දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය – නලින් ද සිල්වාට පිළිතුරු (1 කොටස)

දෙමළ මාධ්‍ය යතුරුලියන වෙනුවෙන් වෙනම රාජ්‍යයක්!

Kandinsky_whiteදෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය අනෙකක් නොව දෙමළ වීමයි. නමුත් නලින් ද සිල්වා, චම්පික රණවක වැන්නන් බලාපොරොත්තු වන්නේ එවැනි පිළිතුරක් නොවේ. ”දෙමළාට දෙමළ වීම නිසාම ප‍්‍රශ්නයක් නැත” යන උදාන වාක්‍යය හඬ නගා ප‍්‍රකාශ කිරීම නලින් ද සිල්වා විසින් ආරම්භ කරනු ලැබුවේ සාමාන්‍යයෙන් ලංකාවේ ‘ජාතික සමගිවාදී’ කතිකාව තුළ දෙමළ ජනයාට සිදුවී ඇති අසාධාරණකම් ලෙස හඳුනාගෙන ඇති දේ ඇත්ත වශයෙන්ම දෙමළ ජනයාට සිදුවූ අසාධාරණකම් ලෙස සැලකීමට පදනමක් නැති බව නලින් ද සිල්වා තම අනුගාමිකයෙකු වූ කපිල පීරිස් ලවා සිදුකරනු ලැබූ බුද්ධිමය මැදිහත්වීම් මාලාවක් මගින් පෙන්වා දීමත් සමගයි.

ඒ බුද්ධිමය මැදිහත්වීම් මගින් ප‍්‍රශ්න කරනු ලැබුවේ එතෙක් පැවැති දෙමළ ජනතාවගේ ”දුක්ගැනවිලි” සම්බන්ධව ”ජාතික සමගිවාදී” කතිකාවේ වලංගුභාවයයි. මෙම ”දුක්ගැනවිලි” සම්බන්ධව මනා ශ‍්‍රාස්ත‍්‍රීය අවබෝධයක් ලබා ගත හැකි කෘති කීපයක් 1980 ගණන් වල මුලදී පළවිය. ඉංග‍්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂා තුනෙන්ම පළවූ ”ලංකාවේ ජාතිකත්ව ගැටලූව හා සමාජ විපර්යාසය” යන කෘතියත්, ඉංග‍්‍රීසි භාෂාවෙන් පළවූ Facets of Ethnicity යන කෘතියත් මේ අතරින් ප‍්‍රධාන වේ. මේ කෘති දෙකම පළකරනු ලැබුවේ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසිනි. නලින් ද සිල්වා විසින් අභියෝග කරනු ලැබුවේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය පිළිබඳව මෙම ”දුක්ගැනවිලි” කතිකාවටයි.

නලින් ද සිල්වා, තමන් විසින් මෙම කතිකාවට අභියෝග කරනු ලැබීම උදාන වාක්‍යවලට නංවන්නේ මෙසේය:

අදෘෂ්‍යමාන ප‍්‍රශ්න විචාරක  : ඇතැමුන් කියන්නේ උතුරු හා නැගෙනහිර ඇති ප‍්‍රශ්නයට හේතුව                               දෙමළ ජනයාට සිදුවී තිබෙන අසාධාරණය බවයි. එය සැබෑවක් නොවේද?

නලින් ද සිල්වා :මේ අසාධාරණකම් මොනවාදැයි ඔබට කිවහැකිද?

අදෘෂ්‍යමාන ප‍්‍රශ්න විචාරක : සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, ප‍්‍රමිතිකරණය, ජනපදකරණය ආදිය.

නලින් ද සිල්වා : මේ සියල්ල සිදුවූයේ 1950 ට පසුවයි. එහෙත් වව්නියාවේ හිටපු මන්ත‍්‍රිවරයෙකු  වූ සී. සුන්දරලිංගම් මහතා ඊළමක් ගැන කතා කළේ හතලිස් ගණන් වල මුලයි. ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය ආරම්භ කලේ 1949 දීයි. එය සිංහලෙන් හා ඉංග‍්‍රීසියෙන් පෙඩරල් කියා හැඳින්වූයේ අපව රැවටීමටයි. චෙල්වනායගම්ගේ බෑණා වන මහාචාර්ය ඒ.ජේ. විල්සන් එම පක්ෂයට අවශ්‍ය වූ විටෙක දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිය හැකි පවසා                                               තිබෙනවා (ප‍්‍රභාකරන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා, පිටුව 13).

මෙහිදී නලින් ද සිල්වා තර්ක කරන්නේ ”දෙමළ ප‍්‍රශ්නය” වනාහී දෙමළ ජනයාට සිදු වී ඇතැයි කියන ඊනියා අසාධාරණකම් හේතුකොටගෙන ඇති වී ඇති ප‍්‍රශ්ණයක් නොව එම ඊනියා අසාධාරණකම් වලට පෙර කාලයකට දිවයන එකක් බවයි. මෙම ප‍්‍රකාශයට පදනමක් තිබෙන බව පිළිගැනීමට පුළුවන. වරක් කුමාර් පොන්නම්බලම් මේ ප‍්‍රශ්නයට සෘජු පිළිතුරක් සැපයීය. ඔහු ප‍්‍රකාශ කලේ දෙමළ ජනයාට තව දුරටත් ඇත්තේ දුක්ගැනවිලි (grievances) නොව අභිලාෂ (aspirations) බවයි.

මෙම ප‍්‍රකාශය නලින් ද සිල්වා ඉදිරිපත් කරන තර්කය සමඟ යම් දුරකට සමාන්තර වේ.

සාමාන්‍යයෙන් ලංකාවේ ”ජාතික සමගි” කතිකාව තුළ දෙමළ ප‍්‍රශ්නයේ ආරම්භය ලෙස සලකන්නේ 1920 ගණන්ය. ඊට හේතුව වන්නේ මේ වකවානුවේදී ව්‍යවස්ථාදායක මණ්ඩලය තුළ ස්වදේශිකයින්ට විවරව තිබූ සීමිත අවස්ථා බෙදාගැනීම සඳහා පැවැති තරඟය හේතුකරගෙන සිංහල හා දෙමළ ප‍්‍රභූන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමයි.

නමුත් නලින් ද සිල්වා ප‍්‍රශ්නය ඉන් ඔබ්බට ගෙන යයි. ඔහුට අනුව දෙමළ ප‍්‍රභූන්ට ලන්දේසි යටත් විජිත සමයේ පටන්ම ”සිංහලයන්” අභිබවා ලංකාවේ දේශපාලන ආධිපත්‍යයට ලඟාවීමේ අභිලාෂය තිබුණි. සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ සිංහල ජාතිකවාදී ප‍්‍රකාශකයින් පවා පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුණාචලම් වැනි අය සලකන්නේ මෙරට ජාතික සමගියක් අපේක්ෂා කළ ”දේශපේ‍්‍රමීන්” ලෙසය. පොන්නම්බලම් අරුණාචලම් ගේ ”Sketches of History of Ceylon”නම් කෘතිය ”ලංකා ඉතිහාසයේ කටුසටහන්” නමින් පරිවර්තනය කොට ප‍්‍රකාශයට පත් කරනු ලබන්නේ විමල් වීරවංශ, ගුණදාස අමරසේකර වැන්නන්ගේ නායකත්වයෙන් පවතින ”දේශහිතෛශී ජාතික ව්‍යාපාරය” විසිනි. නමුත් උත්ප‍්‍රාසය වන්නේ නලින් ද සිල්වා මෙම පොන්නම්බලම් සහෝදරයින් ඊළාම්වාදයේ පූර්වගාමීන් ලෙස සැලකීමයි.

අපි නලින් ද සිල්වා ගේ මූලික තර්කය, එනම් ”දෙමළ ජනයාට සිදුවී ඇතැයි කියන ඊනියා අසාධාරණකම්” සුදුවූවා යැයි කියන කාලයට පෙර සිටම වෙනම රාජ්‍යයක් උදෙසා වූ දෙමළ ”ජාතිකවාදී” අභිලාෂයන් පැවැතියාය යන තර්කය, මොහොතකට පිළිගනිමු.

මා මෙහිදී මතුකිරීමට කැමැති ප‍්‍රශ්නය වන්නේ එය එසේ වීම ගැටලූකාරී වන්නේ ඇයිද යන්නයි. වෙනත් ආකාරයකට කියනවා නම් කිසියම් ප‍්‍රභූ කණ්ඩායමක් තුළ දේශපාලන ආධිපත්‍යය සඳහා අභිලාෂයක් තිබීම පුදුමයට කාරණයක්ද?

කෙසේ වෙතත් නලින් ද සිල්වාට මේ ප‍්‍රශ්නයට පිළිතුරක් තිබේ. ඔහුට අනුව දෙමළ ප‍්‍රභූන්ගේ මෙම අභිලාෂය අසාධාරණ එකකි. එය අසාධාරණ වන්නේ එකිනෙකට සම්බන්ධ මූලික කරුණු දෙකක් නිසාය. පළමුවෙනුව එය ”ඉතිහාසය විරෝධීය” දෙවනුව එය සිංහල බෞද්ධයාගේ සාමූහික අයිතිවාසිකම් වලට එරෙහි වූ අභිලාෂයකි.

නලින් ද සිල්වාට අනුව ලංකාවේ දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ප‍්‍රශ්නයක් නොමැති වුවද සිංහල-බෞද්ධයාට සිංහල-බෞද්ධ වීම නිසාම ප‍්‍රශ්න තිබේ. ඔහුට අනුව ඒ අතරින් ප‍්‍රධාන වන්නේ සිංහල-බෞද්ධයාට සිංහල-බෞද්ධ වීම නිසාම උතුරු නැගෙනහිර ප‍්‍රදේශ අහිමි වී තිබීමයි.

මෙහිදී නලින් ද සිල්වා ඉදිරිපත් කරන ”ප‍්‍රවාදය” අපට හොඳින් පැහැදිලිය. ඒ මෙසේය; ”ලංකාව තුළ සාමූහික වශයෙන් භූ-දේශපාලන අභිලාෂ (Geo-Political Aspirations) ඇතිකරගැනීමේ සුජාත අයිතිය ඇත්තේ සිංහල-බෞද්ධයාට පමණි”.

ඔහුගේ වචන මෙසේය:

”වරප‍්‍රසාද ලත් බොහෝ අය කල්පනා කරන්නේ එම වරප‍්‍රසාද රැකගැනීමටයි. එහෙත් සමහරුන්ට කල්ගත වන විට තේරෙනවා එය රටේ ඉතිහාසයට හා පවතින තත්ත්වයට පටහැනිවීමක් බව. ඒ අය ඉතිහාසය හා පවත්නා තත්ත්වය සමඟ බද්ධ වෙනවා. සමහරු එසේ නොකොට ඉතිහාසයට පිටුපාන්න හදනවා (ප‍්‍රභාකරන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා- පිටුව 15)”.

ඔහුට අනුව මේ රටේ ඉතිහාසය සිංහල බෞද්ධයින්ගේ ඉතිහාසයයි. ඔහු මෙසේ කියයි:

”මේ රටේ ලිඛිත ඉතිහාසය සිංහලයන්ගේ ඉතිහාසයයි. ලිඛිත ඉතිහාසයෙන් කියැවෙන කාලයෙන් අදත් රටේ බහුතරය සිංහල බෞද්ධයන්ය. එය පිළිගත යුත්තක්. මේ කාරණය පිළිගෙන රටේ ජීවත්වීම ඉතිහාසය සමඟ බද්ධ වීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ කාරණය නොපිළිගැනීම රටේ ඉතිහාසයට පිටුපෑමක්. අද බොහෝ ක‍්‍රිස්ත‍්‍රියානීන් හා කතෝලිකයන් රටේ ඉතිහාසය පිළිගන්නවා. (ප‍්‍රභාකරන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා- පිටුව 15)”

”… අවාසනාවකට දෙමළ ජනයාට එය කරගැනීමට නොහැකි වුනා. අපේ රටේ තිබෙන ලොකුම ප‍්‍රශ්නයත් එයයි. අද අප කතා කරන්නේත්, යුද්ධ කරන්නේත් දෙමළ ජනයා එය නොකළ හා නොකරන බැවින්. එයට ප‍්‍රධාන වරදකරු වන්නේ උගත් දෙමළ ජනතාවයි. එය ආරම්භයේම පොන්නම්බලම් සහෝදරයින් සිටිනවා. (ප‍්‍රභාකරන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා- පිටුව 16) ”

කෙසේ වෙතත් මෙහිදී ප‍්‍රකාශ කළ යුතු අමතර දෙයක් වන්නේ ලංකාවේ ”ලිඛිත ඉතිහාසයෙන්” කියැවෙන කාලයේ ලංකාවේ බහුතරය සිංහල බෞද්ධයන්ය යන නලින් ද සිල්වාගේ 1995 ප‍්‍රවාදයට (ප‍්‍රභාකරන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතිය) පරස්පර වන අදහස් ඔහු විසින්ම පසුව ඉදිරිපත් කරනු ලැබ ඇති බවයි. ”අපේ ප‍්‍රවාද 3” නමින් පළ කර ඇති ඔහුගේ  කෘතිය තුළ ඉදිරිපත්වී ඇති අදහස් වලින් ඔහු ප‍්‍රකාශ කිරීමට උත්සාහ කරන එක් අදහසක් වන්නේ ”යක්ෂ ග්‍රෝතිකයින්” නමින් ඔහු විසින්ම හඳුන්වනු ලබන ජන කොටස බෞද්ධ වීම ප‍්‍රතික්ෂේප කරනු ලැබූ බවයි. සිංහල බෞද්ධයා එකල ලංකාවේ බහුතරය වීය යන ප‍්‍රවාදයට මේ අදහස නිසා කුමක් සිදුවේදැයි ඔහු පැහැදිලි නොකරයි.”

දැන් අවශ්‍යනම් අපට නැවතත් ආරම්භක ප‍්‍රශ්නයට යාමට පුළුවන. එනම් මෙහිදී ”දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක්ද?” යන ප‍්‍රශ්නයට නලින් ද සිල්වාගේම පැහැදිලි කිරීම තුළින් පිළිතුරක් සොයා ගත හැක. එය මෙසේ ගොනු කිරීමට කැමැත්තෙමි.

”දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය වන්නේ දෙමලාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.”

කෙසේ වෙතත් නලින් ද සිල්වා මෙම පිළිතුර බාර ගැනීමට සූදානම් නැති බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඇත්ත වශයෙන්ම පෙනෙන ආකාරයට නලින් ද සිල්වා බලාපොරොත්තු වන්නේ මේ ආකාරයේ පිළිතුරක් නොවේ. ඔහු බලාපොරොත්තු වන බව පෙනෙන්නේ 1980 ගණන් වන විට පැවැති ”දුක්ගැනවිලි” මුල් කරගත් කතිකාව තුළ ලබා දෙන පිළිතුරකි. මෙම රචනයේ මුලදී උපුටා දක්වා ඇති ”ප‍්‍රභාකරන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා” කෘතියේ (පිටුව 13) අදෘෂ්‍යමාන ප‍්‍රශ්න විචාරකයා අසන ප‍්‍රශ්නයත්, ඒ ප‍්‍රශ්නයට නලින් ද සිල්වා දෙන පිළිතුරත් ප‍්‍රශ්න විචාරකගේ ඊළඟ පිළිතුරත් මගින් මෙය කදිමට පෙන්නුම් කරයි. එහිදී සාකච්ජාවට භාජනය කරනු ලබන්නේ ”අසාධාරණකම්” පිලිබඳවයි.

මෙම ”අසාධාරණකම්” පිළිබඳ කතිකාව සම්බන්ධයෙන් නලින් ද සිල්වා දරන ආකල්පය පිළිබිඹු වන සිත්ගන්නා සුළු අවස්ථාවක් දැක්වීමට කැමැත්තෙමි.

දෙමළ ජනයාට සිදුවන ”අසාධාරණකම්” පිළිබඳව ඇතිවූ සංවාදයකදී වරක් ඉදිරිපත් වූ කරුණක් වූයේ රාජ්‍ය කාර්යාල වල අවශ්‍යතරම් දෙමළ මාධ්‍ය යතුරු ලියන නොමැති බවයි. ඊට ප‍්‍රතිචාර වශයෙන් නලින් ද සිල්වා ප‍්‍රකාශ කළේ ”කාර්යාල වල අවශ්‍ය තරම් දෙමළ මාධ්‍ය යතුරු ලියන නොමැති නම් කළ යුත්තේ අවශ්‍ය තරම් දෙමළ මාධ්‍ය යතුරු ලියන ලබාදීම මිස වෙනම රාජ්‍යයක් ලබාදීම නොවන” බවයි.

මෙය ආකර්ශනීය පිළිතුරක් බව නොකිවමනාය. විශේෂයෙන් සිංහල-බෞද්ධ ජනයාට එය ආකර්ශනීය වීමට බෙහෙවින්ම ඉඩ තිබේ. කෙසේ වෙතත් එම පිළිතුරේ ආකර්ශනීයභාවයට වඩා වැඩි දෙයක් ඇත්තේ නැත.

ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ යතුරු ලියන ලබාගැනීම සඳහා වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කිරීම දෙමළ ජනයාට ආකර්ශනීයය සටන් පාඨයක් වූයේ මන්ද යන්නයි.

සාමාන්‍යයෙන් පුරවැසියෙකුට රාජ්‍ය බලයේ වපසරිය තුළ තිබෙන යම් සේවාවක්, ඒ සඳහා සකස් වී ඇති සාමාන්‍ය ක‍්‍රියාදාමය හරහා ගොස් ලබාගැනීම අතිශය දුෂ්කර බව අප සෑමදෙනා මෙන්ම නලින් ද සිල්වා ද හොඳින් දනී. දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් වලට විරුද්ධ වීමේ දී නලින් ද සිල්වාට සමාන මතයක් දරන ගුණදාස අමරසේකර ගේ නවකථා හා කෙටිකථා වල සුලභ ලෙස හඳුනාගත හැකි අවස්ථාවක් වන්නේ කතා නායකයා රාජ්‍ය කාර්යාල වලින් තමන්ගේ සහ තමන්ගේ ඥාති හිත මිත‍්‍රාදීන්ගේ කටයුතු පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා බලය පරිහරනය කරන තම හිතවත් දේශපාලඥයින්ගේ හෝ නිලධාරීන්ගේ අනුග‍්‍රහය ලබා ගැනීමයි. එයින් කියැවෙන්නේ පුරවැසියෙකුට රාජ්‍ය වපසරිය තුළ ඉතා කුඩා කටයුත්තක් ඉෂ්ට කර ගැනීම සඳහා පවා රාජ්‍ය බලය සමඟ යම් සම්බන්ධයක් තිබීම අනිවාර්යතාවයක් බවයි.

මේ පසුබිම තුළ නලින් ද සිල්වාගේ යතුරු ලියන තර්කය තැබූ කල්හී තත්ත්වය කෙබඳුද? ”යතුරු ලියන නැත්නම් කළ යුත්තේ වෙනම රාජ්‍යයක් දීම නොව යතුරු ලියන ලබාදීමයි” වැනි ෆ්ලැට් උත්තරයක් සාමාන්‍ය සිංහල-බෞද්ධ ශ‍්‍රාවකයාට ආකර්ශනීය විය හැක. එහෙත් දෙමළ ජනයාට රාජ්‍ය බලයට ලඟාවීමට ඇති දුෂ්කරතාවය නිසා මුහුණ දීමට සිදුවන සංයුක්ත ගැටලූ පිළිබඳ අවබෝධයක් ඒ මගින් ලැබෙන්නේ නැත.

නිර්මාල් රංජිත් දේවසිරි

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )