහු දෙමළාගේ ඉතිහාසය දෙමළ ජාතිකවාදයේ රාමුවෙන් පිටතට ගැනීමට උනන්දු වුව ද සිංහලයාගේ ඉතිහාසය සිංහල ජාතිකවාදයෙන් පිටතට ගැනීමට උත්සුක නොවේ. උත්ප‍්‍රාසජනක තත්වය වන්නේ, මීට පෙර ලිපියේ සඳහන් කළ ආකාරයට, සිංහල ජාතිකවාදී කතිකාව තුළම සම්පාදනය වී ඇති නමුදු තමන්ට අභිමත නොවන ඇතැම් ඉතිහාස අර්ථකථන විවේචනයට භාජනය කරමින්, එම කතිකාවන් පසුපස ඇති යහපත් අභිප‍්‍රය පමණක් කතිකාව මගින් ඉදිරිපත් කරන්නාවූ ප‍්‍රවාද වල වලංගුතාවය ස්ථාපිත කිරීමට ප‍්‍රමාණවත් නොවන බව නලින් ද සිල්වා විසින් ප‍්‍රකාශ කරනු ලැබුවත් තමා ඉදිරිපත් කරන ඊනියා ප‍්‍රවාද සම්බන්ධව එම තර්කය අදාළ නොකිරීමයි.

මේ තත්වය තෙරුම් ගැනීමට ස්ථිර දෙමළ ජනාවාස ඇතිවීම පිළිබඳ වූ නලින් ද සිල්වා ගේ ‘ප‍්‍රවාදය’ පරීක්ෂාවෙන් විමසා බලමු. මෙහිදී ඔහුගේ මූලික තර්කය වන්නේ උතුරේ ස්ථිර දෙමළ ජනාවාසවල ආරම්භය ලංදේසීන් විසින් දුංකොළ වැවීම සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙන එනු ලැබූ ජනයා බවයි. ඊටම සම්බන්ධ වූ ඔහුගේ අනෙක් තර්කය වන්නේ එවකට උතුරේ වාසය කළ ජනයා සිංහලයින් වූ බවත් සහ පසුව එම සිංහලයින් වෙල්ලාලයින් ලෙස ලංදේසි පාලනයේ අනුග‍්‍රහය යටතේ වරප‍්‍රසාදිත තත්වයකට පත්වූ දුංකොළ වගාව සඳහා ගෙන ආ කම්කරුවන් යටතේ පහත් තත්වයකට පිරිහෙළනු ලැබූ බවයි.
මෙහි දී නලින් ද සිල්වා මෙන්ම ‘දෙමළ ජනතාවගේ සංක්ෂිප්ත ඉතිහාසය’ නමින් කෘතියක් සම්පාදනය කර ඇති, ඔහුගේ අනුගාමිකයකු වන චන්න සුදත් ජයසුමන විසින් ද සිදු කරනු ලබන්නේ තහවුරු කරනු ලැබූ මෙන්ම තහවුරු කරනු නොලැබූ තොරතුරු, තමන්ට අභිමත නිගමනය ඉදිරිපත් කිරීම සඳහා හිතුවක්කාරී ලෙස සුසම්බන්ධ (articulation) කිරීමයි. ජයසුමන මහතා ගේ කෘතියෙන් උපුටා ගනු ලැබූ මෙම කොටස සලකා බලමු:

‘මේ ආකාරයට මලබාර් සහ කොරමැණ්ඩල් වෙරළබඩ ප‍්‍රදේශවලින් දෙමළ ජනතාව රැුගෙන ඒමට පෙර යාපනයේ සිටියේ සිංහලයන්, ආර්යචක‍්‍රවර්ති පවුලෙන් පැවත එන පිරිසක් සහ දෙමළ-කේරළ-වඩුග කුලී සේවකයන්/හමුදාවෙන් එහි පදිංචි වූ පිරිසකි. ලන්දේසීන් ගේ පූර්ණ අනුග‍්‍රහය දකුණු ඉන්දීය දෙමළ ශ‍්‍රමිකයින්ට ලැබීම නිසා මේ පිරිසට තව දුරටත් තම අනන්‍යතාවය රැකගත නොහැකි විය. පරම්පරා දෙක තුනක් යන විට ඔවුහු ද දකුණු ඉන්දියාවේ සිට පැමිණි දෙමළ ජනතාවගේ සංස්කෘතියට අවශෝෂණය වූ හ. ඒ අවශෝෂණය සිදු වූයේ විවිධ කුල ලෙස යි.’

ජයසුමන මහතාට උපරිම වාසිය දෙමින් මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රකාශ කළ හැක්කේ මෙය උපන්‍යාසයකට, එනම් තහවුරු කරනු ලැබීම හෝ ප‍්‍රතික්ෂේප කරනු ලැබීම අපේක්ෂාවන් සිටින ප‍්‍රකාශයක් පමණක් බවයි. මෙහි බරපතලකම වන්නේ නලින් ද සිල්වා විසින් අවම ප‍්‍රාදේශීය ස්වායත්තතාවයක් සඳහා හෝ දෙමළ ජනයා ඉදිරිපත් කරන ඉල්ලීම්වල සුජාත භාවය ප‍්‍රශ්න කරනු ලබන්නේ ඉතාම දුර්වල පදනමක් මත පිහිටා ඇති මෙම ඓතිහාසික කියාපෑම මත වීමයි.

කෙසේ වෙතත් චන්න ජයසුමන ගේ මෙම උපන්‍යාසය මෙන්ම එම උපන්‍යාසයට පදනම් වී ඇතැයි පෙනෙන නලින් ද සිල්වා ද ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ දෙමළ ජනාවාස වල ආරම්භය පිළිබඳව ඉදිරිපත් කරන අදහස් අපගේ සාකච්ඡාවට ඍජුව ම අදාළ ඉතා වැදගත් ඓතිහාසික ගැටලූවක් වෙත අපගේ අවධානය යොමු කරවයි. එම ගැටලූව නම් ලංකාවේ ජන සැකැස්මේ ඉතිහාසය පිළිබඳ ගැටලූවයි. මගේ අදහසේ හැටියට නම් මෙම ඓතිහාසික සංසිද්ධිය පිළිබඳ අපගේ අවබෝධය පුළුල් කරගැනීමට උත්සාහ කිරීමේදී දෙමළ ජාතිකවාදී ප‍්‍රවේශය මෙන්ම සිංහල-බෞද්ධ ජාතිකවාදී ප‍්‍රවේශයද මගින් අපට පනවා ඇති ඇතැම් සීමා අතික‍්‍රමණය කළ යුතුය.

නිර්මාල් රංජිත් දේවසිරි

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

5 Responses to දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වාට පිළිතුරු (4 කොටස)

  1. chinthaka පවසයි:

    ‘දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප‍්‍රශ්නය වන්නේ දේශපාලන අභිලාෂයක් සහිත ප‍්‍රජාවක් ලෙස තම සවෛරීභාවය (sovereignty) සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය දේශපාලන බලය නොමැති වීමයි. එලෙස සිය සවෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප‍්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප‍්‍රදේශය (territory) බාහිර බලයක් විසින් ආක‍්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි.’ Nirmal Dewasiri මෙහි සත්ය අසත්ය තාවය ගෑන ප‍්රශන පවති, ඒ කෙසේ වෙතත් මෙය ප‍්රශනයක් නොව අභිලාශයකි. දෙමල ජනයාට ඈති (හො නෑතී) අභිලාශයක් ප්‍රශ්නයක් කර හුවා දෑක්වීම වරදිය. අභිලාශයට හර්ස් වන දේ ප්‍රශන කර ගෑනිම ද වරදිය. අභිලාශ ද බොහෝ දුරට දේශපාලකලින් විසින් නිර්මනය කරන ලද එවා වේ. මුලින්ම මෙවනි අභිලශයක් දෙමල ජනයාට තිබේද යන්න සිතිය යුතුය. මා දන්නා තරමින් සාමනය බහුතර ජනයාට එවෑනි අභිලාශයක් නෑත. දෙවෑන්න අභිලාශයන්හි සඩාරන බව ගෑන සලකා බෑලිය යතුය. එය සලකා බෑලිමට සින්හලයන්ට,මුස්ලිම් ජනයට අයිතියක් ඈත .ඒ වෙන මොකවත් නිස නොව එම අභිලශන් හි ප්‍රතිපලය අපි සියල්ලන්ටම බලපානා නිසවෙනි.

  2. dimithri පවසයි:

    ‘දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප‍්‍රශ්නය වන්නේ දේශපාලන අභිලාෂයක් සහිත ප‍්‍රජාවක් ලෙස තම සවෛරීභාවය (sovereignty) සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය දේශපාලන බලය නොමැති වීමයි. ’
    1. ‘දේශපාලන අභිලාෂයක් සහිත ප‍්‍රජාවක්’ යන්න අර්ථ දක්වාගන්නේ කෙසේද?
    2. ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනයාටත් මෙය මෙලෙසම අදාලයි නේද?

  3. නා. ය. වි. පවසයි:

    මම හිතනවා දෙමලා ගේ ප්‍රශ්නය තමයි ප්‍රශ්නය මොකක්දැයි කිව නොහැකි වීම. හැබැයි ඒක නම් ඉතින් සුළුපටු ප්‍රශ්නයක් නෙමෙයි. (ප්‍රශ්නය කියන්න බැරි වෙන මොකක්වත් නිසා නෙමෙයි, ඒක කටක් ඇරලා කොතනකවත් රෙද්දක් ඇඳගෙන නම් කියන්න පුළුවන් එකක් නොවන නිසා.)

    නිර්මාල් කියන්නෙ

    ‘දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප‍්‍රශ්නය වන්නේ දේශපාලන අභිලාෂයක් සහිත ප‍්‍රජාවක් ලෙස තම සවෛරීභාවය (sovereignty) සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය දේශපාලන බලය නොමැති වීමයි. එලෙස සිය සවෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප‍්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප‍්‍රදේශය (territory) බාහිර බලයක් විසින් ආක‍්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි.’

    කියලයි.

    නමුත් “තම භූමි ප‍්‍රදේශය (territory) බාහිර බලයක් විසින් ආක‍්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි” කියල කිව්වාම මේක “උපන්‍යාසයක්” විතර ද නැතිනම් ඊට වඩා එහාට ගිය පිළිගත හැකි “පදනමක්” තියෙන කතාවක් ද කියන එක පෙන්වා දීම කෙටියෙන් කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. හැබැයි මම එහෙම කිව්වත්, මේ මාතෘකාව ගැන දීර්ඝ කාලයක් අවධානයෙන් සිටින කෙනෙක් හැටියට මට අත්දැකීමෙන් කියන්න පුළුවන් මේක කෙටියෙන් තබා දීර්ඝවවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. (මේක කරන්න පුළුවන් කියලා ඒ වෙනුවෙන් ඉදිරිපත් වුනු ගොඩ දෙනෙකුට ඒක කරගන්න බැරිවුනා. කොච්චර බැරි වුනාද කියනවානම් නිර්මාල් මේ මතෘකාව ගැන ලියන්න පටන් ගත්තාම සමහර අයට ඇතිවුනු උනන්දුවෙන්ම, ඒ කියන්නෙ, තවත් ලිපි පළ කරන්න, මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න, කියලා ආපු ඉල්ලීම් වලින්ම මොන තරම් නියඟයකින් පෙළෙමින් තිබිලා තියෙනවද කියන එක පේනවා. හැබැයි මම එහෙම කිව්වෙ නිර්මාල්ව අධෛර්‍යයට පත් කරන්න නෙමෙයි. මම නිර්මාල්ට සුභ පතනවා. නිර්මාල්ට ඒ සඳහා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම එහෙම කියන්නේ උපහාසයෙන් නෙමෙයි. ඒවගේ කෙනෙක් ඉන්නවා නම් ඒක අපිටත් ප්‍රයෝජනවත්. මොකද අපි හරියි කියලා හිතා ගෙන ඉන්න දේවල් කොච්චර දුරට හරිද කියලා එතකොට අපිටත් බලා ගන්න පුළුවන්. මේ වැඩේ කරන්න විශයයන් කීයක් ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ ද කියන එක ගැන හරි නිර්මාල්ට අවබෝධයක් ඇති කියලා මම හිතනවා. හැබැයි නිර්මාල් ලියන කියන දේවලින් [උදා:- ජනරලට ලියපු ලිපි පෙළ] අපි නිර්මාල් ගෙන් එහෙම දෙයක් දැකලා නෑ. ඒ කොහොම වුනත් මෙච්චර කාලෙකට පෙන්නලා දෙන්න බැරිවුනු දෙයක් පෙන්නලා දෙන්න හැකි කෙනෙක් දැන් හරි ඉදිරිපත් වී තිබීම වැදගත්.)

    හැබැයි “තම භූමි ප‍්‍රදේශය (territory) බාහිර බලයක් විසින් ආක‍්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි” කියන එක බොහොම කෙටියෙන් පෙන්නලා දෙන්නත් පුළුවන්. ඒ තමයි “තම භූමි ප‍්‍රදේශය (territory) බාහිර බලයක් විසින් ආක‍්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි” කියන එක දෙමාලාට සාපේක්ශව සත්‍යයක් යැයි කීම. ඒ වැඩේ කරන්න නම් ඔය මොන විශයයක් ගැනවත් අවබෝධයක් තියෙන්න ඕනෙ නෑ. හැබැයි දැනුමේ සාපේක්ශ බව යනු එක් එක් අයට තමන් කැමති කැමති බහු බූත කීමට ලැබෙන බලපත්‍රයක් නොවන බව එක පොතක පෙරවදනෙ ලියැවුනේ දියැසෙ ඉඳලා ඇක්ස් කණ්ඩායමට ගිහින් දැනුමේ සාපෙක්ශ බව ගැන අළුතින් ඉගෙන ගත්ත කෙනෙක් වාතයක් වෙන්න පටන් ගත්ත නිසා කියලා මේ අවස්ථාවෙ මතක් කරන්න කැමතියි.

    මට නම් මේ මාතෘකාව ගැන දීර්ඝව තබා කෙටියෙන් වත් ලියන්න උන්නදුවක් නෑ. මොකද මේක ඒක පාර්ශවීය සංවාදයක් වෙලත් දන් සෑහෙන කාලයත් වෙනවා. මම මේ ටිකත් ලිව්වේ මොනව හරි ලියන්න කියලා මට කීප දෙනෙක් කියපු නිසයි. ඒ නිසා එක කරුණක් දෙකක් විතරක් ලියනවා.

    නාසි ජර්මනියේ අභිලාශය වුනේ යුරෝපය, ජර්මනියේ ආධිපත්‍යය පිළිගත යුතුයි කියන එක. (ජර්මනිය කිව්වාම ඒක යුරෝපය තුළ සුළුතරය තමයි. නාසීන් කළේත් අරගලයක් තමයි.). ඒක (ඒ කියන්නෙ, යුරෝපය, ජර්මනියේ ආධිපත්‍යය පිළිගත යුතුයි කියන එක) හිට්ලර් යටතේ ජර්මානුවන්ගේ අභිලාශය වුනා කියලා ඒක යුරෝපයේ අනිත් අයත් පිළිගත යුතු ද? මිලිටරි බලය යොදලා මේ ප්‍රශ්නය 1945 දි ඉවර කරපු නිසා මේක අපිට විශේෂයෙන්ම ආසියාවෙ අපිට එච්චර නොතේරෙන්න පුළුවන්. නමුත් නාසින්ගෙ ව්‍යාපෘතිය ශත වර්ශයක් දෙකක් ඇදෙන වැඩක් වුනා නම්, එක් එක් අය නිර්මාණය කරගෙන තියෙන අභිලාශයන් (කුමාර් පොන්නම්බලම් ටී. ඇන්. ඇල්. රූපවාහිනියේ එවකට තිබුනු ප්‍රන්ට්ලයින් වැඩසටහනේ ගාමිනී වීරකෝන් – ඔහු එවකට දි අයිලන්ඩ් කර්තෘ – සමග කරපු සම්මුඛ සාකච්ඡාවෙදි භාවිතා කරපු වචනය interests නෙමෙයි aspirations.) අන් අය පිළිගත යුතුයි කියන එක ගැන, අද දෙමලා ගේ අභිලාශයන් යුක්තියුක්ත කිරීම සඳහා සාක්ශි සොයන අය මීට වඩා වෙනස් විදිහකට සිතන්න ඉඩ තිබුනා. අභිලාශයන් නිර්මාණය විය හැකි ක්‍රම තිබෙන්නේ එකක් පමණක් නෙමෙයි.

    ඊළඟට, “තම භූමි ප‍්‍රදේශය (territory) බාහිර බලයක් විසින් ආක‍්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි” කියලා කිව්වාම, මෙතන භූමි ප්‍රදේශය යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද කියන ප්‍රශනය එනවා. අඩුම තරමින් භූමි ප්‍රදේශය කියන්නේ උතුරු පළාත විතරද නැත්නම් ඒකට නැගෙනහිර පළාතත් ඇතුලත් ද කියන ප්‍රශනය පැන නගින එක වළක්වන්න බෑ. දැන් නැගෙනහිර පළාතේ ජනයාගේ (වැඩිදෙනෙකුගේ) අභිලාශය නැගෙනහිර පළාත, උතුරු පළාතට එක් නොකර වෙනම පළාතක් විදියට තියන්න. ඊට සිංහල මුස්ලිම් ජනයා විතරක් නෙමෙයි කරුණා අම්මාන් නයක්තවය දෙන මඩකලපු දෙමළ ජනයා ද ඇතුලත්. (ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ රටේ තිබෙන ප්‍රශ්නය දෙමලාගේ ප්‍රශ්නයක් කියනවට වඩා උතුරේ වෙල්ලාලයන්ගේ ප්‍රශ්නයක් කියන එක වඩා ගැලපෙනවා.) උතුරේ වෙල්ලලයන්ගේ අභිලාශය ගැන වැටහීමක් ලබා ගන්න මේකම වුනත් ප්‍රයෝජනවත්.

    අවසාන වශයෙන් නිවැරදි කිරීමක් කළයුතුයි. “නලින් ද සිල්වා ට අනුව ලංකාවේ වර්තමාන ස්ථිර දෙමළ ජනාවාසවල ආරම්භය වන්නේ දාහත්වන ශතවර්ශයේ දී ලංදේසීන් විසින් දකුණු ඉන්දියාවේ සිට දුම්කොළ වැවීම සඳහා දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන එන ලද ජනයාය.” කියලා නිර්මාල් ලිව්වාට නලින් ද සිල්වා ම (කීපවතාවක් ම) පෙන්වලා දීලා තියෙනවා මේ ජනයා මෙහේ (යාපනේ) ස්ථීරව පදිංචි නොවුනු බව. සෑහෙන පිරිසක් ආපසු ගියා. ඒ යෑම නවත්වන්න තමයි තේසවලාමේ නීතිය පැනෙව්වෙ. ඉංග්‍රීසීන්ට ඒ නීතිය නැවතත් පනවන්න සිද්ධ වුනා. 1790 ලන්දේසි සංගණයට අනුව වයස අවුරුදු 16-70 අතර වෙල්ලාල කුලයේ පිරිමි අය යාපනේ ඉඳලා තියෙන්නේ 1570යි. මරවාර් කුලයේ අය නම් 49යි. ඕකට තමයි, “තම භූමි ප‍්‍රදේශය (territory) බාහිර බලයක් විසින් ආක‍්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීම” කියලා නිර්මාල් කියන්නෙ.

  4. පින්ග්කිරීම: දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වාට පිළිතුරු (4 කොටස) | Lanka E Voice

  5. පින්ග්කිරීම: දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වාට පිළිතුරු (4 කොටස) | Lanka E Voice

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )